මුල්ගල   තැබුවේ  නැති වුවත් ගෞරවය  ලැබුණේ මැනිං ආණ්ඩුකාරයාටයි

 

 

විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරවරයා මේ වෙළෙඳපොළට මුල් ගල තැබුවේ නැත. එය විවෘත කළේ ද නැත. එහතේ හැඳින්වෙන්නේ ඔහුගේ නමින් මැනිං වෙළෙඳ පොළ කියාය. හේතුව අලුත් කඩේ පැවැති පරණ වෙළෙඳපොළ මැනිං ආණ්ඩුකාරයා තැනූ වෙළෙඳ සංකීර්ණයට ගෙන යාමයි. එය සිදු වූයේ වසර 100 කට පමණ පෙරයි.   


ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරවරයා ලංකාවට පැමිණි විසිතුන් වන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාය. ඔහු ආවේ 1918 දීය. අවුරුදු හතක් රජකම් කොට 1925 දී ආපසු එංගලන්තයට ගියේය. අවුරුදු අනූ පහකට පසු අපේ රටේ උදවියට මැනිං කියන නාමය ඊයේ පෙරේදා නැවතත් මතක් විය. ඒ මැනිං වෙළෙඳපොළ පිට​කොටුවෙන් පෑලියගොඩට ගෙන ඒම නිසාය. මැනිං ආණ්ඩුකාරවරයා මතක් වන්නේ මැනිං මාර්කට් එක නිසා පමණක් නොවේ. බොරැල්ල කිට්ටුව විශාල ඉඩමක් ගෙන නගරයක් හා රජයේ නිලධාරින්ට නිවාස සංකීර්ණයක් ද ඔහු නිර්මාණය කළේය. එය අදත් හඳුන්වන්නේ මැනිං ටවුන්, මැනිං ප්ලැට්ස් යන නම් වලිනි. නාරාහේන්පිට මැනිං පෙදෙස කියා පාරක් ද තිබේ. කොම්පඤ්ඤවීදියේ පිහිටි මැනිං මන්දිරය තවත් එකකි.   


කොළඹ විශ්වවිද්‍යාලය   

මැනිං ආණ්ඩුකාරවරයා ලංකාවේ අයට අමතක නොවන බොහෝ දේවල් කළේය. විශ්වවිද්‍යාල කොලීජිය නමින් උසස් අධ්‍යාපන ආයතනයක් ඇති කොට එය පිහිටුවීමට චාල්ස් හෙන්රි ද සොයිසා සතු පොල්වත්තක් ද ලබා දුන්නේය. අද කොළඹ විශ්වවිද්‍යාලය වී ඇත්තේ එයයි. අපි කළගුණ දන්නා ජාතියක් නම් කොළඹ විශ්වවිද්‍යාලය නම් කළ යුත්තේ ඔහුගේ නමින්ය.   


දක්ෂ සිසුන් තෝරා ශිෂ්‍යත්වදීමේ ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරයාය. සමහර සිසුන්ට රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට පවා ඔහුගේ කාලය කටයුතු යොදන ලදි.   


ඔහු ලංකාවට ආවෙ රට පුරාම වසංගත ​රෝග පැතිර ගිය සමයකයි. එමෙන් දුර්භික්ෂ කාලයක් ද උදා වී තිබුණි. ඉන්දියාවෙන් හාල්ගෙන්වා බෙදා හරින්නට සිදු විය. සහල් සලාක ක්‍රමය හඳුන්වා දුන්නේ ද මෙකලය. 1920 අප්‍රේල් මාසයේ ඔරියන්ටල් බැංකු සමාගමේ ලංකාවේ බැංකු ශාඛාවක් ආරම්භ කළේය. 1921 ජනවාරි 21 දා විශ්වවිද්‍යාල ආයතනය (යුනිවර්සිටි කො​ලේජිය) පිහිටුවීය. ප්‍රථම ජන සංගණනය ලංකාවේ ඇති ක​ළේය. ඒ අනුව එවකට ලංකාවේ ජනගහනය 4498500 ක් විය. 1922 ජනවාරියේ ලංකාවේ ට්‍රොලිබස් සේවයක් ඇරඹිණ. 

 
1923 අප්‍රේල් මාසයේ ඔහු කළ තවත් වැදගත් සේවයක් නම් ඇඟ බද්ද අහෝසි කිරීමය. මැනිං ආණ්ඩුකාරවරයාගේ කාලය ලංකාවේ දුම්රිය මාර්ග ගණනාවක් තැනීම ඇරඹිණ. හලාවත සිට පුත්තලම තෙක් ද බණ්ඩාරවෙල සිට බදුල්ල තෙක් ද, මහෝ සිට ත්‍රිකුණාමලය තෙක් ද, මාර්ග ඒ අතර විය. එවකට තිබූ ව්‍යවස්ථා දායක සභාවේ නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම මැනිංගේ ප්‍රතිසංස්කරණයක් විය. කේම්බ්‍රිජ් විභාග විෂයන්ට සිංහල හා ද්‍රවිඪ භාෂා නිර්මාණය කළේද ඔහුය.   

 


සෑම බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරයෙකුම සිහි වීම පිණිස වීදි නාමයක් හෝ ස්ථාන නාමයක් ලංකාවේ මෑතක් වන තුරුම තිබුණි. ගිල්පර්ඩ් වයිට්කවුන්ට් පදවියට පත් ෆ්‍රෙඩ්රික්නෝත් ආණ්ඩුකාරවරයා සිහි වීම පිණිස ගිල්පර්ඩ් චන්ද්‍රවංකයද, තෝමස් මෙට්ලන්ඩ් සිහි වීමට මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය ද උදාහරණයකි.   


කොළඹ හතේ ප්‍රධාන පාරවල්වලට සර් හෙන්රි වෝඩ් සඳහා වෝඩ් පෙදෙස, එව්වඩ් බාන්ස් සඳහා බාන්ස් පෙදෙස ද , රොස්මිඩ් සාමි වෙනුවෙන් රොස්මිඩ් පෙදෙස ද, සර් රොබට් හෝර්ටන් සඳහා හෝර්ටන් පෙදෙස ද, ආදී වශයෙන් ග්‍රෙගරි පාර, ටොරින්ටන්, කැම්බල් පාර්ක්, මැකන්සි පාර, හැව්ලොක් ටවුන්, ලොන්ග්ඩන් පෙදෙස, මැකාර්ති, රිජ්වේ, ක්ලිපර්ඩ්, චාමර්ස්, ඇන්ඩර්සන් පාර, මැක්ලම් පාර ආදී වීදි නාම ස්ථාන නාම රට පුරාම තිබේ.   


දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ආණ්ඩුකාරවරුන්ගේ නාමයන් මුල් කරගෙන නම් තැබීමේ පුරුද්ද නැති වී ගියේය. සොල්බරි සාමි, සර් හෙන්රි වොන්ක්, මේසන් මූවර්, ඇන්ඩෲ කැලඩිකොට් යන නම් වලින් කිසිම ස්ථානයක් නම් කර නැත.   


මුල්ම වෙළෙඳපොළ   


කොළඹ පළමු වෙනි වෙළෙඳ පොළ පිහිට වූයේ ලන්දේසි කාලයේදීය. පිටකොටුවේ සුසාන භූමිය අසල පිහිටවූ මෙය මාර්කට් වීදිය නමින් හැඳින්වුණි. ඒ මාර්කට් විදිය අද පළමු වැනි හරස් විදියයි.   


මේ වෙළෙඳපොළ හා එහි එදිනෙදා සිදුවීම් පිළිබඳව විස්තරයක් 17 වන ශත වර්ෂයේ කොළඹ විසූ බෙල්ජියානු වෛද්‍යවරයකු වූ එගිඩියස් ඩාල්මන්ස්ගෙන් ලැබී තිබේ. මා මෙය උපුටා ගත්තේ එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා විසින් ලියන ලද කොළඹ නාගරික සභා ශත සංවත්සර පුස්තකයෙනි. (1865-1965) ඔහු මෙසේ ලියයි.  


‘‘... තාප්පය දිගේ කටුමැටි ගසා පිදුරු සෙවිලි කළ කුඩා පැල්පත් සාදා දුන්නේය. එහි සිංහලුන්ට උවමනාකරන දාසයන්, ඇඳුම් පැලඳුම්, රෙදි පිළි, නූල්, බුලත්, අරක්කු ආදී වශයෙන් කුමක් හෝ සෑම දිනකම වෙළෙඳාම සඳහා තිබෙනු දක්නා ලැබේ. මෙය එළවළු ආදිය පමණක් නොව උවමනාකරන සෑම දෙයක්ම පාහේ විකිණීමට තබා ඇති කඩමණ්ඩියක් මෙන්ද ක්‍රියා කරයි.  


එහෙත් මෙම කඩමන්ඩිය පිහිටියේ දේවස්ථාන භූමියේය. නැගෙනහිර දෙසින් මෙන්ම දකුණු දෙසින්ද එය විවෘතව ඇති නිසා වර්ෂා දිනවල රාත්‍රී කාලයේදී එහි පැල්පත් මීහරකුන්ගේ ලැගුම් හල්වේ. ගෙවල් කුලිය වෙනුවට මෙම මීහරක් ඇති පමණ ගොම මැටි තබායති. පැලේ බිම හා පිල්වල ගෑමට ගොම ඉතා ප්‍රයෝජනවත්ය. ගොම නොගා තැබුවහොත් 
සෑම දෙයක්ම සුළු වේලාවකින් කා විනාශ කරන වේයන්ගෙන් බේරෙන්නට නොහැකිය..’’ 

 
බ්‍රිතාන්‍යයන් ලංකාව අත්පත් කර ගන්නා විටත් පිටකොටුවේ වෙළෙඳ පොළ වෙනස් වී තිබුණේ නැත. මල්වත්ත පාරේ මාළු වෙළෙඳ පොළත්, පළමු වැනි හරස් වීදියේ එළවළු වෙළෙඳපොළකුත් තිබීම අපහසුවක් ලෙසට ඔවුහු සැලකුවෝය. ඒ සඳහා ඔවුන් කළේ ප්‍රධාන වෙළෙඳ පොළ පිටකොටුවෙන් ඉවත් කොට හල්ස්ඩෝප් කන්දේ බෑවුමට ගෙන යාමය. මෙතැන් සිට වෙළෙඳ පොළ පාලනය සිදු කෙරුණේ 1865 දී අලුතින් පිහිටුවා ගත් කොළඹ නගර සභාව යටතේය. ආහාර සඳහා සතුන් මැරීම ද කොළඹ නගර සභාව යටතට පත්විය. 1867 දී මස් මඩුවක් වැලිකඩ දී 1868 දී තවත් මස් මඩුවක් මාදම්පිටියේදී ද පිහිටුවනු ලැබිය.   


1870 අප්‍රියෙල් 22 දින පිටකොටුවේ වෙළෙඳ පොළක් තැනීම සඳහා මඟුල්ගල තැබූ එඩින්බරෝ ආදී පාදයාණෝ සිය නාමය වෙළෙඳ පොළ වෙනුවෙන් යෙදීම සඳහා කැමැත්ත පළ කළේය. 1873 දී එඩින්බරෝ වෙළෙඳපොළ ආරම්භ කෙරිණි. එඩින්බරෝ වෙළෙඳපොළ නගරයේ විශාලතම වෙළෙඳ පොළයි. මෙය පසුව යාබද ගොඩනැගිලි වලට පැතිර ගියේය. කොල්ලුපිටියේ වෙළෙඳ පොළ සෑදීම 1883 දී ආරම්භ විය. පිට​කොටුවේ ශාන්ත ජෝන් පාරේ තිබූ මාළු වෙළෙඳපොළ 1893 දිය. 1907 වනවිට නගරයේ ප්‍රධාන වෙළෙඳ පොළ බවට ජනප්‍රිය වූයේ මරදානේ ඩීන්ස් පාරේ වෙළෙඳ පොළයි.   


1917 දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර මාෂල් පිලිප්‍ මහතා කොළඹ නගරයේ සියලු මාළු වෙළෙඳපොළවල් පරීක්ෂාවට ලක් කළේය. මේවා සියල්ලම නොදියුණු සෞඛ්‍යයට අතිශයින් අහිතකර මහජනයාට හිරි හැර ගෙන දෙන ස්ථානයන් ලෙසට වාර්තා කළේය. මේවා කොට්ඨාසයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතට පත් වූයේ ඉන් පසුවයි. එකිනෙක වෙළෙඳ පොළට නගර සභාව යටතේ පාලකයෙකු පත් කළේය.   


1965 වනවිට කොළඹ නරගයේ තිබූ වෙළෙඳ පොළවල් ගණන 16 ක් විය. එඩින්බරෝ, කච්චේරි පාර, වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, බොරැල්ල, දෙමට​ගොඩ, සාන්ත ජෝන්ස්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, ජින්තුපිටිය, ඩීන්ස් පාර, ශාන්ත ජෝසප්, තිඹිරිගස්යාය, මුට්ටෝල් යන ඒවාය.   


කොළඹ නගර සභාව පිහිටුවීම


කොළඹට නාගරික සභාවක් පිහිටුවිය යුතු යැයි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව වෙත 1865 දී ආණ්ඩුකාර සර් හර්කියුලස් රොබින්සන් (පසුව රොස්මිඩ් සාමි) මහතා ඉල්ලීමක් කළේය. ඒ අනුව 1865 නොවැම්බර් 25 දා කොළඹ නගර සභාවේ නාගරික සීමාවන් නියම කළේය. නාගරික කොට්ඨාසවලට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට ඡන්ද පැවැත්විණ. කොළඹ නගර සභාවට කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොටුව, සාන්ත බස්තියම, පිට​කොටුව, සාන්ත පාවුළු, කොටන්චිනා, නිව් බසාර්, මරදාන යන කොට්ඨාසවලට මන්ත්‍රීවරු ඡන්දයෙන් ​තෝරා පත් කර ගත්හ. ඒ අනුව කොළඹ නගර සභාව පළමු වරට 1866 ජනවාරි 16 දින රැස්වීය. කොළඹ නගර සභාවේ පළමු වැනි සභාපතිවරයා සර්.සී.පී. ලෙයාර්ඩ් (1866-1877) මහතා පත්විය.   


නගර සභා සීමාව තුළ පිහිටි සියලුම නිවාස ​ගොඩනැගිලි ඉඩම් පේළි ගෙවල් වලින් වරිපනම් ගාස්තු අය කිරීමට පටන් ගත්තේය. සතුන්ගෙන් වාහන වලින් බදු අය කළේය. දිය ඇළවල්වලින් මංමාවත් වෙනුවෙන් රේන්ද බදු අය කළේය. මත් පැන් වෙළෙඳ බලපත්‍ර, තුවක්කු බලපත්‍ර, මස් මඩු හා වෙළෙඳපොළ වල් වෙනුවෙන් හා විවිධ බදු ක්‍රම වලින් නගර සභාවට ආදායම් මාර්ග ලබා ගත්තේය.  


කොළඹ   


පෘතුගීසින්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් ලංකාවට පැමිණීමට පෙර අපට කොටුවක් හෝ පිට​කොටුවක් තිබුණේ නැත. තියා කොළඹක් වත් ඒ නමින් තිබුණේ නැත. අපේ අගනුවර සෙංකඩගල නුවරයි. එයට පෙර සීතාවකයි. ඊටත් පෙර කෝට්ටේයි. අපේ රජවරු තම තමන්ගේ අභිමතය පරිදි රටේ අගනුවර වෙනස් කළේය. කුරුණෑගල, පොළොන්නරුව, යාපහුව, දඹදෙනිය, අනුරාධපුරය. ආදී වශයෙන් වෙනස් කළෝය.   


පෘතුගීසිහු 1505 දී ලංකාව පැමිණෙන විටත් කොළොම්තොට පෙරදිග ප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. පර්සියන්වරු, අරාබිවරු සහ චීන ජාතිකයෝ වෙළෙඳාම සඳහා මේ කාලයේ කොළොම්තොටට පැමිණ සිටියහ. දහසය වන ශත වර්ෂය ආරම්භයේදී ලංකාවට පැමිණි ඔඩොආර්ඩෝ බාර්බෝසා නමැති පෘතුගීසි කපිතාන් වරයා වාර්තා කර තිබෙන අන්දමට අරාබීහු උත්සාහවන්ත දක්ෂ වෙළෙඳුන් වන අතර මේ දිවයිනේ කුළුබඩු, සුගන්ධ, ඖෂධ මුතු මැණික් කුරුඳු පුවක් ඇත්දත් සහ ඇතුන් පිළිබඳ වෙළෙඳාමේ ඒකාධිකාරයත් වෙළෙඳාම් අතර මැදි කටයුතු වලින් ඔවුන්ගේ අතට ගෙන තිබුණි. ඔවුන් පුරාණයේ පදිංචිව සිටියේ කොළඹ බංගසාල වීදියේය. බංගසාල යන්නෙහි තේරුම ගබඩාව නොහොත් ගුදම යන්නයි.   


ක්‍රි.ව. 1344 දී කොළඹට පැමිණි ඉබන් බතූතා මෙසේ ලියා ඇත.   


‘‘..දිනාවර්හි (දෙවුන්දර) සිට පරංග්ස් හයක් දුරින් පිහිටි කුඩා නගරයක් වූ කේල් (ගාල්ල) නගරයට යාමට අපි පිටත් වීමු. එතැනින් අපි ක්ලෙන්බූ නගරය බලා පිටත් වීමු.   
මෙයින් පෙනී යන්නේ 1344 වනවිට කොළඹ නගරය ක්ලෙන්බූ නමින් පැවැති බවයි. මෙහි ප්‍රභවය ගැන විවිධ මති මතාන්තර පැවැති බව කොළඹ ශත සංවත්සර (1865-1965) පුස්තකයේ සඳහන් කර තිබේ. එහි සඳහන් අන්දමට චීන සංචාරකයින් කාබ්-ලන්-පූ යන නාමය භාවිත කළ අතර මොරොක්කෝ වෙන් පැමිණි වෙළෙඳුන් කාලෙන්බූ ලෙසට හඳුන්වා ඇත. පෘතුගීසීන් ව්‍යවහාර කර ඇත්තේ කොලුම්බු යනුවෙනි. ලන්දේසි, ප්‍රංශ හා ජර්මන් ජාතිකයන් සිතියම් වල කළම්බු ලෙසට සඳහන් කර ඇත. ක්‍රිස්තියානින් කොළම්බස්ට ගෞරව කරනු සඳහා කොලුම්බු යන්න යෙදූ බවද කියැවේ. කොළ පමණක් ඇති කොළ අඹ ගස ද කොළොන්තොට (කැලණිතොටුපොළ) ද තවත් මතාන්තර වලට මුල්ව ඇත.   
පෘතුගීසීන් ලංකාවට පැමිණ ප්‍රථමයෙන් කලේ රජතුමා හමු වී (VIII වන වීර පරාක්‍රමබාහු) අවසර ඇතිව කොළඹ වරායේ වර්තමාන බ්‍රේක් වෝටර් බැම්මේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇති කිරීමයි. පෘතුගීසීන් විසින් කොළොම්තොට (වරාය) නගරයක් බවට පත් කළේ මෙම වෙළෙඳපොළ මුල් කරගෙනයි. 1524 වනවිට පෘතුගීසීන්ට කොළඹ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට හැකි විය. මායාදුන්නේ, රයිගම් බණ්ඩාර, බුවනෙකබාහු වැනි රජ වරුන් බලයට කුලල්කා ගැනීමත් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමට පෘතුගීසීන්ගෙන් උදව් ඉල්ලීමත් පෘතුගීසීන්ට ආශීර්වාදයක් විය. පෘතුගිසීන්ගේ උදව් ඇතිව කොළඹ අගනුවරක් බවට ප්‍රථම වතාවට පත් කළේ දොන් ජුවන් ධර්මපාල කුමාරයාය. ඒ පෘතුගීසීන්ගේ වුවමනාව අනුවය. ධර්මපාල කුමාරයා මිය ගිය පසු කොළඹ උරුමක්කාරයා වූයේ ජෙරනිමෝද අසවේදුය.   


ඔහු බලයට පත් වූ පසු කොළොම්පුරය අට්ටාල දොළසකින් ශක්තිමත් වූ මහා නගරයක් බවට පත් විය. ක්‍රි.ව. 1656 දී ලන්දේසීහු පෘතුගීසීන්ට පහර දී කොළඹ සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත්හ. අලංකාර මන්දිර, දේවස්ථාන, පළල් වීදි, මංමාවත්, ආදිය තැනුවෝය.   


කොළඹ කොටුව, පිටකොටුව, යනුවෙන් කොටස් දෙකකට බෙදුවේ ලන්දේසීන් විසිනි. පිට​කොටුව, ඔවුන් හැඳින්වූයේ අවුත්ස්ටැට් යනුවෙනි. ලන්දේසි සමයේ කොළඹ විශාලත්වය අක්කර හතළිහකි.   


අරාබි, ග්‍රීක, රෝම සහ තවත් ජාතීන් සමග ලංකාව වෙළෙඳ සබඳතා පැවැත්වූ කොළඹ වරාය 15 වන සියවසේ අරාබි වෙළෙඳුන්ගේ වැදගත්ම වෙළෙඳ මධ්‍යස්ථානයයි. ඉබන් බතූතා 1344 දී සෙරන්ඩිබ් දිවයිනේ මනස්කාන්ත යෝනක වෙළෙඳපුරය ලෙසට මෙය නම් කර තිබුණි. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ගාලු වරායේ අයෝග්‍යතාව දකිමින් කොළඹ වරාය දියුණු කිරීමට උත්සාහ ගත්තේය. 1885 දී නිරිත දිග දිය කඩනය ඉදිකිරීමෙන් හා වෙනත් වැඩිදියුණු හේතු කොට ගෙන එතෙක් විවෘත මූදු බොක්කක් ලෙස පැවැති කොළොම්තොට මුහුදු තීරය ආරක්ෂිත වරායක් බවට පත්විය. 1869 නොවැම්බර් 19 දා සූවස් ඇළ විවෘත කිරීමෙන් පෙරදිග මුහුදුකරයේ නැව් ගමනා ගමනය   


විශාල වශයෙන් වැඩි විය. එහෙත් ලංකාවෙ ප්‍රධානතම වරාය කොළඹ නොව ගාල්ල ලෙස 1871 වනතුරුම මතයක් පැවතුණි. එදා සිටම යුරෝපාකරයේ වෙළෙඳ පොළවල් කරා බඩු ගෙන යාමට බෙන්ගාලයේ හා මදුරාසියේ නැව් කොළඹ වරායට ආවේය. කොළඹ අවට ප්‍රදේශයේ පිහිටි අරක්කු මදුරාසිය, බොම්බාය, බෙන්ගාලය කරා ගෙන ගියේය.   
බුලත්, පුවක්, හකුරු, පොල්, පොල්තෙල්, මී ඉටි, කරඳමුංගු, හිරිගල් ඇත්දත් හා පළතුරු ආදිය ඉන්දියාවට යැවූ යෝනක වෙළෙන්දෝ දළකපුරෙදි, කපුපිළි, සිහින් කපු පිළි, දළ කවනිරෙදි, මුද්‍රිත රෙදි, දිග මේස්, කෙලිබඩු, පිඟන් බඩු, බෙලෙක් හා තඹ පිටරටින් ගෙන්වූහ.   


පිටකොටුව අලුත්කඩේ


එඩ්වඩ් බාන්ස් (1823-1824) ආණ්ඩුකාරයාගේ කාලයේ කොළඹ කොටුව ප්‍රදේශයේ ජනගහනය 734 ක් බවත්, පිටකොටුවේ 4979 ක් බවත් වාර්තාවල සඳහන් වේ. එහෙත් මැනිං ආණ්ඩුකාරයාගේ කාලය (1918-1925) මේ සංඛ්‍යාව දෙගුණ වන්නට ඇත.   


බ්‍රිතාන්‍යයන් ලංකාව අත්පත් කර ගන්නා විට ලන්දේසි නාමයේ තිබූ වෙළෙඳපොළ අක්‍රමවත්ව සීසීකඩ විසිරී තිබුණි. මල්වත්ත පාරෙ මාළු වෙළෙඳ පොළකුත්, පළමු වැනි හරස් වීදියේ එළවළු වෙළෙඳ පොළකුත් තිබීම නගරයේ වැඩ කටයුතු වලට අපහසුතාවයක් වී තිබුණි. ඉංග්‍රීසින්ගේ අභිලාෂය වූයේ මේ ප්‍රධාන වෙළෙඳපොළ පිටකොටුවෙන් බැහැර කොට හල්ස්ඩෝප් කන්දේ බෑවුමට ගෙන යාමයි. එතැනට පොළ ගෙන ගිය පසු අලුතෙන් ආ කඩ නිසා අලුත්කඩේ යන නම ව්‍යවහාරයට පැමිණියේය. 1865 කොළඹ නගර සභාව පිහිටුවීමෙන් පසුව කොළඹ තැන තැන පිහිටි වෙළෙඳ පොළ ක්‍රමානුකූල පවත්වාගෙන යාමට උත්සාහ දැරිය.   


මැනිං වෙළෙඳ පොළේ කතාව


1918 සැප්තැම්බර් මාසයේ ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරවරයා පැමිණි පසු කොළඹ ඕල්කොට් මාවතේ දෙපස ආහාර ගබඩා සංකීර්ණයක් ඉදි කොට තිබුණි. නැවෙන් ගොඩබාන සීනි ගබඩා කර තිබුණේ මෙහිය. මෙහි වෙළෙඳ කුටි සඳහා ප්‍රයෝජනයට ගත හැකි තවත් ගබඩා 300 කට වඩා තිබූ බව කියැවේ. අලුත්කඩේ තිබූ වෙළෙඳපොළ මෙතැනට ගෙන ගියේ ඉන් පසුවයි. 

 
මැනිං ආණ්ඩුකාරවරයා තැනූ ගොඩනැගිලි සංකීර්ණයට සාන්ත බස්තියමේ වෙළෙඳපොළ ගෙන යනවාත් සමගම තැන තැන විසිරී වෙළෙඳාම් කරගෙන ගිය තොග වෙළෙන්දෝ ද මෙතැනට රැස් වන්නට වූහ. ආරම්භයේදී කච්චේරි පාරේ මාර්කට් එක මැනිං මාර්කට් එක බවට පත් විය. මෙහි විශේෂත්වය වූයේ ඉඩකඩ තිබීමයි.   


කොළඹ නගරයේ වැසියන්ට ආහාර සඳහා එළවළු ගෙනාවේ නුවරඑළිය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ වෙනත් උඩරට ප්‍රදේශ වලින්ය. මැනිං වෙළෙඳපොළ ඇති වූවාට පසු ගෙන්වන එළවළු ප්‍රමාණය ද බෙදා හරිනු ලබන ප්‍රමාණය ද වැඩි වන්නට විය. කොළඹ තිබූ වෙනත් පොළවල්වලට වඩා මැනිං වෙළෙඳපොළ දවසින් දවස දියුණු වන්නට පටන් ගත්තේය.   
මැනිං වෙළෙඳපොළ ආරම්භ වෙන්නට පෙර කැලණි ගඟ දිගේ ඔරු පාරු වලින් ගෙනා එළවළු පිට​කොටුවේ, කොටුවේ සහ වෙනත් උප නගරවල තිබූ වෙළෙඳපොළවල් වලට බෙදා හැරියේ බේරේ වැවේ මැදදූවේ සිටය.   


එදා මැනිං ආණ්ඩුකාරයා තැනූ ගොඩනැගිලි සංකීර්ණයෙන් ආරම්භ වූ මැනිං වෙළෙඳසල අද මැනිං ගොඩනැගිල්ලෙන් වෙන් කොට පෑලියගොඩ පිහිටි දැවැන්ත වෙළෙඳ සංකීර්ණයකට ගෙනැවිත් ඇත. එදා තිබුණේ පරණ මැනිං අද නව මැනිං ය.

 

 

පී.ඇම්. සේනාරත්න