අතීතයේ අප මුතුන්මිත්තන් පරිසරය දෙස බැලු‍වේ දේවත්වයටත් වඩා ඉහළ ගෞරවයකිනි. කුඹුරට ගෙන යන බත් පත කෙසෙල් කොළයක ඔතා රැගෙන ගිය ගොවි බිරිඳ, එය අනුභව කිරීමෙන් පසු ඉතිරි වන කොළය කිසිවිටකත් ගලා යන දොළ පාරකට හෝ ගඟකට දැමුවේ නැත. එය නියර මත හෝ ගසක් මුල තැබුවේ සතෙකුට ආහාරයක් වීමට ඉඩ සලසමිනි. එදා අපේ හදවත් පරිසරය සමඟ එතරම්ම බද්ධ වී තිබුණි. එහෙත් අද වන විට ලෝකය සංකීර්ණ වී ඇති අතර, ඒ සමඟම පරිසරය දූෂණය වීම ද බරපතළ අභියෝගයක් බවට පත්ව තිබේ.
මෙම පාරිසරික අභියෝග ජය ගැනීම සඳහා 1981 අගෝස්තු 12 වැනි දින ස්ථාපිත කරන ලද මධ්‍යම පරිසර අධිකාරිය (CEA), වසර 45කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිසරික නියාමන ආයතනය ලෙස කටයුතු කරයි. සේවා විශිෂ්ටත්වය තුළින් පිරිසිදු හා හරිත පරිසරයක් යන්න සිය දැක්ම කරගත් මෙම ආයතනය, නීතිය බලාත්මක කිරීමට පමණක් සීමා නොවී, ජනතාව සහ කර්මාන්තකරුවන් පරිසර සංරක්ෂණයට දිරිමත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
2011 වසරේදී ජාතික හරිත සම්මාන ලෙස ඇරඹී, 2016 සිට ජනාධිපති පරිසර සම්මාන ලෙස නම් කෙරුණු මෙම සුවිශේෂී ඇගයීම් උළෙල, මෙරට පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ගෞරවයයි. මෙහි මූලික අරමුණ නිසි පාරිසරික කළමනාකරණය හරහා විශිෂ්ට සේවාවක් ඉටු කරන කර්මාන්ත, ව්‍යාපෘති සහ පුද්ගලයන් රාජ්‍ය මට්ටමින් ඇගයීමට ලක් කිරීමය. එමඟින් රට තුළ පරිසර හිතකාමී සංස්කෘතියක් ගොඩනැගීමට අධිකාරිය අපේක්ෂා කරයි.
මෙවර සම්මාන උළෙල සෞභාග්‍යමත් දේශයක් - සුන්දර ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්තියට සමගාමීව සංවිධානය කර ඇත. ප්‍රධාන වශයෙන් අංශ තුනක් යටතේ අයදුම්පත් කැඳවා ඇත.
කර්මාන්ත අංශය: මහා පරිමාණ සහ සුළු හා මධ්‍ය පරිමාණ ලෙස කොටස් දෙකකි. රසායනික, රෙදිපිළි, හෝටල්, රෝහල්, තේ සහ ඇඟලු‍ම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මීට ඇතුළත් වේ.
ව්‍යාපෘති අංශය: කුඩා ජල විදුලි, සූර්ය බලශක්ති සහ සුළං බල ව්‍යාපෘති මෙහිදී ඇගයීමට ලක්වේ.
ආයතනික, මාධ්‍ය සහ සමාජ අංශය: පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පළාත් පාලන ආයතන, පොලිස් පරිසර ඒකක සහ ජනමාධ්‍යවේදීන් (සමාජ මාධ්‍ය ඇතුළුව) සඳහා මෙහිදී අවස්ථාව වෙන් කර ඇත.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂ විද්වත් මණ්ඩලයක් මඟින් මෙම ඇගයීම් කෙරෙන අතර, ජයග්‍රාහකයන්ට රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන පිරිනැමේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සම්මාන පවා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලු‍මිනියම් කෑන් භාවිතයෙන් නිෂ්පාදනය කර තිබීමය. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්කර්ෂවත් සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.
පරිසරය සුරැකීමට ඔබ ගන්නා වෙහෙසට ජාතික මට්ටමේ ඇගයීමක් ලබා ගැනීමට මෙය අගනා අවස්ථාවකි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අප්‍රේල් මස 30 වැනිදාය. වැඩිදුර විස්තර මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk මඟින් හෝ 0112873447 / 0112888999 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
පරිසරය සුරැකීම යනු හුදු වගකීමක් නොව, එය අපේ ජීවන රටාව විය යුතුය. එබැවින් එන්න, අපි සැවොම එක්ව අපේ ජීවන රටාව පරිසර හිතකාමී කර ගනිමින් මතු පරපුරට සුන්දර ලොවක් දායාද කරමු.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේමවංශ