• බැංකු අංශයේ ඉපැයීම් තවදුරටත් ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂාවක්

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්හි ඉපැයීම්වල මෙම වසරේදී සියයට 15ත් සියයට 20ත් අතර වර්ධනයක් අපේක්ෂා කරන බව  CAL Research  ආයතනය පවසයි. 2026 වසර සඳහා වන කොටස් වෙළෙඳපොළ පෙරදැක්මක් ඉදිරිපත් කරමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කරයි. 

ඒ අනුව 2026 වසරේදී එම ලැයිස්තුගත සමාගම් රු.බි. 837ක ආදායම් ඉපැයීමක් පෙන්නුම් කරනු ඇතැයිද, මෙය 2025 දී වාර්තා කළ රු.බි. 728ක ඉපැයීම් හා සැසඳීමේදී සියයට 15 ඉහළ යාමක් බවත් ඔවුහු පවසති. 

“ශුද්ධ පොලී ආන්තික සංකෝචනයවීමත් සමගින්ම බැංකු අංශයේ ඉපැයීම් තවදුරටත් ස්ථාවර මට්ටමකින් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අතරම අමුද්‍රව්‍ය, පාරි‍භෝගික සහ ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් ද වඩාත් ධනාත්මක ඉපැයීම් ගම්‍යතාවක් පෙන්වාවි.“  CAL  පවසයි. 

වාර්තාවට අනුව 2025 දී  CSE  හි ලැයිස්තුගත සමාගම් අතරින් සියයට 27ක ඉපැයීමක් වාර්තා කර ඇත්තේ බැංකු අංශයයි. ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් සියයට 21ක්ද, මූල්‍ය සේවා සියයට 19ක් ලෙසද දායක වී තිබේ.එසේම ප්‍රාග්ධන භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සහ අමුද්‍රව්‍ය පිළිවෙළින් සියයට 10ක, සියයට 6ක සහ සියයට 4ක දායකත්වයක් ලබාදී තිබේ. වෙනත් අංශ දායකත්වය සියයට 12කි. 

“මෙලෙස සියයට 15ක ඉපැයීම් වර්ධනයත් සමගින්ම 2026 දී වෙළෙඳපොළ මිල ඉපැයීම් අනුපාතය 9.6x අගයකට පත්වේවි.“ යනුවෙන්ද එම ආයතනය පෙන්වා දෙයි. 

පසුගිය වසර 10 පිළිබඳ අවධානයේදී මෙම ලැයිස්තුගත සමාගම්හි ඉපැයීම් 2020න් පසුව කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සටහන් කර ඇත. ඒ අනුව 2015 සිට 2020 දක්වා එම ඉපැයීම් පිළිවෙළින් රුපියල් බිලියන 220ක්, 181ක්, 310ක්, 293ක්, 248 ක් සහ 264ක් ලෙස සටහන්ව තිබේ. 

2021 දී එය රු.බි. 516ක් දක්වා වර්ධනය වී ඇති අතර, එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් 2022 දී රු.බි. 757ක් දක්වා එය වර්ධනය වී ඇත. කෙසේ වෙතත් 2023 දී එය රු.බි. 475ක් දක්වා පහත වැටී තිබේ. අනතුරුව 2024 සහ 2025 දී මෙම ඉපැයීම් පිළිවෙළින් රුපියල් බිලියන 721 ක් සහ 728ක් ලෙස සටහන්ව ඇත.