ආයෝජන රුපියල් බිලියන 350 සිට 334 ක් දක්වා පහළට 

සමස්ත වගකීම් රුපියල් බිලියන 1977ක් දක්වා සියයට 42.6ක වර්ධනයක් පෙන්වයි 

මූල්‍ය සමාගම් සතු බදු පසු ලාබය රු.බි. 41.9ක් දක්වා සියයට 59.3 කින් ඉහළට


භානුක අමරසිංහ 


මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් හෙවත් බලපත්‍රලාභී මුදල් සමාගම් සතු වත්කම් ප්‍රමාණය පසුගිය වසරේ තෙවැනි කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 2,488.2ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 තෙවැනි කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 1,838.6 හා සැසඳීමේදී සියයට 35.3ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී අදාළ කාලසීමාවේදී මූල්‍ය සමාගම් මගින් ලබා දුන් ණය සහ අත්තිකාරම්හි ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබෙන බව 2025 තෙවැනි කාර්තුව සඳහා වන මූල්‍ය සාධනීය දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසයි. 

ඒ අනුව 2025 තෙවැනි කාර්තුව වනවිට එම ණය සහ අත්තිකාරම්වල වටිනාකම රුපියල් බිලියන 1,989.2 ක් ලෙස සටහන් වන අතර, එය 2024 තෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 1,340.2 හා සැසඳීමේදී සියයට 48.4 ක වර්ධනයකි. 

කෙසේ වෙතත් මූල්‍ය සමාගම් වෙත හිමි වූ ආයෝජන 2024 තෙවැනි කාර්තුවේ පැවැති රුපියල් බිලියන 350.1 සිට 2025 තෙවැනි කාර්තුව වනවිට රුපියල් බිලියන 334.3ක් දක්වා සියයට 4.5කින් පහත වැටී තිබේ. 

මේ අතර 2025 තෙවැනි කාර්තුව අවසන් වනවිට මූල්‍ය සමාගම් සතු සමස්ත වගකීම්වල (කොටස් හැර) වටිනාකම රුපියල් බිලියන 1,977.1 කි. එය 2024 තෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 1,387.0 හා සැසඳීමේදී සියයට 42.5 ක වර්ධනයකි. 

එහිදී මූලිකවම රුපියල් බිලියන 1,010.2ක සිට 1,228.5ක් දක්වා සියයට 21.6කින් වර්ධනය වූ තැන්පතු සහ රුපියල් බිලියන 277.6ක සිට 611.2ක් දක්වා සියයට 120.2කින් ඉහළ ගිය මූල්‍ය සමාගම්හි ණය ගැනීම් හේතුව වී තිබෙන බව මහ බැංකුව පෙන්වා දෙයි. 

මේ අතර 2025 තෙවැනි කාර්තුව වනවිට මූල්‍ය සමාගම් සතු අවදානම මත බර තැබූ වත්කම් සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 2024 තෙවැනි කාර්තුවේ පැවැති සියයට 22.5ක සිට සියයට 19.1ක් දක්වා අඩුවී තිබේ. මෙහිදී මූල්‍ය සමාගම්හි බදු පසු ලාබය 2024 තෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 26.3ක සිට 2025 තෙවැනි කාර්තුව අවසන් විට රුපියල් බිලියන 41.9ක් දක්වා සියයට 59.3 කින් ඉහළ ගොස් තිබේ. එසේම බදු පෙර ලාබයද රුපියල් බිලියන 37.5ක සිට 55.6ක් දක්වා සියයට 48.3කින් ඉහළ ගොස් ඇත.

එහිදී රුපියල් බිලියන 94.5ක සිට 119.7ක් දක්වා සියයට 26.6කින් සිදු වූ ශුද්ධ පොලී ආදායම් ඉහළ යෑම මෙන්ම, රුපියල් බිලියන 109.8 ක සිට 141.1ක් දක්වා සියයට 28.6 කින් සිදු වූ දළ ආදායම් ඉහළ යාම් හේතුව වී තිබෙන බව මහ බැංකුව පවසයි. 

මේ අතර 2025 තෙවැනි කාර්තුව වනවිට මූල්‍ය සමාගම් මගින් නියාමන අවශ්‍යතාවට වඩා ඉහළ ද්‍රවශීලතා ස්වාරක්ෂකයක් පවත්වාගෙන යාමට සමත්ව තිබේ. කෙසේ වෙතත් 2025 තෙවැනි කාර්තුව වනවිට එම අංශයේ සමස්ත වත්කම් සඳහා වන ද්‍රවශීලතා වත්කම් අනුපාතය සියයට 11.9 සිට 8.9ක් දක්වා අඩු වී තිබේ.