2024 වසරට සාපේක්ෂව සියයට 5.42 ක පමණ වර්ධනයක්


යුරෝපා සංගමයට ඇඟලු‍ම් අපනයන කිරීමෙන් ඩොලර් බිලියන 1.57 ක් උපයලා


විමුක්ති එස් රුද්‍රිගු

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇඟලු‍ම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.01 ක ආදායමක් උපයා ඇති බවත් එය 2024 වසරට සාපේක්ෂව සියයට 5.42 ක පමණ ප්‍රතිශතයක වර්ධනයක් බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ඇඟලු‍ම් අපනයනයෙන් ශ්‍රී ලංකාව 2024 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 ක ආදායමක් උපයා තිබිණි. එසේම පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇඟලු‍ම් අපනයනයෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව ඇඟලු‍ම් අපනයනයෙන් ඩොලර් මිලියන 479.14 ක් උපයා ඇත. පසුගිය වසරේ අඩුම ඇඟලු‍ම් අපනයන ආදායමක් උපයා ඇත්තේ අප්‍රේල් මාසයේ වන අතර පසුගිය අප්‍රේල් මාසයේ ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 344 කි. ට්‍රම්ප් ඇමෙරිකාවේ සියලු‍ම වෙළෙඳ හවුල්කරුවන්ට පැනවූ තීරු බද්ද ප්‍රකාශයට පත් කරනු ලැබුවේද පසුගිය අප්‍රේල් මාසයේය.

එසේම පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වැඩිම ඇඟලු‍ම් අපනයන ආදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් වන අතර ඇමෙරිකාවට ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.94ක ආදායමක් උපයා ඇත. ඇමෙරිකාවට, ඇඟලු‍ම් අපනයනයෙන් 2024 වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.90 ක ආදායමක් උපයා තිබූ අතර ඒ අනුව පසුගිය වසරේ ඇමෙරිකාවට ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම සියයට 2.15 කින් වර්ධනය වී තිබේ.

ඇමෙරිකාවට ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව වැඩිම ආදායමක් උපයා ඇත්තේ පසුගියදා දෙසැම්බර් මාසයේදීය. පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවට ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 178.29 ක ආදායමක් උපයා ඇත. ඇමෙරිකාවට ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් අඩුම අදායමක් උපයා ඇත්තේද පසුගිය අප්‍රේල් මාසයේය.

එසේම යුරෝපා සංගමයට ඇඟලු‍ම් අපනයන කිරීමෙන් පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.57 ක මුදලක් ශ්‍රී ලංකාව උපයා ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 12.48 වර්ධනයකි. 2024 වසරේ යුරෝපා සංගමයට ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.40 ආදායමක් උපයා තිබිණි.

පසුගිය වසරේදී යුරෝපා සංගමය ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් අඩුම ආදායමක් උපයා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ වන අතර පසුගිය අප්‍රේල් මාසයේදී ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 112 ක ආදායමක් උපයා ඇත. එසේම පසුගිය වසරේදී යුරෝපා සංගමයට ඇඟලු‍ම් අපනයනය කිරීමෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ජූනි මාසයේ වන අතර ජූනි මාසයේ ඇඟලු‍ම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 142 ක් උපයා තිබිණි.

එසේම එක්සත් රාජධානිය ඇඟලු‍ම් අපනයනය කිරීමේ ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 679 ක ආදායමක් උපයා ඇත.