ශක්තිමත් මූලික බැංකුකරණ ගම්‍යතාව, විනයගරුක ශේෂ පත්‍ර කළමනාකරණය සහ ප්‍රධාන උපායමාර්ගික සන්ධිස්ථාන මත පදනම්ව, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා DFCC බැංකුව වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කරගෙන ඇත. අඛණ්ඩ මෙහෙයුම් හරහා උපයාගත් බදු පසු ලාබය සියයට 32 කින්, එනම් රුපියල් මිලියන 11,060 දක්වා වර්ධනය වී ඇති අතර, Acuity Partners (Pvt) Ltd හි බැංකුව සතු කොටස් අයිතිය අත්හැරීමෙන් ලද ලාබය ද සමග සමස්ත වාර්තාගත බදු පසු ලාබය රුපියල් මිලියන 16,028 දක්වා ඉහළ ගොස් තිබේ.
සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ ශේෂ පත්‍රය ප්‍රබල ලෙස පුළුල් වී ඇති අතර, සමස්ත වත්කම් ප්‍රමාණය සියයට 22 කින් එනම් රුපියල් බිලියන 857 දක්වා වර්ධනය වී ඇත. අරමුදල් ප්‍රශස්තකරණය සහ තැන්පතු ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් වර්ධනය වීම හේතුවෙන් ණය කළඹ රුපියල් බිලියන 120 කින් ඉහළ ගොස් ඇති අතර, එය සියයට 31 ක වර්ධනයක් සනිටුහන් කරමින් රුපියල් බිලියන 516 ක් බවට පත් වී තිබේ. ශුද්ධ පොලී ආදායම සියයට 10 කින්, එනම් රුපියල් මිලියන 30,953 දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රේෂණ, වෙළෙඳ සහ කාඞ්පත් මත පදනම් වූ සේවාවල වර්ධනය පිළිබිඹු කරමින් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම සියයට 48 කින් එනම් රුපියල් මිලියන 7,313 දක්වා වර්ධනය වී ඇත.
සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සියයට 15.933 ක් ලෙස පවත්වා ගනිමින් බැංකුවේ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්වය ඉතා යහපත් මට්ටමක පවතී. බැංකුව ශක්තිමත් ද්‍රවශීලතා සංචිත අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති අතර, එහි ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය සියයට 122.64 ක් සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතය - සියලුම මුදල් ඒකක සියයට 184.06 ක් ලෙස සටහන් විය. මෙම අනුපාත ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවම අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ අගයක පවතී.
මෙම වසරේ ප්‍රධානතම උපායමාර්ගික සන්ධිස්ථානයක් වූයේ ශ්‍රී ලංකාව තුළStandard Chartered Bank PLC විසින් පවත්වාගෙන ගිය ධන කළමනාකරණ සහ ව්‍යාපාර බැංකු මෙහෙයුම් අත්පත් කර ගැනීම සඳහා DFCC බැංකුව විසින් ව්‍යාපාරික විකුණුම් ගිවිසුමකට අත්සන් තැබීමයි. මෙය DFCC බැංකුවේ ව්‍යාපාර සහ ධන කළමනාකරණ අංශය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ප්‍රමුඛතා අංශයන්හි වර්ධනය වේගවත් කිරීමටත් හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රථම ලැයිස්තුගත සහ ශේණිගත කළ නීල බැඳුම්කරය (Blue Bond) රුපියල් බිලියන 3 ක වටිනාකමකින් නිකුත් කිරීමට බැංකුව පියවර ගත් අතර, ඒ සඳහා අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල ඉල්ලුමක් හිමිවිය. මේ හරහා DFCC බැංකුවේ තිරසාරත්වය පදනම් කරගත් මූල්‍යකරණ දිශානතිය පිළිබඳව වෙළෙඳපොළ තුළ පවතින දැඩි විශ්වාසය මනාව තහවුරු විය.
වසරේ මූල්‍ය කාර්යසාධනය සහ අනාගත දැක්ම පිළිබිඹු කරමින්, කොටසක් සඳහා රුපියල් 2.50 ක මුදල් ලාභාංශයක් සහ කොටසක් සඳහා රුපියල් 5.00 ක කොටස් ලාභාංශයක් ඇතුළත් වන පරිදි සෑම කොටසකටම රුපියල් 7.50 ක අවසන් ලාභාංශයක් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය: DFCC බැංකුව 2025 වසර නිමා කළේ වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක්, ශක්තිමත් කළ ප්‍රාග්ධනයක් සහ තීරණාත්මක උපායමාර්ගික ප්‍රගතියක් සමගිනි. වසර පුරා අපගේ කණ්ඩායම් ඉතා විනයගරුකව තම රාජකාරි ඉටු කිරීම සහ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති අසීමිත විශ්වාසය මෙම ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීමට මනා පිටිවහලක් විය.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd