දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ටොන් 380,000 ක් පමණයි
2029 ටොන් 921,436ක අවශ්‍යතාවෙන් මෙට්‍රික් ටොන් 850,000ක් සැපයීමට සැලසුම්
බඩඉරිඟු අවශ්‍යතාවෙන් සියයට 92ක් යෙදවෙන්නේ සත්ව ආහාර සඳහා
භානුක අමරසිංහ
මෙම වසර තුළ රටෙහි බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 755,000 ක් පමණ වන බවත්, මෙරට දේශීය බඩඉරිඟු නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 385,000 ක අගයක් පමණක් ගන්නා බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඒ අනුව ඉතිරි මෙට්‍රික් ටොන් 370,000 ක අවශ්‍යතාව ආනයනය කිරීමට සිදුවන බවත්, ඒ සඳහා අතිවිශාල විදේශ විනිමයක් වාර්ෂිකව වැය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට තුළ වැඩිදියුණු කළ ත්‍රිපෝෂ වැඩසටහනක් සඳහා ඔරොත්තු දෙන ඉහළ ගුණාත්මක බවකින් යුත් බඩඉරිඟු වගාවක් ඇති කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහනේ (WFP) මූලිකත්වයෙන්, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක ආයෝජනයෙන් ක්‍රියාත්මක Saw and Grow වැඩසටහනේ ආරම්භයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම ගැබිනි සහ ළදරුවන්ගේ පෝෂණය වර්ධනය කරන ආහාරයක් වන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන මෙම බඩඉරිඟු මෙරට තුළ වඩාත් සාර්ථක ලෙස වගා කරමින් එම ඉලක්කය සපුරා ගැනීම අපේක්ෂාව වී තිබේ.
“බඩඉරිඟු කියන්නේ ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකයේ වැදගත් බෝගයක් නෙමෙයි. එහෙත් එය රටේ පෝෂණ වැඩසටහනේ ප්‍රධාන අමුද්‍රව්‍යයක්. එය අපේ සමාජයේ වඩාත් අවදානම් සහගත පිරිසකගේ පෝෂණ අවශ්‍යතාව සපුරනවා. 2025 දී මෙට්‍රික් ටොන් 625,000 ක බඩඉරිඟු අවශ්‍යතාවක් පැවතුණා. ඒත් අපේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 320,000 ක් පමණයි. 2026 දී එම ඉල්ලුම මෙට්‍රික් ටොන් 750,000ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඒත් රටේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 380,000ක් පමණයි.”
ඒ අනුව මෙම Saw and Grow ව්‍යාපෘතිය හරහා මූලිකවම අනුරාධපුරය, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ගොවි පවුල් 7500කට ප්‍රතිලාභ හිමිවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ KOICA හි මෙරට අධ්‍යක්ෂිකා ලී යූ ලි මෙම ව්‍යාපෘතිය හරහා බඩඉරිඟු වගාව වඩාත් නවීනතම තාක්ෂණය යොදාගෙන, කාලගුණික විපර්යාස සහ පළිබෝධ සඳහා ඔරොත්තු දෙන ආකාරයෙන් සහ ඉහළ ඵලදාවක් හිමිවන ආකාරයෙන් සිදු කිරීම අපේක්ෂාව බව පවසා සිටියාය. එසේම බඩඉරිඟු වගාවේ සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය දක්වා සිදුවන අපතේ යෑම වළක්වා ගැනීමත් මෙහි අරමුණකි.
ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්ෂ ෆිලිප් වාර්ඩ් මහතා අදහස් දක්වමින්, කිසිවකුත් අත්නොහැරෙන ලෙස සියලු දෙනාටම අවශ්‍ය පෝෂණය ලබාදීම සිය වැඩසටහනේ අරමුණ බව පවසා සිටියේය.
මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බඩඉරිඟු බෝග නායක ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා, අද වනවිට මෙරට තුළ බඩඉරිඟු නිෂ්පාදනයෙන් සියයට 92ක්ම සත්ව ආහාර සඳහා යොදා ගන්නා බවත්, සියයට 5ක් ත්‍රිපෝෂ වැනි පෝෂණීය ආහාර සඳහා යොදා ගන්නා බවත්, සියයට 3ක් මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා බවත් සඳහන් කළේය.
“2026 වසර තුළදී මේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අපිට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වෙනවා. එම ඵලදාව ලබා ගැනීමට අපිට හෙක්ටයාර 4,500 ක පමණ ප්‍රමාණයක් අවශ්‍යයි.”
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලෙස 2025 වසරේදී රට තුළ බඩරිඟු මෙට්‍රික් ටොන් 340,000 ක් නිපදවීමට හැකි වූ බවත්, 2026 දී එය මෙට්‍රික් ටොන් 385,000 ක් බවට පත් කිරීම අපේක්ෂාව බවත්, 2030 වන විට එය මෙට්‍රික් ටොන් 850,000 ක් නිපදවීමත් සැලසුම බව අබේසිංහ මහතා සඳහන් කළේය. 2030 වන විට මෙරට බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 921,436 කි.
“පසුගිය වසර 14ක කාලයේදී අපේ බඩඉරිඟු නිෂ්පාදන ධාරිතාවේ වර්ධනය බැලුවොත් 2020-21 කාලය වනවිට හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.5ක වගේ ඵලදාවක් ලැබුණා. එහෙත් කාබනික පොහොර ප්‍රතිපත්තියට යොමුවීමත් එක්කම එය මෙට්‍රික් ටොන් 3.0ටත් වඩා අඩු වුණා. කොහොම වුණත් 2025-26 මහ කන්නය වනවිට එය යළිත් මෙට්‍රික් ටොන් 4.0 ක මට්ටමකට පත්වෙලා තිබෙනවා.”
ඡායාරූප: ලසන්ත කුමාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd