සමනලයෙකුට වෙඩි තැබීම


පසුගිය ඉරිදා ලංකාදීප යේ ජෝති විජය නමැති අවන්හලක් නාත්තන්ඩිය පාරේ උඩුබද්දාවේ විවෘත කළ බව පළවිණ. අයි.ටී.එන්. නාළිකාවේ ‘අටපට්ටම’ වැඩ සටහනින් මෙම විවෘත කිරීම පෙන්වන ලදී. සමාජ විද්‍යාඥයින් සෙවිය යුතු එක් කරුණක් වන්නේ ලංකාවේ තවමත් ජනප්‍රිය නළුවා වර්තමානයේ චිත්‍රපට කිසිවක රඟනොපාන විජය කුමාරතුංග වීමත්, ලංකාවේ ජනප්‍රිය ගායකයා අලුතින් ගී නොගයන ජෝතිපාල වීමත්, ඔවුන් තරම් ජනතාවගේ ආදරයට මෙරට බිහිවූ කිසිම දේශපාලනඥයෙකුට නොලැබෙන්නේ ඇයිදැයි ගවේෂණය කිරීමත්ය. විජය සෑම අයුරකින්ම ලංකාවේ පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි යැයි සිතූ කෙනෙකු වන අතර, එමගින් මෙරටේ විශාල පරිවර්තනයක් කළ හැකි යැයි විශ්වාස කළ කෙනෙකි. ජාතික සංහිඳියාව ගැන අවංකවම පෙනී සිටි විජය ඒ නිසාම, තුච්ඡ, ම්ලේච්ඡ ඝාතකයෙකුගේ වෙඩි පහරින් මරණයට පත්විය.   
ලංකාවේ මියගිය සියළු දේශපාලනඥයන්, කලාකරුවන් අතුරෙන් උපන් දිනයත්, මියගිය දිනයත් ප්‍රසිද්ධියේ සමරණ එකම කලාකරුවා එච්.ආර්. ජෝතිපාලයි. එච්.ආර්. ජෝතිපාල මියගියාට පසු අවුරුද්දක් පුරා සෑම මසකම කොහේ හරි පන්සලක බෝධි පූජාවක් නොකඩවා තිබූ අතර, 1988 පෙබරවාරි 12 වැනිදා එච්.ආර්. ජෝතිපාලගේ ගුණ සමරු සංවිධානය විසින් සංවිධානය කරන ලද එච්.ආර්. ජෝතිපාල මියගියාට පසු, පැවැත්වූ පළමුවෙනි උපන් දින සැමරුම පවත්වන ලද අතර, එදිනම එච්.ආර්. ජෝතිපාල මාවත නමින් මාවතක්ද, විවෘත කෙරුණි. මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ කලා ලොවේ එච්.ආර්. ජෝතිපාලගේ සමීපතම මිතුරා වූ විජය කුමාරතුංගයි. විජය කුමාරතුංග කොතරම් ව්‍යක්ත කථිකයෙක් දැයි මම දැනගත්තේ එදාය.   


ඊට පෙර සිංහල ජනතාව කොළඹ හතේ පදිංචිව සිටි මෙරටේ වරප්‍රසාද ලත් පංතිය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය පොදුජන පක්ෂයක් බවට පත්කළ, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එම පක්ෂයට තිබූ විශාල අඩුපාඩුවක් වූ දක්ෂ සිංහල කථිකයෙකු ප්‍රේමදාස තුළින් බිහිවීමත්, එලෙසම ප්‍රේමදාස නොබෝ කලකින්ම මෙරට බිහිවූ දක්ෂ සිංහල කථිකයාවීමත් අප දන්නා කරුණකි. ඒත් ප්‍රේමදාසගේ කථාවට නොදෙවෙනි ලෙස ව්‍යක්ත ලෙස ජනතාව හදවතින්ම ඇඳ බැඳ ගන්නා කථිකයන්  වමේ පක්ෂ වල නොසිටි අතර, එම නිසා විජය කුමාරතුංග අතිශයින්ම දක්ෂ කථිකයෙකු ලෙස මහත් චිර ප්‍රසිද්ධියක් ලැබීය. මා ඔහුගේ කථාවට ඇහුම්කන් දුන් විට මට මොහු මොනතරම් දක්ෂ මිනිසුන්ගේ ආත්මයට ළංවිය හැකි කථිකයෙක් දැයි මට තේරුණි. ඔහු ප්‍රධාන දේශනය කරමින්, ඔහුගේ කටහඬට පසුබිම ගායනය සැපයූ එච්.ආර්. ජෝතිපාල විසින් ඔහුගේ ජනප්‍රියතාවට කරන ලද දායාදය ඔහුටවත් කළ නොහැකි බව කියා සිටියේය. එලෙසම, මේ කථාව අතර දී මට දැනුණා, ඔහු මහත් තැති ගැනීමකින් සිටින බව. ඔහු ඉදිරියේ සිටි ඔහුගේ ආරක්ෂකයින් කීපදෙනෙක්ම එහාට මෙහාට ගමන් කරනු විමසිල්ලෙන් එම රැස්වීමේ සිටි මිනිසුන් දෙස බලන අයුරු දුටුවා. එම රැස්වීමට පැමිණ සිටි විජයගේ අතිශයින්ම හිතවත් මිත්‍රයෙකු වන ප්‍රේමසිරි පෙරේරාගෙන් විමසූ විට ඔහු කියා සිටියා ‘‘දන්නවනේ ජේ.වී.පී. එක අපේ ලොක්කට වැඩක් දෙන්න මහන්සි ගන්නවා. ඒක නිසයි අපි මෙහෙම හැසිරෙන්නේ’’ කියා කිව්වා. ඊට දවස් හතරකට පසුව, මුළු රටම හඬවා විජය කුමාරතුංග මරා දමනු ලැබුවා. ඔහුගේ ඝාතකයා ඔහුගේ මූණට වෙඩිතබා ඇති බවත්, මුහුණ විනාශ වී ඇති නිසා ජනතාවට මළසිරුරේ මුහුණ බලාගන්න නොහැකි වුණා.   


මේ රටේ දෙමළ, සිංහල සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටී. අවංකව කැපවූ ලංකාවේ එතෙක් සිටි ජනප්‍රියතම නළුවා, මානව හිතවාදියා මෙසේ ඝාතකයෙකු අතින් මියගියා. ඔහු​ෙග් මෘත ශරීරය බැලීමට මහත් ජනතාවක් දිවයිනේ නන් දෙසින් ඇදී ආවා. මහජන පක්ෂයේ සිටි බහුතරය එනම් දයාන් ජයතිලක, සරත් කෝන්ගහගේ, ප්‍රේමසිරි පෙරේරා වැනි අය මෙම මරණයට ජනතා විමුක්ති පෙරමුණ වගකිවයුතු බව ස්ථිරවම ප්‍රකාශ කර සිටියා. ජනතා විමුක්ති පෙරමුණ දැන් දැන් 88-89 භීෂණ සමය ගැන කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන රජය ඉතා අසාධාරණ ලෙස තම පක්ෂය තහනම් කළ බවත්, පක්ෂ සාමාජිකයින්ට එරෙහි මෙහෙයුමක් දියත් කළ නිසා එයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පෑමට නොහැකි නිසා මෙසේ තම පක්ෂය අතින් තමන් පසුපස හඹාඑන දේශපාලන හතුරන් ඝාතනය කිරීමට සිදුවූ බවය. එහෙත්, විජය කුමාරතුංග වැනි කිසිවෙකුට වරදක් කොට නොමැති අහිංසක සමනලයෙකු මරා දමන්නේ ඇයිදැයි මට විශාල ප්‍රශ්නයක් වුණා. ඔවුන්​ එසේ කළානම් සදාකාලිකවම විජය කුමාරතුංගගේ රුව රැඟුම් විලාශය ජනතාවගේ මනසේ රැඳී තිබෙන තුරා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් කිසිදිනක ජයක් නොලැබෙන බව මම සිතුවා. එය මේ ඡන්දයෙන්ද තහවුරු වුණා.   


විජයගේ මෘතදේහය රැගත් පෙට්ටියට අත්දෙක තබා විජය නායකත්වය දුන් වාමාංශික එක්සත් පෙරමුණ ඉදිරියට ගෙන යන බවට සහ තම ස්වාමිපුරුෂයාගේ මිනීමැරුමට එරෙහිව ඔවුන් ජනතා අධිකරණයට පමුණුවන බවට අත්දෙක ඔසවා මිට මොලවා පොරොන්දුවක් දුන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ සියල්ලම අමතක කර කොට තම පාක්ෂිකයන් බිල්ලට දී තම ජීවිතය රැකගැනීම සඳහා එංගලන්තයට ගියා. එම වකවානුවේ මම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු, ඊට පෙර වර්ෂයේ උප ලේකම් තනතුර දැරූ අවස්ථාවේදී විජේදාස ලියනආරච්චි නමැති තරුණ නීතිඥවරයා පැහැරගෙන ගොස් තිබුණා. ඊටපසු, එම තරුණ නීතිඥවරයා සොයා ගැනීමට මා ගත් උත්සාහය සහ ඔහු ඝාතනය වීමෙන් පසු, ඊට නීතිඥ වෘත්තිකයනගේ විරෝධය මා සංවිධානය කළා. තවද, සිරගතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් හා තරුණයන් වෙනුවෙන් මම නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයික් එකතු කර නොමිලයේ නීති ආධාර දෙන නීති ආධාර සේවයක් පිහිටුවා එම තරුණයන් වෙනුවෙන් ‘හබයා කෝපුස්’ ඉල්ලීම් නීතීඥ සංගමයේ සාමාජිකයින් ලවා කළා. මේ සියළු දේ මගේ මූලිකත්වයෙන් කරගෙන ගිය අතර, මේ සියළු දේ කරන්නේ මා ජනතා විමුක්ති පෙරමුණේ ආධරකරුවෙකු නිසා බව ජනතා විමුක්ති​ පෙරමුණට විරුද්ධව සන්නද්ධව සිටි ‘ප්‍රා’ කල්ලිය තීරණය කළා. ඒ අවස්ථාවේදී මා මැරීමට කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බව විජයගෙන් පසු එම පක්ෂයේ නායකත්වය දැරූ ඔසී අබේගුණසේකරගෙන් දැනගත්තා.   


විජය ඝාතනය කළාට ටික කලකට පසු මම එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතා වෙනත් දෙයක් සඳහා හමුවුණා. ඔහුගේ මුහුණ හිනාවකින් පිරී තිබුණා. එහිදී ඔහු මට කියා සිටියා විජයගේ ඝාතකයා අල්ලා ගත් බව. මේ ඝාතකයා ළඟ තිබූ කුඩා දිනපොතක්ද මට පෙන්වා සිටියා. ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියමයෙන් ඝාතනය කරන ලද අයගේ නම්ද, දිනයන් ද සඳහන් කර තිබුණා. එහි ඔහු විජයගේ නම සඳහන් කර තිබුණේ V.J යන ඉංග්‍රීසි අකුරු වලින්. ඊට වඩා මොහු ඔහු ගැන කිසිවක් සඳහන් කර තිබුණේ නැහැ.   


ඊට පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ රටේ ජනාධිපති වූවා. ඇයට අවශ්‍යව තිබුණා ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාස ආණ්‍ඩුවක් කිරීමට. මෙසේ පරිවාස රජයකට ඇතුළත් නොවන ලෙස මහජන පක්ෂයේ කීපදෙනෙකු කියා සිටියා. ඔවුන් කියා සිටියේ ඇයගේ සැමියා මැරූ ඝාතකයන් සමග කිසිම සන්ධාන ආණ්ඩුවකට නොඑළඹෙන ලෙසයි. එහෙත් එය සහමුලින්ම අමතක කොට එවැනි ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. මේ අතර තමාගේ දේශපාලන මතය එනම් විජය මරා දමන ලද්දේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එ්ත්තු ගැන්වීමට විජය කුමාරතුංගගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවක් පිහිටෙව්වා. එහි සභාපතිවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. රාමනාදන් මහතා පත් කළ අතර කොමිසන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණයේ සිටි සරත් එන්. සිල්වා මහතාද, මහාධිකරණ විනිසුරු ජයවික්‍රම මහතා ද පත්කරනු ලැබුවා.   

 

විජය කුමාරතුංග ඝාතන කොමිසන් සභාවේ මුඛ්‍ය අරමුණ වූයේ සත්‍ය සොයාගැනීම නොව විජයගේ මරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාසවාදීන් කළ බවට සනාථ කිරීමයි. එවකට නීතිඥ සංගමයේ සභාපතිව සිටි ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතා පැවසූ අන්දමට ඊනියා වරදකරු නම්කොට ඒක ටාගට් කරගෙන ඒ වටේ වෘත්තයක් ඇඳ අපි ටාගට් එකට වෙඩි තිබ්බා යයි පැවසීමක් වැනිය. ටාගට් එක ප්‍රේමදාස හා ප්‍රේමදාස හිතවාදීන්ය. වෘත්තය එයට ඉදිරිපත් කළ බොරු සාක්ෂිය. තුවක්කුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අටවන ලද කොමිෂන් සභා සමයමයි. මෙම කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි මෙහෙයවද්දී ඊට අශික්ෂිත ලෙස සාවද්‍ය සාක්ෂි මගින් මෙම වරද ජනතා විමුක්ති පෙරමුණ වෙතින් ඉවත්කොට ආර්. ප්‍රේමදාස හා ඔහුගේ දේශපාලන මිතුරන්ට හැරවීමට කරන ලද වංක උත්සාහයක් යයි අපි කවුරුත් දැනගෙන සිටියා.   
මේ අතර දුලංජලී ජයකොඩි මහත්මිය මා හමුවී ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස අයැද සිටියා. මවිසින් කොමිසන් සභාවට යවන ලද ලිපියේ මා කොමිසන් සභාවට පෙනී සිටීමට කළ ඉල්ලීම කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කර තිබුණා. දිනක් හදිසියේ මා හමුවීමට මා මිතුරු දයාන් ජයතිලක, සරත් කෝන්ගහගේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී හා ලේඛිකා තිසරණී ගුණසේකර මහත්මිය පැමිණ කියා සිටියා කෙසේ හෝ කොමිසන් සභාව ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාවක් ලබාගන්නා ලෙස. මා එසේ පෙනී සිටීමට නම් අතෘප්තියට පත් පාර්ශ්වකරුවකුගේ උපදෙස් සහිත ලිපියක් අවශ්‍ය බව පැවසූ අතර ඊටපසු අපි සියළුදෙනා විජය කුමාරතුංග පදිංචිව සිටි පොල්හේන්ගොඩ නිවසට ගියා.   

 

 

එහිදී විජය කුමාරතුංග ​ෙමලොව වඩාත්ම ආදරය කළ විජයගේ මව මුණ ගැසුණා. බියට්‍රිස් කුමාරතුංග මහත්මිය දයාන් ජයතිලක මහතා දුටුවිට අඬන්න පටන් ගත්තා. ඇයි? මේ මිනිස්සු මගේ පුතා මැරූ ජේ.වී.පී. කාරයන් ආරක්ෂා කරන්න හදන්නේ යැයි ඇසුවා. ඊට පසු ඇය ඇයගේ අත් අකුරින් ලියා මට ලිපියක් දුන්නා. එම ලිපිය ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට යොමුකර තිබූ අතර ඇය එහි මෙසේ සඳහන් කර තිබුණා.‘‘මගේ පුතා ජීවත්ව සිටියදී ජේ.වී.පී. මරණ තර්ජන තිබුණු බව මම හොඳින් දනිමි. මරා දමන බවට තර්ජනය කර ලියුම්ද ලැබුණි. ඒ නිසා ඒ පිළිබඳව සත්‍ය හෙළිදරව් කර ගැනීමට මහජන පක්ෂයේ ලේකම් ප්‍රේමසිරි පෙරේරා සහ එම පක්ෂයේ තවත් අය මා වෙනුවෙන් කොමිසමට කැඳවන ලෙස විජය කුමාරතුංග මැතිතුමාගේ ආදරණීය මෑණියන් වශයෙන් සහ විජය කුමාරතුංග පදනමේ ප්‍රධාන අනුශාසිකාව වශයෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි’’.   

 

ඒ අනුව ප්‍රේමසිරි පෙරේරා මහතාව සාක්ෂියට කැඳවනු ලැබුවා. එදින කුමක් සිදුවන්නේ දැයි බැලීමට මම ද, දයාන් ජයතිලක ද, සරත් කෝන්ගහගේ ද, තිසරණී ගුණසේකර මහත්මියද, කොමිසමට ගියා. එහිදී ඇටවූ නාටකය අතිශයින්ම ජුගුප්සාජනකය. ප්‍රේමසිරි පෙරේරා සාක්ෂි කූඩුවට නංවා ඔහුගෙන් ප්‍රශ්න කළේ ඔහු විජය කුමාරතුංග මහතාගේ සමීපතම මිතුරා වශයෙන් නොව විජයට වෙඩි තැබූ පහළමුල්ලේ ලයනල් රණසිංහගේ සහෝදරයෙකු හැටියටය. ඔහුට සත්‍ය ප්‍රකාශ කිරීමට දීම වෙනුවට කොමිසන් සභාව ඔහු හැඳ සිටි ඇඳුම් සහ පැලඳ සිටි සෙරෙප්පු ගැන විමසුවා. ඒවාට ඔහු දුන් උත්තරවලට කොමිසන් සභාවේ සාමාජිකයින් මහා හයියෙන් සිනාසුණහ. නැවත වරක් ඔහු දුන් උත්තර සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසූ ඔවුන් ඒ සියල්ලෙන් බලාපොරොත්තු වූයේ එම සාක්ෂිකරු මානසික ආතතියකට ලක් කිරීමය. එය සර්ව සම්පුර්ණයෙන්ම සාර්ථක වුණා. ඔහුට කිසිම වැදගත් දෙයක් කීමට ඉඩ ලැබුණේ නැහැ.   


ඊට පසු, ඝාතකයා වූ පහළමුල්ලගේ ලයනල් රණසිංහ අත්අඩංගුවට ගෙන ඔහුට ගෙදරින් කෑම ගෙනත් දී ඔහුගේ පාපොච්ඡාරණය ටයිප් පිටු 179 ක් පුරා විහිදුණු දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගෙන, එම ප්‍රකාශයෙන් කියැවෙන කරුණු සනාථ කිරීමට සාක්ෂි සොයා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෑතක දී බිහි වූ විශිෂ්ට පරීක්ෂකයෙකු වූ චන්ද්‍රා ජයවර්ධන මහතාට කොමිසමේ වෛරය එල්ල වී තිබුණා. චන්ද්‍රා ජයවර්ධන මහතා ලියා ගන්නා ලද පහළමුල්ලගේ ලයනල් රණසිංහගේ ප්‍රකාශයෙන් කිය​ෙවන්නේ ඔහු කොතරම් හිත් පිත් නැති මිනිස්කම නොමැති දයාව කරුණාව නොහඳුනන අතිශයින්ම දරුණු ඝාතකයෙක් දැයි ඔබට තේරුම් යනු ඇත. ඔහු විසින් මරා දමන ලද දහසය දෙනා මරා දැමීම ගැන කිසිම දුකක් හෝ පසු තැවිල්ලක් වූ බව නොපෙනුණි. ඔහු ක්‍රියා කළේ හිත් පිත් නැති රොබෝ කෙනෙකු ලෙසය. ඔහු මෙවන් ඝාතන කරන ලද්දේ රෝහණ විජේවීර කියා දුන් ලෙස පීඩිත පංතියේ විප්ලවයට එරෙහි වන ඕනෑම කෙනෙකු මැරීමෙන් සමාජයට සිදු වන මහත් මෙහෙය ගැන කල්පනා කරන ලෙසත්, ද්‍රෝහියෙකු මරා දැමීම කිසි විටෙක අපරාධයක් නොවන බවත් යන්න, ඔහු තදින් විශ්වාස කළා. ඒ නිසාම මහ පාරේ නිදියමින් තම ජීවිතය ගෙන යන ඔහුට දේශපාලන මණ්ඩලයෙන් ලැබෙන උපදෙස් පිට ටී 56 ආයුධයකින් මරා දැමීම සාමාන්‍ය ක්‍රියාවක් වුණා.   


චන්ද්‍රා ජයවර්ධන මෙරට සිටි විශිෂ්තටම පරීක්ෂකවරයෙකු වුවද ඔහු කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් හැටි මට තවම මතකය. සාක්ෂි කූඩුවේ ඔහුගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසමින් කරන ලද මහා විගඩම නිසා චන්ද්‍රා ජයවර්ධන වැනි පොලිස් විමර්ශකයෙකුට සාක්ෂි කූඩුවේ සිට ගෙන සිටීමට නොහැකි තත්ත්වයකට පත් වුණා.   


විජය කුමාරතුංගගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ලයනල් රණසිංහ නමැති ඝාතකයාගේ පාපෝච්චාරණය ඔබ සැමගේ දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමි.   


නම - පහළමුල්ලගේ ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද, නොහොත් ජයතිලක   


ලිපිනය - අංක 5/2 ජාතික නිවාසය මූණගම හොරණ,   


‘විනාඩි 5ක් හෝ 6ක් පමණ පාරේ සිටින විට අප දුටුවා විජය කුමාරතුංග නිවසින් එළියට එනවා. ඔහු තනියම ඇවිත් නිවසේ ගේට්ටුව ළඟ කෙනෙක් සමඟ කථා කළා. එම කථා කරන පුද්ගලයා කලිසමක් සමග ෂර්ට් එකක් ඇඳ සිටියා. ඊට පසු හේරත් සහ මා ගොස් බයිසිකලයේ නැග්ගා. මා බෑග් එක ඔඩොක්කුවේ තබා ගෙන සිප් එක ඇර, සේෆ්ටිය පහළට දමා තුවක්කුව අතට රැගෙන හේරත් සමඟ මෝටර් සයිකලයෙන් පැමිණ විජය කුමාරතුංග නැවතී සිටි ස්ථානයට යාර 20කට පමණ දුරින් පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ ඔහුගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොළ දමා නවන ලද ෆයිල් එකක් තිබුණා. ඔහු නැවතී එතන සිටි අයෙක් සමඟ කථා කරමින් සිටියා. මා බයිසිකලයේ උඩ නැවතී සිට ටී 56 රයිෆලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක් තිබ්බා. ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට විජය කුමාරතුංග වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතනට ගොස් ඔහුගේ ඔළුවට වෙඩි කිහිපයක් තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කථා කරමින් සිටි පුද්ගලයා ගේ පැත්තට දුවන්න වුණා. මා ඔහුට ද, වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ බඩල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටු පස එක්කෙනෙක් සිටියා. මා එ් පැත්තට වෙඩි තිබ්බා’   


විජය කුමාරතුංග වැනි සමනළයෙකුගේ ජීවිතය විනාශ කිරීමට තරම් සැහැසි වූ පාපතරයන් මෙරටට හඳුන්වා දුන් ඝාතන සංස්කෘතිය අවසන් වූයේ 30,000ක් පමණ තරුණයන් මරණයට පත්වීමෙනි. එක තුවක්කු පහරකින් විජය මරා දැමීමට හැකි වූව ද, ඔහුගේ ගුණ සුවඳ සහ ඔහු පිළිබඳ මතකයන් අපගේ ජීවිතයෙන් ඈත්වන තුරු ඔහු ජන හදවත්වලින් මරා දැමිය නොහැක. ජනතාවගේ ආදරය වෙඩි පහරින් විනාශ කළ නොහැක. විජය තවමත් අප අතර, ජීවත්වන්නේ මේ හෙයිනි. එසේම, ඔහු මිතුරු එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් මිනිසුන් මුහුණු පොතේ පිටු අැරගෙන ප්‍රිය සටහන් තබන්නේ මේ නිසාමය.   

 

 

 

 

 

ලියන්නේ 
හේමන්ත වර්ණකුලසූරිය