ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. ඊයේ (27) පැවැත්වුණු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ හමුවීමෙන් ලබාගත් තීරණ අනුව මෙම විවරණය සකස් කෙරේ. මෙහිදී මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය එළිදැක්වීම සිදු කරන අතර, එය දැනට පවතින සියයට 7.75ක මට්ටමේම පවතිනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. 2025 මැයි මාසයේ සිට මෙම අගය එම මට්ටමේ පවතී.
විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වර්ධනය, විදේශ අංශයේ වර්ධනය මෙන්ම දිට්වා සුළි කුණාටු බලපෑමෙන් පසුව කර්මාන්ත සහ සේවා අංශයේ වර්ධනයත් සමගින් පෙන්නුම් කරන ආර්ථිකයේ නැවත යථාවත්වීම යනාදී කරුණු ඊට හේතුවනු ඇතැයි පැවසෙයි. මේ අතර උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාමට මෙම පොළී අනුපාතය එලෙසින්ම පැවතීම සහාය දක්වනු ඇතැයි මහ බැංකුව විශ්වාස කරනු ඇතැයිද එම විශ්ලේෂකයෝ සඳහන් කරති.