රාශියක් නවයට බෙදූ කොටස නවාංශක ලෙස හඳුන්වන අතර රාශියේ අංශක  30 කොටස 9 න් බෙදූවිට අංශක 3 කලා 20 ක් වේ. ඇතැම් කේන්ද්‍ර සටහන් වල  නවාංශකය වැරැදි බව පෙනේ. එසේම රාශිවලට අයත් නොවන නවාංශක යොදා සකස් කරන ලද  කේන්ද්‍ර සටහන් හමුවී ඇත. ජ්‍යොතිෂ්‍යයේ මූලික සිද්ධාන්තවත් නොදන්නා අය  මෙවැනි කේන්ද්‍ර සකසා ඇත.   

 

මේෂ රාශිය   


මේෂ රාශියේ මේෂයෙන් පටන් ගන්නා නවාංශක නවය මෙසේය. මේෂ, වෘෂභ,  මිථුන කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු වශයෙනි. මේෂ රාශියේ උපන් අයට  මකර, කුම්භ, මීන නවාංශක අයත් නොවේ.   


වෘෂභයේදී 

 
මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා  යනුවෙන් නවාංශක 9 කි. මිථුන රාශියට අයත් වූ නවාංශක තුලා, වෘශ්චික, ධනු, මකර,  කුම්භ මීන මේෂ වෘෂභ, මිථුන යනුවෙනි. කටක රාශියේදී කටක, සිංහ, කන්‍යා,  තුලා, වෘශ්චික, ධනු, මකර කුම්භ, මීන යනුවෙන් නවාංශක 9 ක් ඇත.   


සිංහ රාශියේදී   


ප්‍රථම නවාංශකය මේෂයයි. එසේ වන්නේ ඉහත කටක රාශියේදී අවසාන  නවාංශකය මීන වූ නිසාය. සිංහයේදී මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා,  තුලා, වෘශ්චික, ධනු වශයෙන් නවාංශක බෙදේ.   
කන්‍යා රාශියේදී නවාංශක මෙසේය.   


මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යනුවෙනි. 

 
තුලා රාශියේ   


ප්‍රථම නවාංශකය තුලාව වේ. ඒවා නම් තුලා. වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන යනුවෙනි.   


වෘශ්චික රාශියේදී නවාංශක නවය මෙසේය.   


කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යනුවෙන් නවාංශක 9 ක් වේ.   


ධනු රාශියේදී 

 
මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු වශයෙන් නවාංශක යෙදේ.   


මකර රාශියේදී   


ප්‍රථම නවාංශකය මකරයම වේ. එහිදී මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යනුවෙන් නවාංශක යෙදේ.   


කුම්භ රාශියේදී   


ආරම්භය තුලා නවාංශක යයි. තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන යනුවෙනි. 

 
මීන රාශියේදී   


කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ මීන යනුවෙන් නවාංශක නවය යෙදේ.   


ඉහතින් දක්වා ඇත්තේ රාශි දොළහට හිමි නවාංශක නිවැරැදිවය. යම් රාශියකට දෙන ලද නවාංශක පරාසයෙන් පිට වෙනත් නවාංශක යෙදෙන්නේ නැත. 

 
රාශියේම නවාංශකයෙන් ඉපදී ඇත්නම් වර්ගෝත්තම වී ඇතැයි පැවසේ.  එනම් කුම්භ ලග්නයේ කුම්භ නවාංශකයෙන් ඉපදී ඇත්නම් වර්ගෝත්තමය. වර්ගෝත්තම වී  උපදින අය යම් ප්‍රධානත්වයක් හෝ වර්ග සමූහයාගේ පිළිගැනීමක් ප්‍රධාන බවක්  උසුලයි. එසේම ඔත්තේ රාශිවන මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ රාශි 6  පුරුෂ රාශිලෙස සලකයි.   


ඉරට්ටේ රාශිවන, වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර,   
මීන රාශි ස්ත්‍රී රාශි ලෙස හඳුන්වයි.   


පුරුෂ රාශියක පුරුෂ නවාංශකයක පුරුෂයන්ද, ස්ත්‍රී රාශියක  ස්ත්‍රී නවාංශකවල ස්ත්‍රීන්ද උදින බව ප්‍රකාශ වේ. එහෙත් නවාංශකය ස්ත්‍රී  නවාංශකයක්ද, පුරුෂ නවාංශකයන්ද සලකා ස්ත්‍රී පුරුෂ උපත වර්තමානයේ සැලකේ. ඒ  පිළිබඳවද ගැටලු ඇති අතර ස්ත්‍රී නවාංශකයක මුල සහ අග ස්ත්‍රීන්ද, මැද  පුරුෂයන්ද උපදින බව හා පුරුෂ නවාංශකයක මුල සහ අග පුරුෂයන් හා මැද ස්ත්‍රීන්  උපදින බව ඇතැම් අය සලකති. කෙසේ වෙතත් භාව කේන්ද්‍රය සැකසීමේදී රාශියට හිමි  අංශක ගණන හා කලා ගණන නිවැරැදිව යෙදේ.   


නැකතකට පාද 4 ක් හිමිය. ඕනෑම අයෙක් උපන් නැකතේ පාදය සඳහන්ව  ඇත. එම නැකැත් පාදයක් හා නවාංශකයක අංශක ගණන සමානය. එනම් අංශක 3.20 කි. මේ  අනුව නැකත් 27ට පාද 4 බැගින් 108කි. නැකත් පාද 108, එකක් 3.20 ගණනේ බැලූවිට  අංශක 360කි. එනම් සම්පූර්ණ ගෝලාකාර වෘත්තයකට හිමි අංශක ගණනයි. වෘත්තාකාර  වූ රාශි චක්‍රය බෙදී ඇත්තේ නැකැත් තරු 27 ට හිමි පාද 108 කින් යුක්තව බව  පෙනෙන අතර සෑම රාශියකටම නැකැත් පාද 9 ක් බැගින් පිහිටා ඇත. උදාහරණ ලෙස මේෂ  රාශිය පටන් ගන්නේ අස්විද නැකතිනි. අස්විදයේ පාද 4 ක් බෙරණයේ පාද 4 ක් කැති  නැකතේ ප්‍රථම පාදයක් මේෂ රාශිය තුළ අන්තර්ගතය. අනෙක් රාශීන්ද පිළිවෙළින්  නැකැත් පාද 9 ක් හිමිකරගනී.   


කෙසේද යත් වෘෂභ රාශියේදී මේෂයේ ඉතිරි කැති නැකතේ පාද 3 ක්  රෙහෙන නැකතේ පාද 4 ක් මුවසිරස නැකතේ පාද 2 ක් අන්තර්ගත වේ. මේ අනුව සෑම  රාශියකටම නවාංශක 9 ක් හා නැකැත් පාද 9 ක් අන්තර්ගත වේ.   


නවාංශක කේන්ද්‍රයේ ඇති වැදගත්කමක් මෙසේ දක්වමි. ග්‍රහයන්  දෙදෙනෙක් කේන්ද්‍ර සටහනේ දුටු පමණින් ​යෝගයක් යයි නොසිතන්න. ග්‍රහයින්  දෙදෙනා අංශක 10 ක පරාසයක් තුළ සිටිය යුතුය. ලග්න කේන්ද්‍රයේ කොටුවක් තුළ  (කු-ශ) යෙදී තිබුණොත් එක්වරම ශනි මංගල දෝෂය ඇතැයි බිය නොවන්න.   


නවාංශක කේන්ද්‍රයේ නවාංශක 3 ක් අතර පරාසයේ කුජ හා ශනි යෙදී  තිබුණොත් යෝගවී ඇත. එවිට ශනි මංගල දෝෂය ඇත. අනෙකුත් යෝග සඳහාද මෙසේය. තවද  ග්‍රහයෙක් උච්ච බලයෙන් කේන්ද්‍ර සටහනේ සිටියත් නවාංශක කේන්ද්‍රයේ දුර්වල නම්  බලාපොරොත්තු ශුභපල නොලැබේ. සිකුරු ලග්න කේන්ද්‍රයේ මීනයේ වී නවාංශක  කේන්ද්‍රයේ කන්‍යා නවාංශකයේ නම් සිකුරු දුර්වලය. හරිහැටි ක්‍රියාත්මක නොවේ.  පලාපල කීමේදී නවාංශක කේන්ද්‍රයද ඉතා වැදගත් වේ.   

 

 

 

 


පාරම්පරික ජ්‍යොතිර්වේදී   
සරත් ආනන්ද අල්ගෙවත්ත   
පැලෑණ උතුර,   
වැලිගම.