DFCCබැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වැනි ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාවෙන් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න මෙහිදී පැහැදිලි කෙරේ.
මෙම වාර්තාව නිකුත් කිරීම DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය හා සමගාමීව සිදු වේ. පුරෝගාමී සංවර්ධන මූල්‍ය ආයතනයක සිට රට පුරා සිටින පුද්ගලයින්, ව්‍යවසායකයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ සමාගම් සහ ආයතන වෙත සේවා සපයන පූර්ණ වාණිජ බැංකුවක් දක්වා DFCC බැංකුව පරිවර්තනය වූ දශක හතක සාර්ථක ගමන් මඟ මෙයින් සනිටුහන් වේ.
වාර්තාවේ තේමාව මඟින් වඩාත්ම ගනුදෙනුකාර-කේන්ද්‍රීය සහ ගනුදෙනු කිරීමට පහසුම බැංකුව බවට පත්වීමේ බැංකුවේ උපායමාර්ගික අභිලාෂය පිළිඹිබු වේ. එහිදී සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ක්‍රියාවලි සරල කිරීම සහ ඩිජිටල් මෙන්ම ශාඛා ජාල හරහා ගනුදෙනුකාර සම්බන්ධතා ශක්තිමත් කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කර ඇත.
ගත වූ වසර තුළ DFCC බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ හැකියාවන් තවදුරටත් ව්‍යාප්ත කළ අතර, DFCC ONE සහ iConnect 2.0 වැනි පද්ධති ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා ගෙවීම්, මාරු කිරීම්, මුදල් කළමනාකරණය සහ වෙළෙඳ සේවා සඳහා ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. මෙම ආයෝජන ඩිජිටල් පහසුව සහ මානුෂීය බැංකු සේවාව එකට ඒකාබද්ධ කිරීමේ බැංකුවේ පුළුල් උපායමාර්ගයේ කොටසකි.
විනයගරුක ශේෂ පත්‍ර කළමනාකරණය, වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ යාම සහ පුද්ගල, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම ආයතනික බැංකු අංශවල අඛණ්ඩ වර්ධනයෙන් පෙන්නුම් කරන බැංකුවේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙම වාර්තාවේ අවධානය යොමු කර ඇත.
තිරසාර මූල්‍යකරණය සම්බන්ධයෙන් ද DFCC බැංකුව සිය ප්‍රමුඛත්වය තහවුරු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම ලැයිස්තුගත ‘නීල බැඳුම්කරය‘ සාර්ථකව නිකුත් කිරීම මෙහිදී කැපී පෙනේ. සාගර සංරක්ෂණය, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ පාරිසරික තිරසාරභාවය උදෙසා ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට මෙමඟින් අවස්ථාව සැලසේ. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘හරිත බැඳුම්කරයේ‘ ප්‍රතිලාභ භාවිතය සහ බලපෑම පිළිබඳ ස්වාධීන බාහිර නිරීක්ෂණ වාර්තාවක් ද ප්‍රථම වතාවට මෙම වාර්ෂික වාර්තාව හරහා ඉදිරිපත් කර ඇත.
වෙනස් වන වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව, මෙම වාර්ෂික වාර්තාව ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලයේ (IIRC)  රාමුවට අනුකූලව සකස් කර ඇති අතර නවතම තිරසාර අනාවරණ ද ඇතුළත් කර ඇත. 2025 තිරසාර අනාවරණ SLFRS S1 සහSLFRS S2  ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් කර ඇති අතර, වාණිජ බැංකු ක්ෂේත්‍රය සඳහා වන SASB ප්‍රමිති ද මෙහිදී අනුගමනය කර ඇත. මීට අමතරව ගෝලීය වාර්තාකරණ මුලපිරීමේ (GRI)  ප්‍රමිතීන්ට අනුව ස්වේච්ඡා තිරසාර වාර්තාකරණය ද බැංකුව දිගටම පවත්වාගෙන යයි.