IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මුහුණු පොතෙන් යාළු වී කරකාරයට ගත් යෞවනිය විවාහක කතක්

විවාහ වී සති දෙකෙන් තරුණයා අතරමං   

 

ඔයා හරිම ලස්සනයි.   


ෆේස් බුක් එකේ රුවැති තරුණියකගේ ඡායාරූපයක් දුටු තරුණයෙක් කමෙන්ට් එකක් දැම්මේ ඇයගේ රුවට ලොල්වූ නිසාය.  
අනේ මං ඇත්තටම ලස්සනයි ද ඔයා බොරු කියනවා.   


තරුණිය ද තරුණයාට කමෙන්ට් එකක් දැම්මාය.  


බොරු නෙමේ අනේ ඔයා හරිම ලස්සනයි. ඒ නිසා ඔයාට බෝයි ​ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇති යැයි තරුණයා තවත් කමෙන්ට් එකක් දමා ඇත.   
තරුණිය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අනේ මට තවම එහෙම කෙනෙක් නැහැ. යැයි කියමිනි.   


බොරු නොකියා ඉන්න ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නම ඕනෑ.   


මම ඔයාට බොරු කියන්නේ මොකටද?   


සත්තයි මේ කියන්නේ මට ​බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. අපේ ඩැඩී බිස්නස් කාරයෙක්. ගෙදරින් මට ඒවා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඕනෑ තරම් සල්ලි තිබුණට නිදහසක් නැහැ.   
තරුණිය හා තරුණයා අතර ඒ විදිහේ කමෙන්ට් දවස් කිහිපයක් තිස්සේ හුවමාරු විය.   


ටික දවසක් ගත වෙද්දි තරුණයා තරුණියගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක ඉල්ලාගෙන වට්ස් ඇප් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ ඇය හා කතාබහ කිරීමට පටන් ගත්තේය.   
යොවුන් හදවත්වල පොපියන ආදරයේ මල් විකසිත වූයේ ඔවුන් දෙදෙනාටත් හොරාය. 

 
තරුණයා පදිංචිය කුලියාපිටිය ප්‍රදේශයේය.   
තරුණිය පදිංචිව සිටියේ අම්පාර උහන ප්‍රදේශයේය.   


ෆේස් බුක් ආදරවන්තිය දවසක් තරුණයාගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස සොයා ආවාය. ඊට කලින් පෙම්වතාගේ නිවසට එන ආකාරය ගැන ඇය අසා දැන තිබුණාය.   
ඒ ඔහු ඇය සැබැවින් දුටු මුල්ම දවස විය.   


ඇත්තෙන්ම ඇය හැඩකාර යුවතියක බව ඔහු සැබැවින්ම දුටු මොහොතේම සිතා ගත්තේය.   


මගේ මමී ඩැඩී අපි දෙන්නා ෆේස් බුක් එකෙන් ලව් කරනවා කියලා දැනගෙන මගේ හෑන්ඩ් ෆෝන් එක පොළොවේ ගහලා මටත් හොඳටම බැන්නා. අපි දෙන්නාගේ ලව් එකට ගෙදරින් කැමති වෙන්නේ නැති නිසා මම ඔයාව හොයාගෙන ආවා. මට ආයෙත් ගෙදර යන්න බැහැ. ගෙදර ගියොත් මාව මරා දමාවි යැයි තරුණිය හඬා වැලපෙමින් කියා ඇත.   
පුතා නිවස ඉදිරිපිට තරුණියක සමග කතා බහ කරමින් සිටිනවා දුටු මව මේ කවුද පුතේ, කියා විමසුවාය.   


අම්මේ මේ මම යාළු වෙලා ඉන්න ගැහැනු ළමයා යමක් කමක් තියෙන කෙනෙක්. අපේ ලව් එක දැන ගෙන මෙයාට හොඳටම ගහලා. ගෙදරින් පැනලා මාව හොයාගෙන ඇවිත්.   
තරුණයා තම ෆේස් බුක් පෙම්වතිය මවට හඳුන්වා දෙමින් පවසා ඇත.   
මව දුටු සැණින් එම තරුණිය ඇයගේ දෙපාමුල වැටී වැන්දාය.   


තරුණයාගේ මව ඇය දෙවුරෙන් අල්ලා ඔසවා සෙනෙහසින් මුහුණ සිපා ගත්තාය.   
ඇය හැඩකාර ගුණ යහපත් තරුණියක් බව තරුණයාගේ මවට ද පෙනී යන්නට ඇත.   
දුවේ ඔයා ගෙදර යන්න. අපි කොහොම හරි ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි ආශිර්වාදය ලබා ගනිමු යැයි තරුණයාගේ මව කියා ඇත්තේ ඇයගේ හිස අත ගාමිනි.   
අනේ අම්මේ මට ආයෙත් ගෙදර යන්න කියන්න එපා. මගේ මමියි ඩැඩියි මාව මරයි. 

 
අැය ඉකි බිඳිමින් කීවාය.   


​අනේ ඔව් අම්මේ. මෙයාට මොනවා හරි කරදරයක් වුණොත් මම ජීවත් වෙන්නෙත් නැහැ යැයි තරුණයා ද පවසා ඇත.   
විවාහ රෙජිස්ට්‍රාර්වරයකු ළඟට කැඳවාගෙන ගොස් දෙදෙනාව නීත්‍යනුකූලව විවාහ කර දුන් අතර විවාහයේ සාක්කිකරුවන් ලෙස අත්සන් කර ඇත්තේ ද තරුණයාගේ මව හා පියාය.   


තරුණයාගේ වයස අවුරුදු 21ක් වන අතර තරුණියගේ වයස තරුණයාගේ වයසට වඩා මාස කිහිපයකින් වැඩිය.   
තරුණයාට රැකියාවක් තිබුණේ නැතත් ඔහුගේ මව් පියන් තරුණිය විවාහ කර දීමට තීරණය කර ඇති බව කියන්නේ ඇය හොඳ පවුලක කෙනෙක් යැයි සිතාය.   
දෙන්නා විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ මුහුණු පොතෙන් හඳුනා ගෙන මාසයක පමණ කාලයකිනි.   
පුතා විවාහ කරගත් තරුණිය කෙරෙහි ඇති වූ සැක සංකා මත මව ඇය ගැන සොයා බැලීමට තීරණය කර ඇත.   
ලේළියගෙන් පදිංචි ඉසව්ව ගැන ඇයට සැකයක් ඇති නොවන ආකාරයට අසාගෙන උහන ප්‍රදේශයේ පදිංචි කෙනෙකු සොයාගෙන ඇත්තේ නැන්දම්මාගේ මිතුරියකගේ මාර්ගයෙනි.   


​ලේළිය ගැන ඇයගේ මිතුරියගේ යෙහෙළියක් හරහා දැන ගත් මවගේ ඉහ මොළ රත් වී ඇති බව කියති.   
උඹ මහ මෝඩයෙක්. කොහේවත් යන එකියකට රැවටුණා යැයි කියමින් තරුණයාගේ මව හා පියා අලුත බැන්ද මනාල යුවල කුඩා ප්‍රමාණයේ ලොරි රථයක දමාගෙන කුලියාපිටියේ සිට කෙළින්ම ආවේ උහන පොලිස් ස්ථානය වෙතයි.   
ඒ වන විට දෙදෙනා යුග දිවි ගමන් අරඹා හරියටම ගත වී තිබුණේ සති තුනක පමණ කාලයකි.   
අලුත ගෙනා මනමාලියට එරෙහිව මනමාලයාගේ මව හා පියා පොලිසියට කළ පැමිණිල්ල විභාග කළේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා හමුවේය.   


සර් මේ කෙල්ල අපේ පුතා රවට්ටලා බැඳ ගත්තා. අපිත් මේ කෙල්ලගේ බහට රැවටුණා. ෆේස් බුක් එකෙන් දෙන්නා යාළු වෙලා තියෙන්නේ. ධනවත් පවුලක කෙනෙක් කියා තමා කිව්වේ. ඒක පට්ටපල් බොරුවක්. මේ කෙල්ලගේ තාත්තා දාලා ගිහින්. අම්මා කුලී වැඩ කරන්නේ. ඒ විතරක් නෙමේ. මීට කලින් විවාහ වෙච්ච කෙනෙක්. මනාලයාගේ මව පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ නෙතේ කඳුළු පුරෝගෙනය.   
අම්මා බොරු කියන්නේ මෙයා මීට කලින් කා එක්කවත් යාළු වෙලා ඉඳලාවත් නැහැ යැයි තරුණයා පවසා ඇත්තේ මව දෙස රවා බලමිනි.   
මම මොකටද පුතේ බොරු කියන්නේ? යැයි පැවසූ මව තරුණිය මීට කලින් විවාහ වූ විවාහ සහතිකය පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා ඉදිරියේ තැබුවාය.   
ඇය පොලිසියට පැමිණ තිබුණේ පුතා විවාහ කරගත් මනාලියගේ පැටිකිරිය ඔප්පු කිරීමට අවශ්‍ය සාධක ද රැගෙනය.  
විවාහ සහතිකය දුටු මනාලයාගේ ඇස් උඩ ගියේය.   


මෙම තරුණියට වයස අවුරුදු 18 පිරෙනවාත් එක්කම තරුණයකු හා විවාහ වී ඇත. ඒ විවාහය සිදු වී වසරක් ගෙවී ගිය තැන අැයගේ සැමියා ඇයගෙන් වෙන් වීමට අම්පාර අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා තවමත් එය විභාග වෙමින් පවතී.   
පිය අතහැර ගොස් නිසා තරුණිය ඇයගේ මව කුලී වැඩ කර උපයන මුදලින් බොහෝ ආර්ථික දුක් ගැහැට විඳිමින් ජීවිතය ගෙන ගොස් ඇත. හදිසියේ රෝගාතුර වීම නිසා ඇයගේ මව උහන සිට අම්පාර මධ්‍යමකඳවුර ප්‍රදේශයේ පදිංචිව සිටින ඇයගේ ඥාතිවරියකගේ නිවසේ නැවතී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් පසුවන්නීය.   
පැමිණිලි විභාගයේ දී මේ සියලු කරුණු කාරණා හෙළි වී ඇත.   


දික්කසාද නඩුව ඉවර වුණාම ඔයාව මගේ ළඟට ගන්නවා. මම මෙයාට ආදරෙයි. අපි දෙන්නා සති තුනක් විතර දීග කෑවා යැයි මනාලයා බිඳුණු ස්වරයෙන් පවසා තිබේ.   
මම ජීවත් වෙලා ඉන්නකම් මේකිත් එක්ක උඹට දීග කන්න ඉඩ තියෙන්නේ නැහැ යැයි මව පවසා ඇතේ අත මිට මොළවා දත්මිටි කමිනි.   
සර් මමත් මෙයාට ආදරෙයි. මෙයාගේ අම්මා මෙයාට හරියට ගැහැව්වා. අනේ ආයෙත් එයාට ගහන්න එපා කියා අවවාද කරන්න. මගේ අවසාන ඉල්ලීම එච්චරයි.   
ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගෙන් මනමාලිය ඉල්ලා සිටියාය.   


පුතාට හිරිහැර නොකරන ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඔහුගේ දෙමාපියන්ට තරයේ අවවාද කර ඇත.   


පොලිස් පොතේ අත්සන් තැබූ මව්පියෝ දෙන්නා පුතාගේ අලුත් මනමාලිය ඔවුන් පැමිණි ලොරි රථයට දමා ගත්තේ මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචිව සිටින ඇයගේ මවට බාර දීමට කැඳවාගෙන යාමටය.   


ෆේස් බුක් ආදර අන්දරය කෙරවල වූයේ ඒ අන්දමිනි. යුග දිවියේ මිහිර සති තුනකට සීමා විය.   
ෆේස් බුක්වලින් හඳුනගෙන ආදරය කරන්න යන කොයි කාටත් මෙය කදිම පාඩමක් නොවේද? 

 

 

සටහන   
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  

 



අදහස් (0)

මුහුණු පොතෙන් යාළු වී කරකාරයට ගත් යෞවනිය විවාහක කතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site