මළ මිනිසුන් සමග නොමළ කතා

 

 

සිව් හැවිරිදි පුංචි දිව්‍යා දිව්‍යාංගනාවක් සේම ලස්සන ය. හුරතල් ය. එහෙත් ටික දිනක සිට ඇයගෙන් පෙන්නුම් කළේ උදාසීන බවකි. දරුවා හෝන්දු මාන්දුවෙලා යැයි ඇගේ මව සුලෝචනා තමන්ගෙන් වෙන්ව සිටින සැමියා ගයන්ත අමතා නිතරම කිව්වාය. බිරිඳ සමග මොන අමනාපකම් තිබුණද පුංචි දිව්‍යා ඔහුගේ පණ මෙන් විය. ඒ නිසා දරුවා අසනීප වූ සැම විටකම ඔහු වහා දිව ආවේය.   


එදා උදේ සිට මේ පුංචි සුරංගනාවී බඩ රිදෙන බව කියමින් අඬන්නට පටන් ගත්තාය. ඉන්පසු වමනය දැම්මාය. ඇඟේ රස්නයක්ද තිබූ නිසා උණ ගතියක් යැයි පවසමින් සුලෝචනා ඇයට පැරසිටමෝල් දුන්නාය. සුලෝචනාගේ දැනුම් දීම මත ගයන්තද දරුවා බැලීමට පැමිණියේය.   


පැරසිටමෝල්වලට අඩුවෙන්නේ නැත්නම් අපි හොස්පිට්ල් ගෙනියමු යැයි ගයන්ත පැවසුවේය. දවල් වෙන විටත් ඇය වමනය කිරීම අඩුවූයේ නැත. දැන් ඇගේ හැඬීම තවත් වැඩිය. එසේම ඇය හෙම්බත්ව ඇති සෙයක් පෙන්නුම් කළාය. ඒ නිසා දෙදෙනාම දරුවා රෝහලට රැගෙන යන්නට සූදානම් කරන අතරතුරදී හිටි හැටියේම ඇගේ සිරුර තදින් ගැහී සිහිසුන් වූවාය. වහා ඔවුන් දැරිය රෝහල් ගත කළාය. දැරිය පරික්ෂා කළ වෛද්‍යවරුන් දුටුවේ ඇගේ දෑස් කහපැහැගැන්වී ඇති බවය. රෝහල් ගත කර වැඩිවෙලාවක් ගත කරන්නට ලැබුණේ නැත. වෛද්‍යවරුන්ගේ දැඩි පරිශ්‍රමය අපතේ යවමින් ඇය සුරලොව ගියාය. 


ඇය මියයාමට හේතුවක් එකවර සිතා ගත නොහැකි විය. කෑමක් විෂ වුණාද? නැත්නම් විෂබීජයක් ශරිර ගත වුණාද? ඇය කිව්වේ බඩ රිදෙන බවකි. අජීර්ණයක් ඇති වුණ කලක මෙන් ඇය වමනය කළාය. මොකක්ද ඇය මියයාමට හේතුව? එය සෙවීමේ වගකීම අධිකරණය වෛද්‍යවරයා වෙත පැවරිණ. 


වෛද්‍යවරයා පළමුව සිරුර මතුපිටින් පරික්ෂා කළේය. සිරුරේ මතුපිට තුවාල හෝ පැල්ලම් හෝ වෙනත් සැක සහිත කිසිදු ලක්ෂණයක් නොවූ අතර ඇස් පරීක්ෂා කර බැලීමේදී ඇස් කහපාට වී ඇති බව දැක ගත හැකි විය. සිරුර කපා පරීක්ෂා කිරීමේදී පෙනහලු හා අක්මාව ඉදිමී ඇති බවත්, අක්මාව කහපාට වී ඇති බවත් දැක ගත හැකි විය. මොළයේ කිසිදු වෙනසක් පෙන්නුම් කළේ නැත. 


අධිකරණ වෛද්‍යවරයා පෙනහලුවලත්, හෘදය වස්තුවේත්, අක්මාවේත් කොටස් වෙන්කර ගත්තේය. එසේම රුධිර සාම්පලයක්ද ලබාගත්තේය. පටක පරීක්ෂාව සඳහා වෙන්කර ගත් ඉන්ද්‍රිය කොටස්වලින් පටක කපා ෆෝමලීන්වල පොඟවා වේළෙන්නට හැරියේය. ඉන්පසු පරීක්ෂණාගාරය සතු විශේෂ පිහියකින් තුනීවට කපා ගත් පටක කොටස් රසායනික ද්‍රාවණ දෙකක ගිල්වා අන්වීක්ෂීය පරික්ෂාවට ලක් කළේය. එහිදී දැකගත හැකිවූයේ අක්මාවේ එක් කොටසක සෛල විශාල වි ඇති බව හා ඒවා මියගොස් ඇති බවය. 


මියගිය කෙනෙකුගේ ඉන්ද්‍රියවල සෛලද මියගොස් තිබියද ඔහු හෝ ඇය මියයාමට පෙර සෛල මියගියේ දැයි සොයාගන්නේ කෙසේද? 


කිසියම් කෙනෙක් ජීවත්ව සිටියදී සෛල මියගියේ නම් සෛලයේ න්‍යෂ්ටිය අතුරුදන් වේ. එසේම සෛල තුළ පවතින ජලයේ පාට වෙනස් වේ. දිව්‍යාගේ අක්මාවේ සමහර සෛලවල ජලය කහපැහැ වි තිබිණ. ඒ නිසා මෙම කොටස මියගොස් තිබෙන්නේ ඇය ජීවත්ව සිටියදී බව නිගමනය කළ හැකිය. 


ඇස් කහපාට වීමෙන් පෙන්නුම් කරන්නේ රුධිරයට පිත එකතු වී ඇති බවය. එසේ වූයේ ඇයි? 


අක්මාව කොටස් කීපයක් ලෙස පවතින සංකීර්ණ ඉන්ද්‍රියයකි. එහි මැදින් හෘදය වස්තුව කරා අපිරිසිදු රුධිරය ගෙන යන ශිරාවලට සම්බන්ධ වන කුඩා රුධිර නාලිකා එනම් කේශනාලිකා රැසකි. එසේම අක්මාවට හෘදය වස්තුවේ සිට පිරිසිදු රුධිරය ගෙන එන ධමනිවල කේෂනාලිකා රැසක්ද තව පැත්තක වේ. මේ අතර පිත නාල පවතී. ආමාශයේ සිට අක්මාවට පෝෂ්‍ය කොටස් සහිත රුධිරය රැගෙන එන ධමනි කේෂනාලිකා පවතී. ආමාශයේ සිට එන රුධිරයේ පවතින පෝෂ්‍ය කොටස් අක්මා සෛලවලට උරාගත් පසු ඉතිරිවන රුධිරය ශිරා කේෂනාලිකා ඔස්සේ නැවත හෘදය වස්තුවට ගමන් කෙරේ. 


අක්මාව කහපාටවීමෙන් පෙන්නුම් කරන්නේ රුධිරයට පිත එකතුවී ඇති බවය. රුධිරයට පිත එකතුවෙන්නේ පිත නාල අවහිරවීම නිසාය. එයට හේතු වී තිබුණේ අක්මාවේ සිට හෘදය වස්තුවට ගමන් කරන ශිරා කේශනාලිකා අවහිරවීමෙන් පෙරීමට ලක් නොවී අමාශයේ සිට පැමිණෙන ධමනි කේෂනාලිකාවලින් පෝෂ්‍ය කොටස් උරා ගත් පසු පෙරෙන රුධිරය තවදුරටත් අක්මාවේම තැන්පත්වීමය. මෙසේ සිදුවෙන්නේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩපණවීම නිසාය. මෙසේ පිත නාල අවහිර වූ විට පිත රුධිරයට එක්වේ. පිත යනු රතු රුධිරානු කොටස්වලට කැඩීයාමෙන් ඇති වෙන ද්‍රව්‍යයකි. රුධිරයට පිත එකතුවී සිරුරේ ඇතැම් අවයව කහපැහැ ගැන්වේ. ඇස් කහපාටවීමෙන් පෙන්නුම් කළේ එම තත්ත්වය උග්‍ර වී ඇති බවය. 


මේ ක්‍රියාවලිය මෙලෙස අඩපණ වෙන විට හෘදය වස්තුවේ සිට රුධිරය පෙනහලු කරා ගමන් කිරීම වෙනුවට ජලය ගමන් කිරීම සිදුවේ. ඒ නිසා පෙනහලුවල ජලය රැස්වීමෙන් ඒවා ඉදිමුණ ස්වභාවයක් පෙන්නුම් කෙරේ. මෙසේ සිදුවෙන්නේ සාමාන්‍යයෙන් පැරසිටමෝල් ශරිරයට දැරිය නොහැකි ලෙස එකතුවීමෙනි. 


කුඩා දරුවෙකුට පැරසිටමෝල් ලබාදෙන්නේ කෙසේද? 


සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට පැරසිටමෝල් ලබාදීමේදී දිය යුතු මාත්‍රාවක් වේ. දරුවෙකුගේ බර අනුව එනම් කිලෝග්‍රෑමයක බරට පැරසිටමෝල් මිලිග්‍රෑම් 60ක් කොටස් හතරකට බෙදා පැය හයෙන් හයට ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. එසේ කළ යුත්තේද වෛද්‍ය උපදෙස් පරිදි ඒවා ලබාදිය යුතු රෝගී තත්ත්වයක් පවතින්නේ නම් පමණි. දිනකදී ශරිර ගත වෙන පැරසිටමෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 200 ඉක්මවූ විට හෘදය අක්මාවේ හා හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩපණ වී දරුවෙකු මියයනු ඇත. 


මේ බව තහවුරු කරගත හැක්කේ රුධිර පරීක්ෂාවෙනි. ඒ අනුව කලින් ලබාගෙන ශීතකරණයේ තැන්පත් කරන ලද රුධිර සාම්පලයෙන් කොටසක් පැරසිටමෝල් අඩංගුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරීක්ෂාවට ලක් කළේය. එහිදි දැක ගත හැකි වූයේ රුධිරයේ පැවතිය හැකි උපරිම සීමාවද ඉක්මවා පැරසිටමෝල් අඩංගුව ඇති බවය. 
දරුවාගේ සිරුරට පැරසිටමෝල් අධික මාත්‍රාවක් ඇතුළු වූයේ කෙසේද? මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීම පොලිසියට භාර විය. 


පොලිසිය දරුවාගේ මවගෙන් විමසීමේදී කියා සිටියේ දරුවා මාස කිපයක සිට විටින් විට අසනීප වූ බවය. එහෙත් වෛද්‍යවරුන්ගෙන් ලබාගත් ඖෂධවලින් ඇය සුවපත් නොවූ නිසා පැනඩෝල් ලබාදුන් බවය. ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් බව කියන වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද පොලිසිය කටයුතු කළ අතර එහිදී හෙළිදරව් වූයේ දරුවා අසනීප බව පවසමින් විටින් විට සුලෝචනා තමන් හමුවට පැමිණියද දරුවාට අසනීපයක් නොවූ බවය. 


මේ අනුව දරුවාගේ පියාගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තේය. තමන් බිරිඳගෙන් වෙන්ව සිටින බව එහිදී ඔහු පිළිගත්තේය. එසේම තමන් දියණියට දැඩි ලෙස ආදරය කළ බවද ඔහු පැවසීය. පසුගිය කාලයේ දරුවා අසනීප බව පවසමින් විටින් විට සිය බිරිඳ සුලෝචනා දුරකථන ඇමතුම් ලබාගත් බවද ඔහු පැවසීය. ඒ සෑම විටකම තමන් දියණියට තිබූ ආදරය නිසා ඇය බලන්නට පැමිණි බවද ඔහු කියා සිටියේය. 


මේ ප්‍රකාශ අනුව අධිකරණ වෛද්‍යවරයා නිගමනයකට එළැඹිණ. ඒ දැරියගේ මව වූ සුලෝචනා සැමියා තමන් හැර යාම නිසා ඇති වෙන මානසික ආතතිය මත ඇති වෙන ‘මන්චූසන් සින්ඩ්‍රෝම බයි ක්‍රොක්සි’ (Munchhausen syndrome by croxy) යන තත්ත්වයෙන් පෙළෙන්නියක බවය. එනම් සැමියාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ අවධානය දිනා ගැනීම සඳහා තමන් හෝ තමන්ගේ සමීපතමයෙකුට ඖෂධ ලබාදීම එම මානසික තත්ත්වයේ ප්‍රතිඵලයකි. ඇය එම තත්ත්වයේ පසුවන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා නැවතත් ප්‍රශ්න කළ අතර එහිදි තමන් දරුවාට පැරසිටමෝල් ලබාදුන්නේ සැමියා ගෙන්වා ගැනීමේ අරමුණෙන් බව පිළිගත්තාය. එසේම එහිදී ඇය දරුවාට පැරසිටමෝල් දෙන මාත්‍රාව පිළිබඳව මනා වැටහීමකින් කටයුතු කර නැති බවද තහවුරු විය. 


 ඒ අනුව දරුවාට අධික මාත්‍රාවෙන් පැරසිටමෝල් ලබාදී මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට සුලෝචනා පොලිස් අත්අඩංගුවට පත්වුවාය. 


(මෙහි එන නම් ගම් මන:කල්පිත ඒවා බව කරුණාවෙන් සළකන්න.) 


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ 


මුදිතා දයානන්ද