ඉන්දියාවේ සාර්ථක නිල සංචාරයට එක් වූ අගමැති රනිල් ඇතුළු පිරිස එහි දී අගමැති මෝදි හා ඒ රජයේ ප්‍රබලම ඇමතිවරුන් මෙන්ම විපක්ෂයේ රාහුල් හා සෝනියා ගාන්ධි මෙන්ම හිටපු අගමැති මන් මෝහන් සිං ද හමු වී ද්විපාර්ශවික කරුණු ගැන සාකච්ඡා කළේය.
ඉරිදා සවස යළි සියරට පැමිණි අගමැතිවරයා රාජකාරි හා උත්සව රැසකටද එක් විය.
අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීම නිමකර එළියට එන විට ඇමැතිවරයකුට කීවේ ලොව ප්‍රමුඛතම සංචාරක සඟරාව වන “ ලෝන්ලි ප්ලැනට්” විසින් 2019 ලොව ආකර්ශනීයම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ප්‍රකාශ කර ඇති බවය.
මේක ලංකාව ලැබූ විශාලම ජයයි. ඒක දේශපාලන හා ප්‍රචාරාත්මකව මාකට් කළ යුතු දෙයක්. වහාම මට මේ ගැන රටට පැහැදිලි කරන්න කටයුතු සූදානම් කරන්න.”, අගමැතිවරයා නියෝග කළේය.
ඒ තුළ බදාදා අගමැතිවරයා සඟරාව විසින් ලංකාවට දී ඇති ප්‍රමුඛස්ථානය හුවා දක්වමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම, ආයෝජකයින් ආකර්ෂණය හා ඒ හරහා ලංකාවට පහසුවෙන් ගත හැකි ආර්ථික වාසි ගැන රටට ප්‍රකාශය කළ අතර එය සංචාරක ව්‍යාපාරයට විශාල ශක්තිය විය.
බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා හා මුලින්ම සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට අතට අතදී අස්ගිරි පාර්ශවයෙන් ඔහුට ලැබුණු “දේශමාමක ජනප්‍රසාදන” ගෞරව සම්මානය ගැන සුබපැතීය.
“එජාපයේ තවත් ශක්තිමත්ම බෞද්ධ නායකයකු හැටියට කිරිඇල්ල ඇමැතිතුමාට මේ ගෞරවය තුළින් තවත් ඉහළට යන්න ලැබේවි. ඒක එජාපයටත් ශක්තියක්.”, අගමැතිවරයා කීය.
“සර්, මීට වසර 20 කට කලින් රෝහණ පාර්ශවය සියම් නිකාය හරහා මහින්ද රාජපක්ෂට මෙවැනි සම්මානය දුන්නට පස්සෙයි, කිරිඇල්ල ඇමැතිතුමාට ගෞරව සම්මානය දී තිබෙන්නේ. දේශපාලකයන්ට සම්මාන දෙන්න අස්ගිරි - මල්වතු පාර්ශව කැමති නැතිලු. තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකු මෙවැනි සම්මාන ඉල්ලා තියනවලු. ඒත් කිරිඇල්ල ඇමැතිතුමාට විතරයි, අන්තිමේ ගෞරවය ලැබුණේ”, චමින්ද විජේසිරි කීවේ තමාට ලැබුණු තොරතුරු මත පදනම්වය.
“ඉන්දියානු සංචාරය කොහොමද? එක එක කතා ලංකාවෙ ගියා” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.
“දෙරට අතර අවබෝධය තිබෙනවා. ඒ රාමුව තුළ වැඩ කරමු කියා මෝදි කිව්වා. තව කතා කර වැඩ කරමුයි මා කිව්වා.
“මා ලංකාවට හුඟක් උදවු කරනවා. ඒත් දෙරට අතර කතා කරගත් දේවල් තාම ඉටු වෙලා නැහැ. ඇයි මාව සැක කරන්නේ ඇයි මාව අවිශ්වාස කරන්නේ කියලත් මෝදි මගෙන් ඇහුවා”, අගමැතිවරයා කීවේ නළල රැළි ගන්වමිනි.
“ඉන්දියාව ආසියාවේ විතරක් නොවෙයි ලොව ප්‍රබලම සාධකයයි. ඔවුන් අමතක කර ලංකාවට යන්න අමාරුයි. 1977 දී බලයට පත්වූ ජේ.ආර්. මැතිතුමා ඉන්දියාව අමතක කර වැඩ කරන්න ගිහිං කර ගත්ත අතපසු වීම අප ආපහු කරන්න ඕන නැහැ.” දයා ගමගේ කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.
ඉන්දීය අගමැති නිල නිවස වන හයිද්‍රාබාද් මන්දිරයේදී අගමැති රනිල් ඇතුළු පිරිසට දිවා භෝජනය දුන් මෝදි අනතුරුව අගමැති රනිල් ඇතුළු පිරිස එහි ආලින්දයට රැගෙන ගොස් සිය ටැබ් පරිගණකය විවර කළේය.
“අප 15 වැනි සියවසේ නිර්මාණය කළ ගුජරාටි භජන් ගීතයක් රස විඳිමු. මේක ඉන්දීය නිදහස් අරගලයේදී ගයපු අදත් ජනප්‍රිය ගීතයක්”, ගුජරාටි පවුලක උපන් මෝදී කීවේය.
ඒ ගීතය ශ්‍රී ලාංකේය ගායක-ගායිකාවන් පිරිසක් නව සංගීත රටාවකට අනුව ගායනා කළ ගීයක් වීමද විශේෂත්වය ගත්තේය.
“දැන් ඩී.එස්.-ඩඩ්ලි ගේ එජාපය නැහැ කියා ජනාධිපතිතුමා ලොකු ප්‍රහාරයක් දුන්නා. දැන් එදා වගේ එජාපය වගේම එදා වගේ ශ්‍රීලනිපයකුත් නැහැ කියා මා කිව්වේ යථාර්ථයයි.
පක්ෂවල ප්‍රතිපත්ති හා ක්‍රමවේද කාලානුරූපිව වෙනස්වීම ස්වාභාවිකයි.”, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේ බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය.
“ඇත්තටම ඩී.ඇස්.ගේ එජාපය 1962 කළුතර සමුළුවේදී එතුමාගේ පුත් ඩඩ්ලි කාලානුරූපව වෙනස් කර සමාජවාදී-ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම එජාපයට දුන්නා. “ඊට පසු 1973 දී ජේ.ආර්. එජාපය උඩු යටිකුරු කළා. ප්‍රේමදාස ඒක තව ඉදිරියට ගෙනිච්චා.
අනූ හතරේ පරාජයෙන් පසු රනිල් අගමැතිතුමා හම්බන්තොට සමුළුව හරහා එජාපය 21 වැනි සියවසට ගැළපෙන ලෙස වෙනස් කළා. ඒකේ හොඳම දේ එදා එජාපයට එෙරහිව තිබූ ශ්‍රීලනිපයේ මහලේකම්ට සහාය දී ජනාධිපති කර එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙක එකතු කරලා ආණ්ඩුවකුත් හැදීමයි” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් සතුට පළවිය.
“ජනාධිපතිතුමා එජාපයට දුන් ප්‍රහාරය ගැන හාමුදුරුවරුත් එකඟ පාටක් නැහැ. ශ්‍රීලනිප අයත් කැමති නැති හැඩයි. හැම එකේම එල්ලෙන පොහොට්ටුවත් ඒක ඇදගෙන ගියේ නැහැ” චමින්ද විජේසිරි කීය.
”ශ්‍රීලනිපයට දැන් එජාපයේ හෝ පොහොට්ටුවේ හෝ ඡන්ද කඩන්න බැරි නිසයි, කවුරුත් මේ ඉෂූ එක ගත්තේ නැත්තෙ” එජාප නීති නිලධාරියෙක් කීය.
“බැංකුවල හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් ඉවත් කරන්න ආපු නියෝගයේ දැන් තත්ත්වය මොකක්ද?” දයා ගමගේ විමසීය.
“ජනාධිපතිතුමා මට කථා කර ලිඛිතවත් ඉල්ලුවා. ඒ නිසා වසර තුනක් හිටපු අය වෙනුවට අලුතින් හිතලා වැඩ කළ හැකි අය පත් කරනවා.” කිරිඇල්ල කීය.
“කෝටි 8532 ක උතුරේ නිවාස ටෙන්ඩරය ස්වාමිනාදන් ඇමැතිතුමා රවී වෙත්තසිංහලට විතරක් දීම ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනව නේද?” චමින්ද විජේසිරි ඇසුවේය.
“ඉන්දියානු සමාගම් හතකට ඒක දෙන්න තිබුණේ. එක සමාගමයි අවශ්‍ය කරුණු සම්පූර්ණ කළේ. ඉක්මනින් නිවාස හදන්නත් ඕනැ නිසා ඒ සමාගමට දී තිබෙනවා. අනිත් සමාගමුත් අවශ්‍ය කරුණු සම්පූර්ණ කළාම එයාලටත් අවස්ථාව දෙනවා.”, අගමැති කීවේය.
“සෞදි මාධ්‍යවේදියා මරලා කෑලි කරලා. පසුගිය යුගයේ ලංකාවෙ තිබුණෙත් ඊට නොදෙවැනි තත්ත්වයයි. ඒත් දැන් ලංකාවේ මාධ්‍යකරුවන් සුරක්ෂිතයි. නමුත් බොහෝ මාධ්‍ය මේ ආණ්ඩුවට ගහලා පරණ මාධ්‍ය භීෂණය යළි ඕනෑ වගේ කටයුතු කිරීම පුදුමයි.”, ගයන්ත කරුණාතිලක කීය.
“වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය ඔඩු යන්න දෙන්න නරකයි. රුපියල් 600 කට හාම්පුත්තු කැමතියි. වෘත්තිය සමිති 1000ක් ඉල්ලනවා. අතර මැද තැනකට එන්න උත්සහ කරනවා.”, නවීන් දිසානායක කීය.
“කැබිනට් එකේ රෝ ඔත්තුකරුවෝ හතරක් ඉන්නවා යයි ශ්‍රීලනිපය කියනවා. එහෙම වෙන්න බැහැ කියා මහින්ද රාජපක්ෂත් කියනවා. ඉන්නවා නම් එළි කරන්න ඕනෑ.”, දයා ගමගේ කීය.
“විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය පිටුපස්සේ ඉන්නේ කවුද?” පී. හැරිසන් විමසීය.
“කවුද ඉන්නේ කියලයි, වෙන්නේ මොකක්ද කියලයි බලමු.” අගමැති ප්‍රශ්නාර්ථය සහිත ඉරියව්වෙන් පිළිතුරු දුන් විට ඇමැතිවරුන් මුහුණට-මුහුණ බලා ගත්තා මිස වචනයක්වත් කථා කළේ නැත.
සේනානායකවරුන්ගේ දේශපාලනය පිළිබඳ මතකය ගෙවුණු සතියේ දේශපාලන ලෝකයේ මාතෘකා රැසක් නිර්මාණය කළේය. සේනානායකවරුන් සැමරීම උදෙසා වූ වැඩසටහන් රැසකටම මූලිකත්වය ගත්තේ සේනානායකවරුන් ජන්මලාභය ලද හාපිටිගම් කෝරලයේ මීරිගමින් දේශපාලනයට පැමිණි වර්තමාන ඩී.එස්. සේනානායක ගුණ සමරු පදනමේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාය.
ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිය ගම් ප්‍රදේශය වූ මිරීගමට ලබා දුන් වැදගත් දායාදයන් කිහිපයක් අතුරින් පසුකාලීනව ගරාවැටීමට ලක් වූ මිරීගම ගෝතමි වැඩිහිටි නිවාසය, මීරිගම රෝහල ආදී ව්‍යාපෘති ඩී.එස්. සේනානායක නාමයට ගෞරවයක් ලෙස යළි නගා සිටුවීම සඳහා එක්වන්නැයි කතානායකවරයා කර තිබූ ඉල්ලිමට ඉහළින්ම ප්‍රතිචාර දැක්වා තිබුණේ රාජිත සේනාරත්න, දයා ගමගේ, වජිර අබේවර්ධන, චම්පික රණවක, අකිල විරාජ් කාරියවසම් යන ඇමතිවරුන්ය.
ඒ අනූව, මිරීගම ඩී.එස්. සේනානායක විදුහලට ලැබුණු සුවිසල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා සේනානායක ගුණ සමරුවට සමගාමීව මුල්ගල තැබූ කතානායකවරයා නවීකරණය කරන ලද මීරිගම වැඩිහිටි නිවාසය සහ රෝහලේ නව ඉදිකිරීම් කිහිපයක් ද විවෘත කළේය.
ගෙවුණු සතියේ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ “එක් මාවතත් - එක් තීරයක්” සංකල්පයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය කොළඹදී සංවිධානය කළ සැමරුම් උළලෙහි මුලසුන දැරූ කථානායකවරයා දිගුකාලීන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයත් චීනය ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතා සංකීර්ණ දුෂ්කර අවස්ථාවලදී කල්‍යාණ මිත්‍රත්වයෙන් යුතුව ලබා දුන් සහාය ද කෘතවේදීව සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd