සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා උදේ සුපුරුදු පරිදි ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ වනවිට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව සිටි විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා කැබිනට් රැස්වීමට පැමිණේද නැද්ද යන්න ගැන ඇමැතිවරුන් සිටියේ විචිකිච්චාවෙනි. කෙසේ වුවද විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පැමිණ සිටියේ නැත.

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග ඇමැතිවරයා වෙනම නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේ කලින් සතියේය. වරාය ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයකු වුවද අර්ජුන එම කමිටු වාර්තාවට පවා අත්සන් කර නොතිබිණි. අර්ජුන හම්බන්තොට වරාය පැවැරීමේ ගිවිසුමට විරුද්ධ මතයක සිටියේය. ඔහු කලින් සතියේ ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණ වාර්තාව ගැන ප‍්‍රති නිරීක්ෂණ ලබන සතියේ ඉදිරිපත් කරන බව මහින්ද සමරසිංහ ඇමැතිවරයා කීවේය. අර්ජුන කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ සුදු රැවුලත් සුදු කොණ්ඩයත් වවා ගෙනය. එය දුටු ජනාධිපතිවරයා ‘‘මට අර්ජුන පේන්නෙ හින්දි තිරයේ වීරයා අමිතාබ් බච්චන් වගේ’’ යැයි කීවේ හැමෝම හිනස්සමිනි. මංගල සමරවීර ඇමැතිවරයා 2010 සිට 2014 දක්වා වසරවල ලංකාවට පිටරටින් ගෙන්වන ලද අශ්වයින් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා කලින් කර තිබූ දැනුම් දීමකට අනුවය. ඒ අනුව 2010 සිට 2014 දක්වා කාලය තුළ අශ්වයින් 303 දෙනකු පිටරටින් ගෙන්වා ඇති බව මංගල කීවේය. අර ඒ කාලෙ කතා කළ රත්තරන් අශ්වයාත් මෙතන ඉන්නවා දැයි ජනාධිපතිවරයා ඇසුවේය.
කෝට්ටේ නාගවිහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තුව අසල ස්මාරකයක් ඉදිකරන්නට අනුමැතිය ඉල්ලා පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ජනපතිවරයාය. ඊට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය ඒ සඳහා රුපියල් මිලියන 3 ක මුදලක්ද වෙන් කළේය.
පොලිතින් තහනමද කැබිනට් මණ්ඩලයේ කතාබහට ලක්විය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේ පොලිතින් නිෂ්පාදකයින් තමා හමුවී සාකච්ඡා කළ බවත් ඔවුන් මේ සඳහා අවුරුද්දක් කල් ඉල්ලා ඇති බවත්ය. කබීර් හෂීම්ද කීවේ පොලිතින් නිෂ්පාදනයෙන් තිස් හතළිස් දාහක් යැපෙන බැවින් ඔවුන්ට විකල්ප ක්‍රියාමාර්ගවලට යාමට සහන කාලයක් දෙන්නැයි කියාය. චම්පික රණවක ඇමැතිවරයාද පොලිතින් තහනම ගැන කතා කළේය. ලන්ච් ෂීට්වලට දිරායන වර්ගයේ දේවල් යොදා ගන්න කියලයි විශේෂඥ කමිටුව කියල තියෙන්නෙ. දිරායන පොලිතින් වර්ග දෙකක් තියෙනවා. හැබැයි භූ විද්‍යාඥයින්ගේ මතය නම් මේ පොලිතින් දිරන්නෙ නැහැ. කුඩා කැබලිවලට කැඩෙනවා විතරයි කියලයි. ඒ නිසා මේ විකල්ප ගැන කාර්මික තාක්ෂණ ආයතනයෙනුත් වාර්තාවක් ගන්න එක හොඳයි. යැයි චම්පික කීවේය. ජනාධිපතිවරයා කීවේ ලෝකෙ කෑම ඔතන්න පොලිතින් ගන්නෙ ලංකාවෙ විතරයි කියාය. අපිට මේකට තව කල්දෙන්න බැහැ. අපි සැප්තැම්බර් 1 වැනිදා ඉඳල ක්‍රියාත්මක කරනවා වැටලීම් කරන එක ජනවාරි 1 වැනිදා වනතෙක් කල් දමමු යැයි ජනාධිපතිවරයා කීවේය. මංගල සමරවීර කීවේ මේකට දේශීය විසඳුම් ක‍්‍රමයක් සොයාගත යුතු බවය.
විජයදාස ඉවත් කරන්න ජනපති ගත් තීන්දුව
විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ සිද්ධිය ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළේය. ඔහු ඉවත් කරන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ එක්සත් ජාතික පක්ෂය විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතාව අනුව විජයදාස රාජපක්ෂගේ ප‍්‍රශ්නයේදි ජනපති මෛත්‍රීට කරන්නට දෙයක් ඉතිරිව නොතිබිණි. එජාපය ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවේ විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිධුරයෙන් ඉවත් කරන ලෙසය. ජනාධිපතිවරයා විජයදාසට වෙනත් ඇමැතිකමක් එජාපය සමග සාකච්ඡා කර ලබාදීමට ද උත්සාහයක නිරත විය. එහෙත් විජයදාසද ඊට කැමැත්තක් නොදැක්විය. අමාත්‍යංශ සංශෝධනයේදී අදාළ පක්ෂ නායකයාගේ එකඟතාව අනුව කරන බවට ආණ්ඩුව තුළ සම්මුතියක් ඇති කරගෙන තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාර දෙන්නට යද්දදී මෛත්‍රිගේ නාමයෝජනා පත‍්‍රයට අත්සන් කළේද විජයදාසය. මෛත්‍රී විජයදාසට වෙනත් ඇමැතිකමක් දී හෝ තියා ගන්නට අවසන් මොහොත වනතෙක්ම උත්සාහ කළ බව පැවැසේ. ඒ ගැන ජනාධිපතිවරයා අගමැතිවරයා සමගද සාකච්ඡා කර තිබිණි. කෙසේ හෝ අවසානයේ විසඳුමකට එන්නට නොහැකිව බදාදා උදේ වරුවේ ජනාධිපතිවරයා විජයදාස ඇමැතිධුරවලින් ඉවත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල වැඩි බරක් තබා ඇත්තේ පක්ෂයේ 66 වන සංවත්සරය වෙනුවෙනි. ඒ සඳහා කමිටු ගණනාවක්ද පත්කර ඇත. සැප්තැම්බර් 2 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා සැප්තැම්බර් 3 බොරැල්ල කැම්බල් පිටියේදී සංවත්සරය පවත්වන්නට ශ්‍රීලනිපය සූදානම්ය. සියලු දේශපාලන පක්ෂවලටද සංවත්සර උළෙලට එන ලෙස ශ්‍රීලනිපය ආරාධනය කර ඇත.
උතුරු මැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එහි නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා ගිය අඟහරුවාදා ජනාධිපතිවරයා හමුවී මෛත්‍රී පිලට එක්විය. ඊට කලින් සතියේ ඌව පළාත් සභාවේ අනුර විදානගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේද ජනාධිපතිවරයා හමුවී ආණ්ඩුවට සහාය දෙන්නට එක්වූහ. පක්ෂයේ සංවත්සරය පවත්වන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඒකාබද්ධයේ කිහිප දෙනකු මෛත්‍රීට එක්වීම මෛත්‍රී පාර්ශ්වයෙ ශක්තිය වැඩි කරන්නකි.
මේ අතර ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා හැන්දෑව් පාර්ලිමේන්තුවේදී රැස්වූයේ ජනපති මෛත්‍රීගේ ප‍්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා රැස්වීම ආරම්භයේදීම කීවේ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ආණ්ඩුවට සහාය දෙන්නට එදින එක්වූ බවය. මැති ඇමැතිවරු අත්පුඩි ගසා ඊට සතුට පළ කළහ.
බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළාත් පාලන සංශෝධන පනත ගැන අනතුරුව සාකච්ඡා විය. ජනාධිපතිවරයා කීවේ පළාත් සභා ඡන්දයට සූදානම් වෙන්න කියාය. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කීවේ ඒකාබද්ධය දිගින් දිගටම ඡන්දය පවත්වන්නැයි ඉල්ලුවද දැන් ඡන්දය කල්දා ගන්න උත්සාහ කරන බවය. ජනාධිපතිවරයා කීවේ ඡන්දෙ කල්දාන්නෙ නෑ. ඔයාලා ලෑස්ති වෙන්න කියාය. සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ගැනද මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී කතාබහට ලක්විය. මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කීවේ එහි සංශෝධන සිදුකළ යුතු බවකි. ඒ අනුව සංශෝධන තිබේනම් සිකුරාදා දවල් 12.00ට පෙර ලබා දෙන්නැයි ජනාධිපතිවරයා කීවේය. ඒ සඳහා මැති ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කෙරිණි. සුසිල් ප්‍රේම්ජයන්ත, ලක්ෂ්මන් යාපා, දයාසිරි, ලසන්ත අලගියවන්න, මනුෂ නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ඊට පත්වූහ.
පක්ෂයේ සංවත්සරය සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා කීවේය. එහි සංවිධාන කටයුතු ගැන ද සාකච්ඡා විය. නියඟය පවතින ප‍්‍රදේශවල සහන කටයුතු ගැනද සාකච්ඡාවට ලක්විය.
ජනපතිගේ දීමනා බදුවලින් නිදහස් කරන්න අලුත් පනතෙන් යෝජනාවක්
දේශීය ආදායම් බදු පනතේ ගැටලු ගැන සාකච්ඡා කරන්නට ශ්‍රීලනිප කමිටුව බදාදා උදේ රැස්වුණේ දයාසිරි ජයසේකරගේ අමාත්‍යංශයේය. සුසිල්, දයාසිරි, ලක්ෂ්මන් යාපා, ලසන්ත අලගියවන්න, මනුෂ නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරු ඊට සහභාගි වූහ. ආදායම් සංශෝධන පනත ගැන සාකච්ඡා කරගෙන යද්දී දැක ගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ දීමනා බදුවලින් නිදහස් කර ඇති බවය. එය ජනාධිපතිවරයාද දැනගෙන නොතිබිණි. පනතේ එවැනි යෝජනාවක් තිබෙන බව ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී දැන්වීය. එය දැනුම් දීම ගැන ලක්ෂ්මන් යාපාට ස්තුති කළ ජනාධිපතිවරයා ජනාධිපති දීමනා බදුවලින් නිදහස් කිරීමේ යෝජනාව වහාම ඉවත් කරන්නැයි දැන්විය. රටේ ජනතාව බදු ගෙවනවා නම් ජනාධිපතිට බදු සහන මොකටද? ජනාධිපතිවරයා ඇසුවේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අදාළ යෝජනාව ඉවත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd