
ආනයනය කළ පිරිපහදු කළ ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,638,000ක්
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවීම නිසා 2024ට සාපේක්ෂව 2025 දී වියදම අඩු වෙලා
2025 මුල් මාස 10 දී ඉන්ධන අලෙවියේ සියයට 5.1ක වර්ධනයක්
ඔටෝ ඩීසල් මෙ.ටො. 1,424,000ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1,193,000ක් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 52,000 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,000 ක් අලෙවි වෙලා
භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මුල් මාස 10ක කාලය තුළදී මෙරට වෙත පිරිපහදු කළ ඉන්ධන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,454ක මුදලක් වැය වී ඇතැයි වාර්තා වෙයි. මෙය රුපියල් වටිනාකම අනුව රුපියල් මිලියන 735,137ක ආනයන වියදමක් ලෙස සටහන්ව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2025 වසර සඳහා නිකුත් කළ ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් විවරණය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
මෙහිදී 2025 වසරේ මුල් මාස 10 තුළ ආනයනය කරළ පිරිපහදු කළ ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,638,000ක් වන අතර, එය 2024 වසරේ එම කාලසීමාවේදී ආනයනය කළ මෙට්‍රික් ටොන් 3,552,000ක ඉන්ධන ප්‍රමාණය හා සැසඳීමේදී මෙට්‍රික් ටොන් 86,000ක එනම් සියයට 2.42ක ආනයන වර්ධනයකි.
කෙසේ වෙතත් 2024 වසරේ මුල් මාස 10 හා සැසඳීමේදී 2025 වසරේ ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 2,684ක් එනම් රුපියල් මිලියන 815,714ක් දක්වා ඩොලර් මිලියන 230ක එනම් රුපියල් මිලියන 80,577 ක අඩුවීමක් ලෙසද සටහන්ව තිබේ.
එහිදී 2024 වසරේදී ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙස සහ 2025 දී එය ඩොලර් 69.36ක් ලෙස පැවතීම මෙලෙස 2024 ට සාපේක්ෂව 2025 දී වියදම් අඩුවීමට හේතුව ලෙස සැලකෙයි.
එසේම 2025 වසරේ මුල් මාස 10ක කාලය තුළදී මෙරට වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 1,218,000ක් ආනයනය කර ඇති අතර, එහි ආනයන වියදම ඩොලර් මිලියන 694ක් එනම් රුපියල් මිලියන 207,849ක් ලෙස ලෙස සටහන්ව තිබේ. 2024 වසරේ එම කාලසීමාවේදීද බොරතෙල් මෙට්‍රික් ටොන් 1,044,000ක් ආනයනය කර ඇති අතර, එහි එහි ආනයන වියදම ඩොලර් මිලියන 694ක් එනම් රුපියල් මිලියන 212,523ක් ලෙස සටහන්ව තිබේ. එහිදී ආනයන මිල ගණන් පහත වැටීම සඳහා 2024 වසරේ පැවැති බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 86.63 ට සාපේක්ෂව 2025 දී එය ඩොලර් 75 ක් දක්වා අඩුවීම හේතු වී තිබේ.
2024 දී පිරිපහදු කළ ඉන්ධන ආනයනයේ සමස්ත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,173ක් ලෙස සටහන්ව තිබේ. 2023 දී එය ඩොලර් මිලියන 3,095ක් වූ අතර, 2022 වසරේදී එය ඩොලර් මිලියන 4,048 ක් විය. 2020 දී සහ 2021 දී පිළිවෙලින් එය ඩොලර් මිලියන 1,742ක් සහ 2,840 ක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, පසුගිය 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා පළමු මාස 10ක කාලයේදී මෙරට තුළ පිරිපහදු කළ ඉන්ධන නිෂ්පාදන අලෙවිය මෙට්‍රික් ටොන් 3,746,000ක් ලෙස සටහන්ව තිබේ.
එය 2024 වසරේ එම කාලසීමාවේදී අලෙවි වූ ඉන්ධන මෙට්‍රික් ටොන් 3,562,000 හා සැසඳීමේදී සියයට 5.1ක වර්ධනයකි. රටෙහි ආර්ථික ක්‍රියාකාරකම් යථාවත්වීමත් සමගින්ම 2024 දී ඇති වූ පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා වන ඉල්ලුමේ ඉහළ යාම, 2025 වසරේදී තවදුරටත් වර්ධනීය ගමන් මාර්ගයකට පිවිසීම මෙම අලෙවියේ ඉහළ යාමට හේතුව වී ඇතැයි මහ බැංකුව පවසයි.
මෙහිදී වැඩිම අලෙවිය ඔටෝ ඩීසල් හරහා සිදුව ඇති අතර එය මෙට්‍රික් ටොන් 1,424,000 කි. එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවිය මෙට්‍රික් ටොන් 1,193,000 කි. සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් අලෙවිය පිළිවෙළින් මෙට්‍රික් ටොන් 52,000 ක් සහ 47,000 ක් ලෙස සටහන්ව තිබේ.
මීට අමතරව භූමි තෙල් මෙට්‍රික් ටොන් 129,000ක්, දැවි තෙල් මෙට්‍රික් ටොන් 511ක්, ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 260,000ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 106,000ක් ලෙසද මෙම අලෙවිය සිදුව තිබේ.
“දේශීය පෙට්‍රෝලියම් වෙළෙඳපොළ වඩාත් විවෘත කිරීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ නිසා ඇති වූ වෙළෙඳපොළ කාර්යක්ෂමතාවේ දියුණුවීම සහ පාරිභෝගිකන්ට සිය තේරීම් සඳහා වැඩි අවස්ථාවක් හිමි වීමත් මෙම අලෙවියට ඉහළ යාමට හේතුවක්.” මහ බැංකුව පවසයි.
අද වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා අයිඕසී, සයිනොපෙක් ලංකා (පෞද්) සමාගම සහ ආර්.එම් පාර්ක්ස් (පෞද්) සමාගම යන සමාගම් මෙරට තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරට තුළ මෙහෙයුම් ආරම්භ කළත්, පසුව ඔවුන් සිය මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත්තේය.
COMMENTS