කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක්ම මේ වනවිට ස්ථාපිත කර ඇත. ඒ දිනෙන් දින ඉහළ යන කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාවට සාපේක්‍ෂවය.  


හලාවත, ඉරණවිල ඇ​ෙමරිකන් හඬ ගුවන්විදුලි සම්ප්‍රේක්‍ෂණාගාරය, මඩකළපුවේ පිහිටි බැටිකලෝ කැම්පස් සහ බිංගිරියේ පිහිටි වයඹ ජාතික විද්‍යාපීඨය මෙම කොරෝනා වයිරස ප්‍රතිකාර මධ්‍යස්ථාන අතර වේ.  
වයඹ ජාතික විද්‍යාපීඨයේ පවත්වාගෙන යන කොරෝනා ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානය බාරව සිටින්නේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතාය.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ මෙම වයිරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට මේ දිනවල ලහි ලහියේ කටයුතු යොදාගෙන යයි.  
කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙරට පිහිටුවා ඇති විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානවලින් කිලිනොච්චියේ ක්‍රිෂ්ණපුරම් මධ්‍යස්ථානය සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී.  
ඒ අන් කිසිවක් නිසා නොව මෙම ස්ථානය එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ ඔවුන්ගේ පුහුණු කඳවුරු සංකීර්ණයක් වීමය. 

 

 


මීට යාබදව එකල එල්ටීටීඊයේ වධකාගාරයක් ද පවත්වාගෙන ගොස් ඇති බව කියති.  
එල්ටීටීඊ සංවිධානයේ පුහුණු කඳවුරක් වශයෙන් පවත්වාගෙන ගිය ස්ථානයේ පිහිටි ගොඩනැගිලි මේ වනවිට පිළිසකර කරමින් පවතින්නේ වඩාත් පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටය.  
මේ කටයුතු සිදුකරගෙන යනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ යුද හමුදාවේ පූර්ණ මැදිහත් වීමෙනි.  
කිලිනොච්චිය නගරයේ සිට කිලෝ මීටර් 3ක් පමණ දකුණු දෙසින් වන්නට ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශය පිහිටා ඇත.  
වන්නි මානුෂීය මෙහෙයුමේ යෙදී සිටි භට කණ්ඩායම් එල්ටීටීඊ සංවිධානයේ එවක ප්‍රබලතම පරිපාලන බලකේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ කිලිනොච්චිය නගරය මුළුමනින්ම කොටි ග්‍රහණයෙන් මුදාගනු ලැබු​වේ 2009 වසරේ ජනවාරි මාසයේ 2 වැනිදාය.  


ඊළාම් සිහින රාජ්‍යයේ අගනුවර ලෙස කොටි සංවිධානය සලකාගෙන සිටියේ කිලිනොච්චිය නගරයයි.  
කිලිනොච්චිය නගරය කොටින්ගේ පාලනයට නතුවූයේ 1998 වසරේදීය.  
කොටි ග්‍රහණයෙන් කිලිනොච්චිය නගරය සම්පූර්ණයෙන්ම මුදාගත්තේ වසර 10ක පමණ කාලයකට පසුවය.  
මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා යටතේ එවකට පැවැති 57 වැනි සේනාංකයේ භට කණ්ඩායම සහ බ්‍රිගේඩියර් (වත්මන් යුද හමුදාපති) ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ එවකට පැවැති 58 වැනි සේනාංකයේ භට කණ්ඩායම යාපනය-මහනුවර ඒ 9 මාර්ගයට උතුරු, දකුණු සහ බටහිර දෙසින් ගොස් කිලිනොච්චියේ බලය තහවුරු කරගෙන තිබිණි.  
කොරෝනා වයිරසය ආසාදිත වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහලක් ඉදිකරගෙන යන ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශය හමුදාව අතට පත්වූයේ කිලිනොච්චියේ බලය තහවුරු කිරීමත් සමගය.  
කිලිනොච්චියේ බලය 1998 වසරේ කොටින් අතට පත්වූ පසු බලහත්කාරයෙන් සංවිධානයට බඳවාගත් පාසල් ළමුන් ඇතුළු තරුණ තරුණියන්ට ගරිල්ලා සටන් පුහුණුවීම් දී ඇත්තේ ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ පිහිටි මෙම පුහුණු කඳවුරෙනි.  


මන්නාරම සහල්නැලිය ලෙස හැඳින්වෙන ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටින්ට අයත්ව තිබූ වැඩිම බලප්‍රදේශ සංඛ්‍යාවක් අත්පත් කරගත්තේ ද බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ පැවැති 58 වැනි සේනාංකයේ භට කණ්ඩායම් විසිනි.  
එදා කොටින්​ගේ වැඩිම බලප්‍රදේශ ගණනක් අල්ලා ගැනීමට නායකත්වය දුන්නේ වර්තමානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර මෙන්ම යුද හමුදාපති තනතුර හොබවන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය.  


අද වනවිට කොරෝනා වයිරස් වසංගතය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස සුවිශේෂ මෙහෙවරක් ඉටුකරන්නේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය.  
කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් පිහිටි මෙම රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය 31 වැනිදා ගියේය.  
ක්‍රිෂ්ණපුරම්හි පිහිටි රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු හමුදාපතිවරයා නිරීක්ෂණය කර අවශ්‍ය ඉදිරි උපදෙස් මෙහිදී දුන්නේය.  


මේ කටයුත්ත සඳහා කිලිනොච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන්ගේ ද සහාය ලැබිණ.  


කිලිනොච්චිය ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරි මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ සහ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් රත්නායක යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.

 

 

සටහන : ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප : 
යුද හමුදා මාධ්‍ය ඒකකයේ අනුග්‍රහයෙනි.