2018 වසර සඳහා වූ 24 වන විරුජන සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පසුගියදා පැවැත්විණි. එහිදී අසරණ හා කරදරයට පත් මිනිසුන්ට දිවි නොතකා සේවය කළ පුද්ගලයන් 16 දෙනෙක් සම්මානයට පාත්‍ර වූහ. එහි පළමු සම්මානය හිමි කර ගත්තේ 2017 වසරේ ඔක්තෝබර් පළමු වන දින සිය දිවිය පරදුවට තබා බසයක සිටි මගීන් 22 දෙනෙකුගේ ජීවිත බේරා ගත් එච්.එම්. කීර්ති බණ්ඩාර පද්මසිරි මහතාය. ඔහු අද ජීවතුන් අතර නොමැත. ඒත් ඔහු කළ සේවය නිසා තවත් මිනිස්සු බොහෝ දෙනෙක් ජීවත් වෙති. මෙම ලිපිය ඔහුගේ ඒ අනුපමේය සේවය ඇගයීම සඳහාය.  


 ‘රියැදුරු දෑතට දෙවි පිහිටයි’. බොහෝ බස් රථවල දක්නට ඇති පාඨයකි. සැබැවින්ම එය එසේ විය යුතුය. මන්දයත් බසයේ ගමන් ගන්නා සියලු මගීන්ගේ ජීවිතවල වගකීම රියැදුරු මහතාගේ දෑතේ පවතින බැවිනි.   


මෙම තත්ත්වය එසේ විය යුතු වුවද අද බස් රථ රියැදුරන් අතර දක්නට ඇත්තේ​ නොහික්මුණු තරගකාරී බවකි. එක්කෝ ඔවුහු මගී ජීවිත පිළිබඳ නොසිතා වේගයෙන් රිය ධාවනය කරති. නැත්නම් අසීමිත ලෙස මගීන් පටවා ගනිමින් අන් බස් රථ සමග තරගයට ගමන් ගනිති. එසේත් නැත්නම් තමන්ට නියමිත කාලය අපතේ යවමින් කොට කොටා බසය ධාවනය කරති. මේ සියලු දේ සේම නොහික්මුණු ලෙස ජංගම දුරකථනය භාවිත කරමින් විසිල් කරමින් වට පිට බලමින් රිය ධාවනය කරන පිරිස් ද වෙති. මෙවන් වූ රියැදුරන් නිසා පදිකයන්ද බසයට නගින මෙන්ම බසයෙන් බහින මගීන් යනාදී බොහෝ දෙනෙක් අනතුරට පත් වී ඇත. ඇතැම් විට එම අනතුර ජීවිතය අහිමි කරමින් නිමා වූ අවස්ථා ද විය.  


එවන් වූ වගකීම් රහිත පුද්ගලයන් අතරේ තමන්ගේ ජීවිතය පවා අවදානමට දමමින් මගී ජීවිත ආරක්ෂා කර ගන්නා රියැදුරෝ ද වෙති. එච්.එම්. කීර්ති බණ්ඩාර හෙවත් නිලමේ මල්ලී එවැන්නෙකි.   


හතළිස් පස් වියැති දෙදරු පියකු වූ නිලමේ මල්ලී මෙලොවින් සමු ගත්තේ තවත් මිනිසුන් විස්සකට අධික ප්‍රමාණයකගේ ජීවිත බේරා ගනිමිනි. ඒ සිය රැකියාවේ වගකීම ඉටු කිරීම සඳහාය. මේ ඒ අනතුරේ මතක අතරින් බිඳකි.   


බදුල්ල - කොළඹ මාර්ගයේ කිලෝ මීටර් 5 ක් දුරින් වූ ඌව කොස්ගම දුෂ්කර ගම්මානයකි. මෙම ගමට එන යන මිනිසුන්ට ප්‍රවාහනය සඳහා තිබුණේ එකම එක ලංගම බසයකි. එය බණ්ඩාරවෙල ඩිපෝවට අයිති කීර්ති බණ්ඩාර විසින් ධාවනය කළ බසය විය. වසර ගණනාවක් මෙම මාර්ගයේ බසය ධාවනය කළ කීර්ති බණ්ඩාර ඒ ප්‍රදේශයේ කවුරුත් දන්නා හඳුනන අයෙක් විය.   


උදේ සිට හවස් වන තුර ගමන් වාර හතරක් එක දිගට ධාවනය කරන ඔහු සැබැවින්ම විශ්වාසවන්ත රියැදුරු මහ​ෙතකු වූවේය. ඒ නිසාම ඔහුගේ බසය එනතුරු මගී පිරිස් නිරන්තරයෙන් සැදී පැහැදී බලා සිටියහ.   

 

2017 ඔක්තෝබර් 01 දින ධාවනය කළ බස් වාරය එනතෙක් ද ඒ සුපුරුදු මගීහු පෙරසේම බලා සිටියහ. ඒ සියලු දෙනා බසයට නංවා ගත් කීර්ති බණ්ඩාර හාල්අටුතැන්න හරහා කොස්ගොඩ දෙසට බසය ධාවනය කළේය.   
බෑවුම් සහිත මාර්ගයක් වූ බැවින් ගමන දුෂ්කර වූවේය. බණ්ඩාරයන් මගී සහිත බසය හෙමින් හෙමින් ඉදිරියට ගෙන ආවේය. සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමකි. බසයේ තිරිංග අඩපණ වී තිබිණි. පසෙක මහා ගල් කුළකි. තවත් පසෙක මහා හෙළකි. බසය හෙළ දෙසට කැපුවහොත් බසයේ සිටි සියලු මගීන් අනතුරට ලක් වෙති. බසය ගල් කුළ දෙසට කැපුව හොත් එය තමාට අවදානමකි. ගන්නා තීරණය ඉක්මනින් ගත යුතුව තිබිණ.   


රියැදුරන්ගේ වගකීම මගී ජීවිත රැක ගැනීමය. බණ්ඩාර ඔහුගේ ජීවිතය අවදානමට දමමින් බසය ගල් කුළ දෙසට කැපුවේය. බසයට දැඩි හානි සිදු වූවේය. තදබල තුවාල ලැබූ බණ්ඩාර සහ තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එහෙත් රියැදුරු මහතා ගත් ක්ෂණික තීරණය නිසා විශාල මගී පිරිසකගේ ජීවිත බේරිණ.   


දරුවන්ට මව්වරුන් ද, පියවරුන් ද අහිමි නොවිණ. මව්පියන්ට දරුවන් අහිමි නොවිණ. වටිනා මිනිස් ජීවිත රැසක අවදානම සිය අතට ගෙන ඔහු තම ජීවිතය පූජා කළේය. අද එදා බස් රථයේ ගමන් ගත් පවුල්වල සියලු දෙනා එකට ජීවත් වෙති. සතුටු වෙති. එහෙත් සිය වෘත්තීය හා මානුෂික වගකීම ඉටු කරමින් ජීවිතය පරදුවට තැබූ බණ්ඩාරයන්ගේ පවුලම දුකින් පසුවෙති. 

 
අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකු සිටින එම පවුලේ වර්තමාන තත්ත්වය පිළිබඳ මියගිය බණ්ඩාරගේ බිරිඳ වන විජය නිල්මිණි මහත්මිය පැවසූවේ මෙවැන්නකි.   


‘මගේ මහත්මයා එච්.එම්. කීර්ති බණ්ඩාර පද්මසිරි. අපි ජීවත් වෙන්නේ වෙහෙරගොඩ හල්පේ බෙලිහුල්ඔය. අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා මේ සැරේ සාමාන්‍ය පෙළ ලියනවා. දුව තුන වසර. මගේ මහත්තයා බණ්ඩාරවෙල සී.ටී.බී. එකේ වැඩ කළේ. මම රැකියාවක් කරන්නේ නෑ. මහත්තයා තමයි පවුලම බලා ගත්තේ. එදා හවස 4.20 ට විතර මහත්තයා බස් එක අරගෙන ඇවිත් තියෙනවා. හපුතලේ පහුකරලා උඩවිහාරගල හරියට එනකොට බස් එකේ බ්‍රේක් නැතිවෙලා.   


බස් එක එන පැත්තේ ලොකු ප්‍රපාතයක් තියෙන්නේ.  


 මිනිසුන් බේර ගන්න ඕන නිසා එයා හිටපු පැත්ත විරුද්ධ පැත්තේ තිබුණ ගල් ඇන්දට අල්ලලා. ඒ අනතුරින් මහත්තයා නැති වුණා. එයත් එක්ක තව දෙන්නෙකුත් නැති වුණා. ඒත් එයා ජීවිත 22 ක් බේරුවා.   


මගෙ මහත්තයා නැති වුණා. එයා රැකියාවේ වගකීම ඉෂ්ඨ කළා. සේවයේ සිටියදී අනතුරට පත් වූ නිසා කියලා සී.ටී.බී. එකෙන් වන්දියක් නම් ලැබුණා. ඊට අමතරව නම් කිසිම සහනයක් අපට ලැබිලා නෑ. අඩුම තරමේ දරුවන්ට සීසන් එකක් වත් දීලා නෑ. වීර පොදුජන පෙරමුණෙන් කතා කරලා අපේ ප්‍රශ්න ගැන ඇහුවා. එහෙන් තමයි මහත්තයා කළ සේවය අගය කරලා සම්මානයක් දුන්නේ.   


අද වෙනකොට අපි ප්‍රශ්න ගොඩකට මූණ දීලා. මහත්තයා ඉන්න කාලේ ගෙදර හදන්න ලක්ෂ 9 ක ණයක් ගත්තා. එයා නැතිවෙන කොට ලක්ෂ 8 ක් ගෙවන්න ඉතිරි වෙලා තිබ්බා. හම්බ වෙච්ච සල්ලිවලින් කොටසක් ගෙව්වා. දරුවන්ට උගන්වන්නයි අපිට ජීවත් වෙන්නයි ක්‍රමයක් තියෙන්න ඕන.   


ඉතිරි ණය මුදල මාසෙකට 16,000 ගානේ කපා ගන්නවා. අපිට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. අපිට ණය බරින් නිදහස් වෙන්න සහනයක් ලබාදෙන්න කියලයි ඉල්ලන්නේ.’ 

 

 

සම්මාන  සහතිකය

 

 

ඇත්ත තිත්තය. බණ්ඩාරයන් කළ ක්‍රියාව අගය කර සම්මාන පිරිනමන ලද්දේ වීර පොදුජන පෙරමුණය. ඔවුනගේ දුක වේදනාව පිළිබඳ විමසා ඇත්තේ වීර පොදුජන පෙරමුණය. එහෙත් රජයේ බස් සේවයට අයත් කාර්මික දෝෂ සහිත බසයක් දී මගීන්ගේ ජීවිත අවදානමට දැමූමුත් සිය ජීවිතය පුදා ඒ ජීවිත රැකගෙන සිය වෘත්තිය වගකීම ඉටු කළ මිනිසා වෙනුවෙන් කළගුණ සලකා වගකිව යුතු පිරිස් ඉටු කළ වගකීම කුමක්ද?   


ඔවුනගේ දුක වේදනා ආර්ථික ගැටලු සඳහා දී ඇති පිළියම් කවරේද? පිදිය යුත්තන් පිදිය යුතුය. ඇගයිය යුත්තන් ඇගයිය යුතුය. මන්ත්‍රී දීමනා වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් වෙන්වෙද්දී රටට සේවයක් කළ මෙවන් වූ මිනිසුන් අසරණවීමට ඉඩ දිය යුතු වෙමුද?

 

 

 

 

සටහන - කුමාරි හේරත්
ඡායාරූප පාලිත ආරියවංශ