- 2025 දී රාජ්‍ය ආදායම රු.බි. 5,485ක් - රාජ්‍ය වියදම් රු.බි. 6,230 ක්
- පසුගිය වසරේදී රාජ්‍ය ආදායමේ සියයට 34 ක වර්ධනයක්
පසුගිය 2025 වසරේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 744.86ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 2,039.93ක අයවැය හිඟය හා සැසඳීමේදී රුපියල් බිලියන 1295.07 ක අඩු වීමකි.
විශේෂයෙන්ම 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී රජයේ සමස්ත ආදායම් කැපී පෙනෙන ලෙස ඉහළ යෑම සහ රජයේ වියදම් සුළු වශයෙන් ඉහළ යෑම මේ සඳහා හේතුව වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකයේ මෙම කරුණු ඇතුළත්ව ඇත.
ඒ අනුව 2025 වසරේදී රජයේ ආදායම් සහ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 5,485.55 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 4,090.81ක රජයේ ආදායම් හා ප්‍රදාන සැසඳීමේදී රුපියල් බිලියන 1,394 ක එනම් සියයට 34 ක වර්ධනයකි.
මෙහිදී ආදායම් යටතේ 2025 වසරේදී රුපියල් බිලියන 5,449.40ක් රජයට හිමිව ඇති අතර, මේ යටතේ බදු ආදායම් ලෙස හිමිව ඇති මුදල රුපියල් බිලියන 5,049.19 කි. එය 2024 වසරේ හිමි වූ බදු ආදායම වූ රුපියල් බිලියන 3,704.58 හා සැසඳීමේදී රුපියල් බිලියන 1,344 ක වර්ධනයකි. එසේම බදු නොවන ආදායම් රුපියල් බිලියන 326.26 ක සිට රුපියල් බිලියන 400.21 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව රජය 2025 වසර තුළදී හිමිකරගත් ප්‍රදානවල වටිනාම රුපියල් බිලියන 36.15 කි. කෙසේ වෙතත් එය 2024 වසරේදී හිමි කරගත් රුපියල් බිලියන 59.97ක ප්‍රදාන හා සැසඳීමේදී රුපියල් බිලියන 23.82 ක අඩුවීමකි.
මේ අතර 2025 වසරේදී රජය සිදුකළ වියදම් සහ ණය ලබාදීම්වලින් නැවත පියවීම් අඩු කළ පසු අගය රුපියල් බිලියන 6,230.41ක් ලෙස සටහන්ව ඇත. 2024 වසරේදී එය රුපියල් බිලියන 6,130.74ක් විය. ඒ අනුව 2025 වසර තුළ එම රාජ්‍ය වියදම් ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 99.67 ක අගයකිනි.
මේ අතරින් 2025 වසරේදී රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ණය සඳහා පොලී ගෙවීම් සහ සහනාධාර වැනි එදිනෙදා වියදම් ඇතුළු පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 5,232.39 ක් ලෙස සටහන්ව තිබේ. 2024 වසරේදී එය රුපියල් බිලියන 5,339.94ක් විය. එසේම ප්‍රාග්ධන සහ ණය ලබාදීම්වලින් නැවත පියවීම් අඩු කළ පසු අගය රුපියල් බිලියන 998.03 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd