කතරගම ඇසළ පෙරහර මංගල්‍යය මේ දිනවල පැවැත්වේ

 

1935 දී කතරගම දේවාලය

 

 

කතරගම පුද බිම පිළිබඳව පුරාවෘත්තයන් රැසක් පවතී. අප රට අල්ලා ගත් විජාතිකයන්ගේ වැඩි අවධානයක් කතරගම පුදබිම වෙත අවධානයක් යොමු කළ අතර ලක්දිව පාලනය කරන විජාතිකයන් විසින් කතරගම පුදබිම පිළිබඳව කළ සටහන් රැසක් ලේඛනවල සඳහන් වේ. මෙම අතරින් ලෙනාර්ඩ් වුල්ෆ් (එංගලන්ත ජාතික) විසින් කතරගම පිළිබඳව සටහන් රැසක් තබා ඇත.   


කතරගම ඇසළ මංගල්‍ය නිසි ලෙස ගෞරවන්විතව සිදුකළ විජාතිකයෙකු වූවා නම් ඒ ලෙනාර්ඩ් වුල්ෆ් මහතා පමණි.   


1910 දී කතරගම පෙරහර අධීක්ෂණය කිරීමට පැමිණි පළාත් එ්ජන්තවරයෙකු වූ ලෙනාර්ඩ් වුල්ෆ් විසින් තබන ලද සටහන්වල මෙසේ කතරගම පිළිබඳව සටහන් කර ඇත.   
1910 දී කතරගම ප්‍රදේශය අති දුෂ්කර වූ ප්‍රදේශයක් වීම නිසා කිසිදු එ්ජන්තවරයෙකු මෙම පළාතකට පැමිණීමට කැමැත්තක් දැක්වූයේ නැත. තිස්සමහාරාමය වෙතට සැතපුම් 10ක් දුරින් පිහිටි කතරගම පුරවරයට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පමණක් නොව දකුණු ඉන්දියාවේ සිට ද බැතිමතුන් පැමිණි බව ද කියැවේ. හම්බන්තොට සිට කතරගම දක්වා ගමන් කරන මාර්ගයේ විශාල වනාන්තර වූ බැවින් පැමිණි බැතිමතුන්ට ආහාර ලබා ගැනීමට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.   


මෙම වන්දනා නඩ අතර විවිධ වූ රෝග සුව කරගැනීම සඳහා රැගෙන ආ රෝගීන් සිටි අතර ඇතැම් අය අතරමග දී මියගිය බව සඳහන් වේ. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි වන්දනා බැතිමතුන් අතර කොළරාව, වසූරිය වැනි දරුණු රෝගයන්ට මුහුණ දීමට සිදුවේ. මේ හේතුන් මත ඉන්දියාවෙන් පැමිණෙන නඩ සඳහා නීති දැඩි කිරීමට ඉංග්‍රීසි රජයට සිදුවිය.   


1910 ජූලි 8 වැනි දින තිස්ස කතරගම බලා පැමිණි ලෙනාර්ඩ් වුල්ෆ් ඔවුන්ට. ජූලි 22 වන තෙක් දින 14ක් එහි නවාතැන් ගැනීමට සිදුවිය. වන්දනාකරුවන් තුන්හාරදාහක් පැමිණි අතර 1910-1919 වන වකවානුවේ දී කතරගම මහා වනය මැද පිහිටි පුංචි එළිමහනකට වඩා වැඩි තැනක් නොවූ බව ලෙනාර්ඩ් වුල්ෆ් පෙන්වා දේ.  


 මෙහි සුවිශේෂීිත වූ කරුණ වූයේ හින්දු කෝවිල් වුවත් එහි ප්‍රධාන පාලකයා වූයේ සිංහලයන් වීමයි. එමෙන්ම අඩු කුලේ යැයි සම්මත වූ පුද්ගලයන්ට එම කෝවිලට ඇතුළු වීමට ඉඩ අවකාශ නොලැබුණි. පෙරහර පවත්වමින් කතරගම දෙවියන්ගේ භාර්යාවගේ හා කතරගම දෙවියන්ගේ පූජා ආභරණ වැඩමවා පෙරහර සිදුකරන අයුරු දුටු බව ලෙනාර්ඩ් වුල්ෆ් සඳහන් කර ඇත. මෙම කාල සීමාවේ දී ලෙනාර්ඩ් අමිහිරි සිදුවීමක් පිළිබඳව සටහනක් තබා ඇත. එය මෙසේ සඳහන් කරයි.   


ලෙනාර්ඩ් වුල්ෆ් කතරගම පුදබිමේ ගත කළ ස්ථානයේ ජනේලයක් අසල කුඩා දරුවෙකු නොනවත්වා වේදනාවෙන් හඬා වැටී ඇත. දැඩි වෙහෙස කර වූ රාජකාරි කිරීමෙන් අනතුරුව නිදාගත් ලෙනාර්ඩ්ට මෙම දරුවාගේ හැඬීම බාධාවක් විය.   


පසුව තම සේවකයාට කතා කර දරුවා හැඬීම පිළිබඳ සොයා බලන ලෙස දැන්වීය. මෙහිදී හෙළිවූයේ ඉන්දියාවේ සිට පැමිණි යුවළක් තම අන්ධ දරුවාට පෙනීම ලබා දීම සඳහා දේව කන්නලව්වක් සිදුකොට ඇති බවයි. මෙහිදී දරුවා සුව නොවූ බැවින් ඉඳිකට්ටක් ගෙන දරුවාගේ ශරීරයට අනිමින් වේදනාවකට පත්කර දරුවා හැඬවීම තුළින් දෙවියන්ගේ අවධානය යොමුකර ගැනීමට යොමුව ඇති බව ලෙනාර්ඩ් වුල්ෆ්ට දැන ගැනීමට හැකි විය.   


මෙම සිදුවීම ලෙනාර්ඩ් වුල්ෆ් හට දරාගත නොහැකි වූ සිදුවීමක් බව ඔහු සඳහන් කරයි. පසු දින උදෑසන සිංහල වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර කර සුව කර දීමට යොමු කරනු ලැබීය. මෙහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ මෙම අන්ධ දරුවා සුවකළ නොහැකි බවයි.   


සති දෙකක කාලයක් පුරා ශාරීරික පීඩාවන්ගෙන් යුත් හුදකලා සහිත වූ පරිසරයක කොටු වූ ලෙනාර්ඩ්ට දකුණු ඉන්දියාවෙන් සහ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනයාගේ යටිතල පහසුකම් ලබා දීමත් ඔවුන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ගැටලු පිළිබඳ වගකීම පැවරී තිබිණි.   


මේ ඇසළ උත්සවය සමයේ දී සවස් කාලයේ දී තුවක්කුව රැගෙන තනියම කැලයට පිවිස මැණික් ගඟ දෙපස ඇවිදගෙන යාම ලෙනාර්ඩ් වුල්ෆ්ගේ පුරුද්දක් විය. නීති විරෝධී මුවන් දඩයම් කරන්නන්, වියළි මස් මහා පරිමාණයෙන් අළෙවිය සිදුකරන්නන් අත්අඩංගුවට ගැනීමට ලෙනාර්ඩ් වුල්ෆ්ට හැකි විය.   


මෙයට අමතරව මැණික් ගඟ පිළිබඳව දැඩි අවධානයක් ලෙනාර්ඩ් වුල්ෆ් යොමු කළ බව සඳහන් වේ. සියලුම ජල අවශ්‍යතාවන් සිදුකර ගත් මැණික් ගඟ පිරිසිදුවට තබා ගැනීමට ලෙනාර්ඩ් වුල්ෆ් ක්‍රියා කරන ලදී. ඇසළ මංගල්‍ය ආරම්භ වීමට පෙර ගඟේ අපිරිසිදු ජලය පිරි වළවල් පිරිසිදු කර මැසි මදුරු තෙල් ගැසීම සිදුකර ගඟට වැටී තිබූ විවිධ වූ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කරන ලදී.   

 

කතරගම දේවාලයේ දැනට ඇති පැරණිම ඡායාරූපය (මෙම ඡායාරූපය සුදු අධිරාජ්‍යවාදීන් විසින් ගන්නා ලද ඡායාරූපයකි)

 

1944 දී තිස්සමහාරාම වෙහෙර අසලදී කතරගම බැතිමතුන් පාද වන්දනාවෙන් පැමිණි අයුරු.

 

 


මෙයට අමතරව දෙවියන්ගේ පැන් ගන්නා තොටුපොළට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි. බැතිමතුන්ට පානීය ජලය ගැනීමට බැරල් පුරවා තිබූ අතර මැණික් ගඟට මුරකරුවන් යොදවා ගඟ සුරැකීමට ක්‍රියා කර තිබේ. මැණික් ගඟේ ඉවුරේ මුත්‍ර කළ අයකුට රුපියල් 05 දඩයක් ද ගං ඉවුරට ආසන්නයේ වැසිකිළි කළ අයකුට රුපියල් 10ක දඩයක් ද නඩු අසා වැරදිකරුට දඩ ගැසූ බව ලෙනාර්ඩ් වුල්ෆ්ගේ සටහන් තුළ දැක ගත හැකිය.   


පෙරහර පවත්වන සමයේ දී පැමිණෙන අය දේවාලයට විශාල මුදලක් ලබා දීම සිදුකර තිබේ. මෙසේ පැමිණි අයට පොල් අතු සෙවිලි කළ මඩු දේවාල ආසන්නයේ ඉදිකිරීමට ඔවුන් කටයුතු කර තිබුණි. මෙහිදී පැමිණෙන බැතිමතුන්ගේ ආහාර, පානීය ජලය, වැසිකිළි පහසුකම් පිළිබඳව ලෙනාර්ඩ් වුල්ෆ් අවධානය යොමු කරනු ලැබුවේ නිව්මෝනියාව, මැලේරියාව, පාචනය වැනි රෝගවලින් බේරා ගැනීමේ අරමුණින්ය.   


මෙහිදී කතරගම ඇසළ පෙරහැරට පැමිණි බැතිමතුන් වෙනුවෙන් එක් දිස්ත්‍රික් වෛද්‍යවරයෙකු සිටි අතර නීතිය හා සාමය රැකීමට ගම්මුලාදෑනි​ෙයකු රාජකාරි සඳහා පත් කළ බව ලෙනාර්ඩ් වුල්ෆ් සඳහන් කර ඇත.   

 


කතරගම කේ. ඩී. දේවප්‍රිය   
තොරතුරු කතරගම දේවාල පුරාණ පොත් පත් සුදු අධිරාජ්‍යවාදීන්ගේ සටහන් පරිවර්තන.