දිනය, නැකත, නීථිය, යෝගය, කර්ණය යන පහ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ යනුවෙන් හැඳින්වෙයි. එහෙත් ඉහත කී පඤ්චාංගය පහා එදිනෙදා යෙදෙන ආකාරය අනුව සෑම දිනකම එකසේ ශුද්ධ නොවී පවතී. එසේ ශුද්ධව පවතින දින පඤ්චාංගය ශුද්ධිය සහිත දින යනුවෙන් හඳුන්වනු ලබයි. එවන් ශුභ සහිත දිනයන් යෙදෙන්නේ මසකට කිහිපයක් විය හැකිය. අන්‍ය දින පඤ්චාංගය සංඥා එදිනෙදා යෙදෙන ආකාරය අනුව ප්‍රධාන දෝෂ දහයෙන් එකකට හෝ කිහිපයකට හසුවිය හැකිය.   


රික්තා, විෂ්ඨි, දිග්ඨ, කාණ, මර, විෂ, අග්නි, ශකට, භූමිශුක්‍ර, ශශුල යන එම දෝෂ තත්ත්වයන් දසමහා දෝෂ ලෙස හඳුන්වනු ලබයි. පැරන්නන් මෙම දෝෂ සහිත තත්ත්වයන්ගේ ස්වාභාවය මැනවින් අව​බෝධ කරගෙන කටයුතු කළ ද වර්තමාන කාර්ය බහුල සමාජය මෙම දෝෂ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව පෙනි යන සත්‍යයකි. එය මනාව පැහැදිලි වන්නේ 2019 වර්ෂය උදාව මර දෝෂයක් සමගින් සිදු වුවත් කිසිවෙකුගෙ අවධානය ඒ කෙරෙහි යොමුව නොතිබු නිසාවෙනි.   


මර දෝෂ සමග උදා වු අවුරුදු පිළිබඳ අතීතාවර්ජනයක් කරමින් කරුණු සොයා බැලුව හොත් එහි ප්‍රායෝගිකත්වයේ තරම යම් දුරකට අවබෝධ වනු ඇත. එබැවින් ගත වූ අවුරුදු 90 ක කාලය තුළ මර දෝෂ සමග උදාවු අලුත් අවුරුදු 14 පහත සඳහන් කරන අතර අතීතාවර්ජනය කරමින් ඒ පිළිබඳ තොරතුරු සොයා බලා 2019 වර්ෂය පිළිබඳ යම් අවබෝධ්‍යක් ලබා ගැනීම පාඨක ඔබටම භාර කරමි.   


1929 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා අඟහරුවාදා දිනයකි. අඟහරුවාදා ෂටවක (6) තිථීය ලබා තිබීමෙන් මර දෝෂයක් උදාව පැවතිණි. ඉන් පසු මර දෝෂයක් සහිත අවුරුදු උදාවත් 1935 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා වූ අතර එදින අඟහරුවාදා බැවින් 11 වන තිථීය උදාවත් සමග මර දෝෂය හටගෙන තිබුණි. 1940 ජනවාරි පළමු වැනිදා සඳුදා දිනයකි. සතවන (07) තිථීය උදාවී තිබුණ බැවින් මර දෝෂය පැවතිනි. 1942 වර්ෂයේ මර දෝෂ දෙකක් සටහන්ව තිබු අතර එදින බ්‍රහස්පතින්දා දිනයක් වූ බැවින් මුව සිරස නැකත ලබා එක් මර දෝෂයකත් තුදුස්වක (14) තිථීය ලබා තවත් මර දෝෂයකුත් වශයෙනි.   


ඉන් පසු 1954 වර්ෂයේ ජනවාරි පළමු දිනය උදාව මර දෝෂයක් සමගින් සිදු වූ අතර එදින සිකුරාදා දිනක් වූ බැවින් දොළොස්වක (12) තිථීය ලැබීමෙන් එය හටගෙන තිබිණ. 1863 ජනවාරි පළමු දින අඟහරුවාදා දිනක් වූ අතර ෂටවක (6) තිථීය ලබා මර දෝෂ සහිත විය 1968 වර්ෂයේ ද මර දේෂ 02 ක් සහිත අවුරුදු උදාවක් සිදු වු අතර සඳුදා උත්‍රසල නැකත යෙදීමෙන් එක් මර දෝෂයකුත් දියවන (02) තිථීය උදාවීමෙන් තවත් මර දෝෂයකුත් හටගෙන තිබුණි 1969 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා බදාදා වූ අතර තෙළොස්වක (13) තිථීය ලබා මර දෝෂයක් ලබා තිබිණි.   


1973 ජනවාරි පළමු වැනිදා සඳුදා බැවින් දොළොස්වන තිථීය ලබා මර දෝෂයක් ඇති වී තිබිණි. ඉන් වර්ෂ 18 කට පසු 1991 වර්ෂයේ ජනවාරි පළමු වැනි දින අඟහරුවාදා පෑලවිය. (01) තිථීය උදාව පැවති නිසා මර දෝෂය හටගෙන තිබිණි. වර්ෂ 2000 ජනවාරි පළමුවැනි දින සෙනසුරාදා දිනක් වූ බැවින් දසවන තිථීය 10 උදාවීම නිසා මර දෝෂයක් හටගෙන තිබිණි. 2004 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා උදාවී විනාඩි කිහිපයක් යන තෙක් මර දෝෂයක් සමගින් දග්ඨ දෝෂයක් ද පැවති අතර ඊට පෙර දින සිට එම මර දෝෂය පැවති සුනාමි ව්‍යසනය ඇති වී දින 07කින් උදා වූ 2005 නව වසරේ ජනවාරි පළමු වැනි දින සෙනසුරාදා දිනක් වූ අතර එදින විශේනිය (05) තිථීය ලබා මර දෝෂ සහිත දිනයක් විය. ඉන් අවුරුදු 14කට පසුව උදාවූ 2019 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා අගහරුවාදා දිනක් වූ අතර එදින එකොලොස්වක (11) තිථීය ලබා මර දෝෂ සහිත දිනයක් විය.   


මර දෝෂය සහිතව උදා වූ අවුරුදුවල ස්වාභාවික විපත්, මිනිස් ක්‍රියා නිසා සිදුවන විපත්, ජෛව ගෝලයෙන් එල්ලවන විපත් හා විනාශයන් වැඩි බව ඒ පිළිබඳ අධ්‍යයනයන් කළහොත් මනාව වැටහෙනු ඇත. පුරාණ ඉෂිවරුන් දී ඇති සංඥා නිවැරදිව අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නම් යම්තාක් දුරට පීඩා විපත්ති විනාශයන්ගෙන් අපට බේරී සිටීමට හැකි වනු ඇත.   


2019 වර්ෂයේ ආරම්භක මාසයේම කෘෂිකර්මාන්තයේ විනාශයේ බිය කා හටත් දැන් ඇති අතර අන්‍ය ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය ස්වාභාව ධර්මයේ කැඩපත බඳුය. මිත්‍යාවේ අඳුරු වලා පටලයන්ගෙන් වැසි ඇති එහි යථා ස්වභාවය අවබෝධ කරගෙන අපගේ ජීවිත සුඛිත මුදිත කර ගැනීමට සම්මාන දිට්ටිය ඇතිකර ගනිමු.   

 

 


ජ්‍යොතිෂ්‍යවේ ද ජ්‍යොතිෂ්‍ය 
ශිරෝමණි සී. සමන්සිරි,   
ඉසිවර ජ්‍යෙතිෂ්‍ය පර්යේෂණායතනය,   
අංක 43, බණ්ඩාරවෙල පාර, බදුල්ල.   
(බදුල්ලේ මහ රෝහල ඉදිරිපිට)