(ක්‍රිස්ටෝපර් සීපියන්)
එදා වැසි සහිත දිනයකි. වේලාව උදේ දහයට පමණය. පාර අයිනේ සිටි සපත්තු මහන්නා අසල තුන් හතර දෙනෙකුම සිටියේ තම කාර්යයන් සපුරා ගැනීමටය. එතනටද පොද වැස්සේම පැමිණි විදේශිකයෙකි. ඔහු තම සපත්තුව ගලවා සපත්තු මහන්නාට පෙන්නා “මේක මහලා දෙන්න පුළුවන්දැයි” ඉංග්‍රීසියෙන් විමසීය.


තම සේවය ලබාගැනීමට පැමිණි අය පෙන්වූ සපත්තු මහන්නා “වන් ටූ ත්‍රී ෆෝ” යනුවෙන් පැවසුවේ හතර දෙනෙකුගේ වැඩ කිරීමට ඇති බවය. එය තේරුම් ගත් විදේශිකයා සිනහවක්පාමින් සපත්තු මහන ඉඳිකටුව පෙන්වමින් අමතර ඉඳිකටුවක් තියෙනවාදැයි ඇසීය. එය නොතේරුණු සපත්තු මහන්නා එතැන සිටි අයෙක් මේ වගේ ඉඳිකටුවක් තියෙනවාද කියලයි අහන්නේ යැයි පැවසීය. 


“ඔව් ඔව් තියනවා” යැයි පැවසූ හෙතෙම එය විදේශිකයාට පෙන්විය. නූලක් ඉල්ලාගත් විදේශිකයාට වාඩිවීමට කුඩා බංකුවක් ද ලැබිණි. විදේශිකයා තම ඉරුණු සපත්තුව මසන්නට පටන් ගත්තේ සැවොම පුදුමයෙන් බලා සිටියදීය. සපත්තුව මසා නිමකළ විදේශිකයා ගාණ කීයදැයි විමසීය. ඔළුව කැසූ සපත්තු මහන්නා හන්ඩ්‍රඞ් රුපීස් යැයි පැවසීය. රුපියල් සීය වෙනුවට දෙසීයක්ම ඔහු අත තැබූ විදේශිකයා ස්තුති කර පිටව යනු දක්නට ලැබිණි.
බොරැල්ල නගරයේදී සිදුවූවකි.