IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ත්‍රිවිධ හමුදාවට අාහාර සපයන ටෙන්ඩරයෙනුත් ගසාකාලා

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමඟ පැවැති සාකච්ඡාවකි.

 

ත්‍රිවිධ හමුදාවට ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා ඉහළ ප්‍රමිතිය සහිතව අඩු මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයට කොන්ත්‍රාත්තුව බාර නොදී, වැඩි මිලක් ඉදිරිපත් කළ ආයතනයට එම කොන්ත්‍රාත්තුව බාරදීමෙන් රජයට රුපියල් කෝටි 200කට වැඩි අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි ගණන් බලා තිබේ.


වර්ෂ 2017 සහ මේ වසරේ මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාව වෙත ලබා දෙන ආහාර සැපයීමේ ටෙන්ඩරයෙන් මෙම අක්‍රමිකතාව සිදුවී ඇති බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් පසුගිය සිකුරාදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරනු ලැබිණ.


බුද්ධික පතිරණ මහතා කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පිටු 200ක වාර්තාවකින් යුතු වේ.


ආරක්ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරිය, ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති හා තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට එරෙහිව මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.


මේ වසර සඳහා ටෙන්ඩර් ලබාදිය යුතුව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට පෙර වූවත් ටෙන්ඩර් ලබාදීමේ දී සිදුකර ඇති ගැටලු නිසා, ටෙන්ඩරය ලබාදීම අදටත් ප්‍රමාදවී ඇති බව සඳහන් වේ.


මේ තත්ත්වය පිළිබඳව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ද පැමිණිලි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ ද කරුණු සඳහන් කර ඇත.


අදාළ සැපයීම් සඳහා එක් ආයතනයකට විශේෂත්වයක් දක්වා ඇති බව එම පැමිණිලි වාර්තාවෙන් පෙන්වා දී ඇත. එහි සඳහන් කර ඇති කරුණු කිහිපයක් මෙසේය.


සැපයීම් සඳහා එක් සමාගමකට වාසිවන ආකාරයට ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇත. ලංසු ඉදිරිපත් කර තිබූ ආයතන තුනක ලේඛන අස්ථාන ගතකර තිබෙන බව ද සඳහන් කරයි.


​ෙකාන්ත්‍රාත්තුව බාර දී ඇති ආයතනයේ කළමනාකරුවකු ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ගණකාධිකාරිවරියගේ සැමියා සේවය කිරීම නිසා වංචනික ක්‍රියාව සිදුකර තිබෙන බව සඳහන් වේ.


ආහාර සැපයීම සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) ආහාර සාම්පල පරීක්ෂා කර තත්ත්ව වාර්තාවක් සැලකිල්ලට ගතයුතුව ඇතත්, එම වාර්තාව නොසලකා මෙම ටෙන්ඩරය බාර දී ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.


මීට අමතරව ප්‍රමිති සහතික වාර්තා ලංසු කැඳවීමක් සමඟ ඉදිරිපත් කළ යුතු වූවත්, කොන්ත්‍රාත්තුව බාර දී ඇති ආයතනය එවැනි ප්‍රමිති සහතික වාර්තා ඉදිරිපත් කර නොතිබුණ අතර වෙනත් සමාගමක් ඉදිරිපත් කර තිබූ වාර්තාවක් වංචනික ලෙස අදාළ සමාගම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ බව ද සඳහන් කර ඇත.


මෙම කොන්ත්‍රාත්තුව සැපයූ සමාගම 2017 වර්ෂයේ ද ත්‍රිවිධ හමුදාවට ආහාර සපයා තිබිණි. ඉතා දුර්වල ආහාර සැපයීම් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව මගින් ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි 200කට වඩා ඉදිරිපත් කර තිබුණත්, 2018 වර්ෂයටත් එම සමාගමට කොන්ත්‍රාත්තුව යළි බාරදීමේ දී මෙම පැමිණිලි පිළිබඳව කිසිම අවධානයක් දක්වා නැත.


සිතා මතාම එම පැමිණිලි ඉදිරිපත් නොකරන්නට ඇතැයි සැකයක් පවතින අතර එසේ නැතහොත් ලැබුණ පැමිණිලි විනාශ කිරීමට හෝ සඟවා තබන්නට ඇතැයි ද සැකයක් පවතී.


වර්ෂ 2018 වෙනුවෙන් යුද හමුදාව සඳහා අනුමත සලාක වට්ටෝරුව, යුද හමුදා නිර්දේශයක් නොමැතිව අදාළ සමාගමේ අවශ්‍යතාව මත සංශෝධනය කර ඇති බව ද සඳහන් වේ.


ඒ අනුව 2017 වර්ෂයේ අනුමත සලාක වට්ටෝරුව අනුව සැපයිය හැකි ආදේශක සීමාව සියයට 25 සිට සියයට 50 දක්වා සංශෝධනය කර ඇත.


එක් එක් ආහාර ද්‍රව්‍යයේ පෝෂණ අගය පදනම් කරගෙන අනුමත සලාක වට්ටෝරුවට අනුව ආහාර ද්‍රව්‍ය අඩංගු කර ඇති අතර, අනුමත ආදේශක සීමාව වැඩි කිරීම හේතුවෙන්, ආදේශක ආහාර ද්‍රව්‍යයන් අධික ලෙස පරිභෝජනය කිරීමෙන් සෙබළුන්ගේ පෝෂණ තත්ත්වය පිරිහීමට ලක්වීමේ අවදානමක් පවතී. සියයට 25ක ආදේශක සීමාව ඉක්මවීමට යුද හමුදා සැපයුම් අංශය කැමැත්තක් නොදක්වයි.


චෝදනාවට ලක්වී සිටින තිදෙනාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හා සිදු කරන ලද අක්‍රමිකතා හේතුවෙන් 2018 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාවට ආහාර ද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීමට මේ වනතෙක් නොහැකිවී ඇත. මෙය 2017 දෙසැම්බර් 31 දිනට පෙර සම්පූර්ණ කළයුතු අවශ්‍යතාවකි.


මේ හේතුවෙන් නාවික හමුදාවට හා යුද හමුදාවට වියළි ආහාර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් නොවීම හේතුවෙන් සෙබළුන්ට ආහාර සැපයීමේදී නාවික හා යුද හමුදා මේ වනවිටත් අපහසුතාවන්ට ලක්වී ඇත.
මෙහිදී අදාළ ගණකාධිකාරීවරියගේ චරියාවන් ගැන ද සඳහන් කර ඇත. ඇය යම් සැපයුම්කාර ආයතනයකට ප්‍රසිද්ධියේ බැණ වැදී තදින් විවේචනය කරන්නේ නම්, ඒ ඇය වඩාත් සලකන හා ඇයට වඩාත් වාසි ලැබෙන ආයතනය වෙයි.

 

චෝදනාවට ලක්වී සිටින තිදෙනාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හා සිදු කරන ලද අක්‍රමිකතා හේතුවෙන් 2018 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාවට ආහාර ද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීමට මේ වනතෙක් නොහැකිවී ඇත. මෙය 2017 දෙසැම්බර් 31 දිනට පෙර සම්පූර්ණ කළයුතු අවශ්‍යතාවකි.

 


ඇය රජයේ සේවිකාවක් වූවත් සේවයට වාර්තා කරනු ලබන්නේ සතියකට දින 2ක් හෝ 3ක් පමණි. බොහෝවිට මධ්‍යාහ්න 12න් පසුව සේවයට පැමිණ, පැය කීපයක් රැඳී සිට කාර්යාලයෙන් පිටවීයාම ඇයගේ සාමාන්‍ය චර්යා ලක්ෂණයකි.


2016 වර්ෂය සඳහා ප්‍රසම්පාදන කමිටුව විසින් ආනයනික මාළු සඳහා සියයට 5ක මිල වැඩිවීමක් අනුමත කර ඇත. පසුව අදාළ ගෙවීම් හා බිල්පත් සැපයුම්කාර ආයතනය විසින් ඉදිරිපත් කර තිබුණත් 2017 වර්ෂයේ පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ මිල වැඩිවීම ලබා නොදීමට තීරණය කර ඇත. එහෙත් 2017 වර්ෂයේදී ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනස් වූ අතර මුදල් ගෙවීමට තීන්දු විය.


ගණකාධිකාරීවරියගේ අයුතු බලපෑම හේතුවෙන් 2014 වර්ෂයේ සපයන ලද කිරිපිටි සඳහා රුපියල් මිලියන 18ක මුදලක් ගෙවීමට 2017 වසර සඳහා පත්කළ ප්‍රසම්පාදන කමිටුව විසින් ගනු ලැබූ නීති විරෝධි තීරණය විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්වූ අතර, පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට එවන ලද වාර්තාවේද ඒ බව දක්වා ඇත.


ඒ අනුව ප්‍රසම්පාදන කමිටුවේ ලේකම් ලෙස පත්කර සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරිය රාජකාරි ඉටු කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සමානාත්මතාව ආරක්ෂා කිරීම පිළිබඳ මූලධර්ම නොසලකා හැර ඇති බව විගණකාධිපති වාර්තාව මගින් නිරීක්ෂණය කර ඇත.


ශ්‍රී ලංකා නාවික හමුදාවට සපයන ශීත කළ ආහාර සඳහා එක්තරා ආයතනයක් විසින් සන්නාම නාමයන් කීපයක් ඉදිරිපත් කර, එකී සියලුම සමාගම් සඳහා තත්ත්ව සහතික ඉදිරිපත් කර තිබුණත් එම ආයතනයට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර නැත.


මෙම කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේදී බරපතළ වංචා හා දූෂණ සිදුවී ඇත. මෙහිදී ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයා, තාක්ෂණික ඇගයීම් කමිටු සභාපති හා ගණකාධිකාරීවරිය විවිධ හේතු ඉදිරිපත් කරමින් තරගකාරී මිල ගණන් ඉදිරිපත් කළ කොන්ත්‍රාත්කරුවන් ඉවත් කර තමන්ට හිතවත් සමාගම්වලට කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇත. ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ සිදු වූ දූෂිතම ටෙන්ඩර් අතර ඉදිරියෙන්ම මෙම ටෙන්ඩරය ඇති බව සඳහන් කර ඇත.
මෙම දූෂණයන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ද මන්ත්‍රීවරයා විසින් යෝජනා කර ඇත.


මෙම දූෂණ හා වංචාවන් සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස දූෂිත ටෙන්ඩරය දින 30ක කාලයක් අත්හිටුවා සම්පූර්ණ පරීක්ෂණයක් කර සියලු පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු කළ යුතුවෙයි.


එහෙත් 2017 වසර සඳහා අනුමත වූ ටෙන්ඩරය අදාළ පරීක්ෂණ කාලය ආවරණය වනතෙක් දීර්ඝ කිරීම කාලෝචිත වෙයි. පරීක්ෂණයෙන් පසු වැරදි, නිවැරදි කර ගනිමින් විධිමත්ව ටෙන්ඩර් ප්‍රදානය සිදු කිරීම.


මේ වනවිට ශ්‍රී ලංකා යුද, ගුවන් හා නාවික හමුදාවේ ආහාර සැපයීමේ ටෙන්ඩරය 2018 වසරේ දූෂණ අක්‍රමිකතා මධ්‍යයේ තෝරා ගත් දූෂිත සැපයුම්කරුවන්ට ලබාදී ඇත.


එසේම මෙම දූෂිත ටෙන්ඩරය ටෙන්ඩර් මණ්ඩලයේ සියලුමදෙනා අත්සන් කර නොමැතිව තිබියදී ටෙන්ඩරය ප්‍රදානය කළේ කුමන පදනමකින්ද යන්න සොයා බැලිය යුතුවේ.


ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරයා පවා මෙම ටෙන්ඩරයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වියළි සලාක ටෙන්ඩරය එකම කොන්ත්‍රාත්කරුට ලබාදී ඇති බැවින්, ඒ පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් කළ යුතුව ඇත.

 

 

 

සටහන - දයාසීලි ලියනගේ

 



අදහස් (0)

ත්‍රිවිධ හමුදාවට අාහාර සපයන ටෙන්ඩරයෙනුත් ගසාකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site