ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බහී


පසුගිය මාස කිහිපය තුළ රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමත් සමග සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල ජනතාවට දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබේ. සිය ප්‍රවාහන ගාස්තු, බේකරි නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල ප්‍රවාහන වියදම් ඉහළ යෑම් නිසා මිල ඉහළ යෑම පසුගිය මාස දෙක තුන ඇතුළත සිදු විය. 


කෙසේ වුවද ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල දිනෙන් දින භාණ්ඩ මිල ගණන් ඉහළ යමින් පවතින වටපිටාවක ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබේ. ඉකුත් ඔක්තෝබර් 05 දින සිට ඔක්තෝබර් 26 දින දක්වා පසුගිය දින 21 ක කාල පරිච්ඡේදය සැලකීමේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.47 සිට ඩොලර් 76.77 දක්වා ද, ඔපෙක් බාස්කට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.09 සිට ඩොලර් 75.04 ක් දක්වා ද පහළ ගොස් ඇත. මේ අතර පිරිපහදු කරන ලද ඉන්ධන මිල ගණන් ද කැපී පෙනෙන ලෙසින් මෙම වකවානුව තුළ දී අඩුවී තිබේ. 


මෙහිදී සිංගප්පූරු වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 91.85 සිට ඩොලර් 79.10 දක්වා සියයට 13.88 කින් ද, ඩීසල් බැරලයක මිල ඩොලර් 98.44 සිට ඩොලර් 90.34 දක්වා සියයට 8.23 කින් ද, භූමිතෙල් බැරලයක මිල ඩොලර් 98.35 සිට ඩොලර් 91.78 ක් දක්වා සියයට 6.68 කින් ද පහළ ගොස් තිබේ. 


මේ තත්ත්වය තුළ ඉන්ධන මිල ගණන් අඩුවනු ඇතැයි සාමාන්‍ය ජනතාව අපේක්ෂා කරමින් සිටිති. මේ අතරේ ශ්‍රී ලංකාව ද තමන්ට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය සඳහා දැවැන්ත මුදල් සම්භාරයක් වැය කරමින් සිටී. 


මේ අතරතුරේ ලංකා අයි.ඕ.සී සමාගම ඉකුත් සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙම කාර්තුව තුළ දී රුපියල් මිලියන 207.31 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා අයි.ඕ.සී සමත් වී තිබේ. 2017 වසරේ සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 176.9 ක අලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක, එම සමාගම මේ ආකාරයෙන් සුවිශේෂී ලාභ අගයක් වාර්තා කර තිබීම කැපී පෙනේ. තව ද සැප්තැම්බර් 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 453.17 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා අයි.ඕ.සී සමාගමට හැකියාව ලැබී ඇත. 


පසුගිය මැයි 10 වැනිදා සිට ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය යොදා ගැනුණු අතර වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින් අලාභදායී තත්ත්වයක පැවති සිය ව්‍යාපාර ඉහළ ලාභදායී තත්ත්වයකට විතැන් කර ගැනීමට ලංකා අයි.ඕ.සී සමාගමට අවස්ථාව උදා වූ බවය. 


කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින ඉන්ධන මිලෙහි ප්‍රතිලාභය ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවට නොලැබීම පිළිබඳවත්, ඉන්ධන මිල අඩු කරන්නේ නම් එය සිදු කළ යුත්තේ කවර ආකාරයෙන්ද යන්න ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ‘ඉරිදා ලංකාදීප’යට මෙසේ අදහස් දැක්වීය. 


“ඉකුත් අගෝස්තු මස මැද භාගයේ සිට දිගින් දිගටම ඉහළ යමින් තිබූ බොරතෙල් බැරලය ඔක්තෝබර් මස පළමු සතිය වන තෙක්ම නොවෙනස්ව ඉහළ මිල ගණන් යටතේ පැවතියා. සාමාන්‍යයෙන් ඩොලර් 70 ක් වූ බොරතෙල් බැරලයක් ඔක්තෝබර් 16 වන විට ඩොලර් 86 දක්වා ඉහළ මිල ගණනකට අලෙවි වුණි. මේ ඉහළ යෑමට මූලිකම හේතුව වූයේ ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව පැනවූ සම්බාධකයි. මේ අතරතුර අමෙරිකාවට හිතවත් ලෙසින් ඔපෙක් සංවිධානය විසින් සැපයුම ඉහළ දැමීම සිදු කරනු ලැබුවා. මේ නිසාම ලෝක වෙළෙඳ පොළ තුළ තෙල් සැපයුම ඉහළ යෑම සිදුවූවා. ඔක්තෝබර් මාසයේ මුල් සතිය වන විට උපරිමයක් දක්වා මිල ගණන් ඉහළ ගිය බොරතෙල් බැරලය හේතුවෙන් එය පරිභෝජන ඉල්ලුම අඩුවීමට බලපාන ලදී. ඇත්ත වශයෙන්ම මේ වනවිට ලෝක ආර්ථිකයේද එක්තරා අර්බුදයක් පවතී. ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් ආර්ථික තත්ත්ව ඉතා හොඳින් පවතිද්දී විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික තත්ත්වය අඩාළ වීම, ආදායම් මට්ටම අඩුවී ඉල්ලුම මන්දගාමී වීම තෙල් ඉල්ලුම අඩු මට්ටමින් ප්‍රසාරණය වීම සිදුවිණි. මේ හේතුව, එනම් ඉල්ලුම අඩාළ වී සැපයුම වැඩිවීම හේතු කොට ගෙන ඔක්තෝබර් 16 වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 86 ක් දක්වා ඉහළ යෑම සිදු වූවා. ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සිදුවන අවස්ථාවක ශ්‍රී ලංකාවට ඉන්ධන මිල ගණන් අඩු වැඩිවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කරනු ලැබුවා. හඳුන්වා දී ඇති එම මිල සූත්‍රය අනුව කටයුතු කළහොත් ලංකාවේද ඉන්ධන මිල සැලකිය යුතු ලෙසින් අඩුවිය යුතුව තිබෙනවා. 


ඉන්ධන මිල මෙරට වෙළෙඳපොළ තුළ අඩුවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු වුවත් නොවැම්බර් මාසයේදී එම මිල ගණන් අඩුවීම එක්තරා මට්ටමකට සීමාවිය යුතුයි. ඊට හේතු වන්නේ මේ මොහොත වන විට ලංකාවේ රුපියල අවප්‍රමාණය වීමය. එම නිසා වේගයෙන් ඉන්ධන මිල පහළ යෑම සිදු නොවිය යුතුය. රටේ වර්තමානයේ සිදු වූ බලපෙරැළිය හමුවේ ඉහත සඳහන් කළ මිල සූත්‍රය අහෝසි කරන බව පැවසුවද, හඳුන්වා දුන් එම සූත්‍රය ඉතාම අශෝබන අාකාරයෙන් ඉකුත්දා මාධ්‍ය හමුවේ හඳුන්වා දුන් බව පැවසිය යුතුයි. ජනතාව මිල සූත්‍රයක් ඉල්ලා සිටියත්, ජනතාව බුද්ධිමත් භාවයෙන් අඩු පිරිසක් සේ සලකා එවකට සිටි අමාත්‍යවරුන් සහ බලධාරීන් විසින් එම සූත්‍රය හඳුන්වා දීම සිදුවූවා. ඔවුන් විසින් හඳුන්වා දිය යුතුව පැවතියේ තෙල් පිරිපහදුව සඳහා, ප්‍රවාහනය සඳහා, බෙදාහැරීමේ දී, තෙල් සඳහා බදු මුදල් අයකිරීමේදී ලීටරයකට කොපමණ මුදලක් වැය වුවාද, එවැනි වියදම් හමුවේ තෙල් ලීටරයක් කීයක් වන උපරිම මිලකට තීරණය වනවාද යන සරල අර්ථකථනයක් මහජනතාවට ඉදිරිපත් කිරීම මිස සමීකරණ ආකාරයෙන් ඉදිරිපත් කීරීම නොවෙයි. ඒ නිසා මේ මිල සූත්‍රය හඳුන්වා දීම අශෝබන ක්‍රියාවලියක්. එය මාධ්‍ය හමුවේ හඳුන්වා දෙමින් රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යවරයා සිනහවීම ජනතාවට කළ අවමානයක් මිස, ඉල්ලීම කළ නිසා දුන් දෙයක් නොවන බව සඳහන් කළ යුතුය. 


ඉදිරියේදී පවතින රජයක් විසින් කළ යුත්තේ මෙම ක්‍රියාවලිය ඉතා සරල ආකාරයෙන් හඳුන්වා දීමයි. ඉන්ධන මිල අඩු වැඩිවීම සඳහා මෙවැනි ක්‍රමානුකූල මිල සූත්‍රය හඳුන්වා දුන් රටක් ලෙස අසල්වැසි ඉන්දියාව සැලකිය හැකියි. ඉන්දියාව 2013 වසරේ සිට මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර බොරතෙල් බැරලයක් නිෂ්පාදනය, පිරිපහදු කිරීමේ සිට මධ්‍යම හා ප්‍රාන්ත රජයන් යටතේ එය සාමන්‍ය වෙළෙඳපොළට නිකුත්වීම දක්වා සිදුවන ආකාරය ගැන සරල ක්‍රමවේදයකට අනුව එරට ජනතාව වෙත ඉදිරිපත් කිරීම සිදුවනවා. 
මෙවැනි අඩු ලුහුඬුකම් සකසා ගනිමින් තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ දැමීම අපේක්ෂා කරන තත්ත්වයක් පැවතියද, එය මේ අවස්ථාවේදී ඕනෑවට වඩා පහළ දැමීම සිදු නොවියයුත්තක් වන්නේ මන්ද ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම හේතු කොට ගෙනය. එබැවින් මිල ගණන් අඩු කිරීම හරහා ඉන්ධන භාවිතය දිරිගැන්වීම සිදු නොකළ යුත්තක්. මිල අඩුවීම පාරිභෝගික ජනතාවට වාසි වුවද මෙම තත්ත්වය යටතේ ආනයන දිරිමත් නොකළ යුතුයි. එය වෙනත් සහනාධාර ලබාදීම තුළින් පාරිභෝගිකයාට සහන සැලසීම කළ යුත්තක් වේ. මෙම ගැටලුව උදාහරණයකින් පැවසුවහොත් යම් කිසි රෝගයකින් පීඩා විඳින්නෙකු හට තවත් රෝග කිහිපයක් එකවර වැළඳුණ විට වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කරනා ආකාරයෙන් ඉතාම සීරුමාරුවෙන් කළ යුතු දෙයකි. රුපියල අවප්‍රමාණය වීම තෙල් පමණක් නොව අනෙක් භාණ්ඩ මිල ඉහළ යෑමට හේතුවේ. ඒ නිසාම අවසානයේ තෙල් මිලේ වාසිය පළ රහිත දෙයක් බවට පත්වනු ඇත. මේ නිසා තෙල් මිල ශීඝ්‍රයෙන් අඩු නොකර යම් කිසි මට්ටමකට අඩු කරමින් පිටට ආනයන සීමා කළ යුතු වේ. විශේෂයෙන්ම තෙල් නොවන මූලාශ්‍ර හරහා විවිධ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් අඩු කිරීම් සිදු කළ යුතුවේ. තෙල් මිලේ වාසිය ජනතාවට ලබා දීමට ගොස් රුපියල අවප්‍රමාණය නොකිරීමට රජය වගබලා ගතයුතුයි. මේ වන විට රුපියල ගෙවුණ සතියේ අඛණ්ඩව අවප්‍රමාණය වූ අතර ඒ අනුව ඇමෙරිකා ඩොලරයේ අගය රුපියල් 176.25 දක්වා ඉහළ යෑම සිදු වූවා. මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතුවූයේ පසුගිය මාස කිහිපයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන ගැටලු සහගත තත්ත්වයන් නිසාය. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීම සඳහා පැවති කාල සීමා සංශෝධන, වාහන ආනයන දිරි ගැන්වීම ආදී කාරණාද මෙයට බලපෑවා. ඩොලරය හමුවේ රුපියල කඩා වැටීම අවම කිරීමට මුදල් ඇමැතිවරයා ඇතුළු පිරිස් නිසි තීන්දු තීරණ නොගන්නා අවස්ථාවක ඉතාම සුළු පිරිසක් වැඩිපුර ඩොලර් ලක්ෂ ගණනින් හුවමාරු කර ගනු ලැබුවා. එසේම රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය හමුවේ අපේ විදෙස්ගත ශ්‍රමිකයින් පවා මෙරටට මුදල් එවීමේ යම් අඩුවක් දක්නට ලැබුණා. ශ්‍රී ලංකා මහබැංකුව විසින් බොහෝ දේ කළ යුතු වුවත් ඔවුන් පවා කිසිදු සාර්ථක පියවරක් ගනු ලැබුවේ නැත. 


එැබැවින් බිහිවූ අලුත් ආණ්ඩුව විසින් යහපාලන රජයෙන් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ලබා දුන් පඩි වැඩි කිරීම්, තීරුබදු රහිත රථවාහන ගෙන්වීමේ පහසුකම් ආදී සහන නොහොත් කෙටි කාලීන සහනයන් ලබා නොදීමට වගබලා ගත යුතුය. පවතින මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පවතින රජයක් විසින් කළ යුත්තේ පොලී අනුපාත ඉහළ දැමීමය. ඉහළ දමන පොලී අනුපාතයන් හේතුවෙන් විදෙස් ආයෝජකයින්ද ධෛර්මත් කළ හැකි වේ. රජයේ තුරුම්පු අඩු වැඩි වශයෙන් භාවිත කළ යුතු වේ. අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය කළ යුතු බවද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් කීය. 


මිල සූත්‍රයට අනුව ඉකුත් මැයි 10 දින ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 137 ක් දක්වා ඉහළ නැංවුණු අතර අද වන විට එහි මිල රු. 155 කි.


 වර්තමානයේ ජනතාව පීඩාවට පත් කරන මේ ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බාර ගනිමින් ප්‍රකාශ කරනු ලැබීය. එමෙන්ම සෑම මසකම ඉන්ධන මිල වෙනස්වීම නිසා රටේ ආර්ථික කටයුතු අවිනිශ්චිත තත්ත්වයකට පත්වන බවත් එහිදී සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල තීරණය කිරීමේදී ජනතාවගේ එදිනෙදා ජීවන වියදම පිළිබඳව සැළකිලිමත් වන බවද අවධාරණය කර සිටියේය. 


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද ඉකුත් සතියේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ “ජනතාව මින්පසු යක්ෂයාගේ දිනයට භය වෙන්න ඕන නැහැ. යක්ෂයාගේ දිනය 10 වෙනිදා. යක්ෂයාගේ දිනයට භය වෙන්න එපා, තැති ගන්න එපා. මිල සූත්‍රය මීට පස්සේ මළ සූත්‍රයක් බවට පත්වේවි” යැයි මන්ත්‍රීවරයා මෙහිදී පැවැසීය. 
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය ඉකුත් මැයි 10 දින සිට ක්‍රියාවට නංවනු ලැබූ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය ඔක්තෝබර් 18 දින මේ සඳහා යොදාගනු ලබන ගණිතමය සූත්‍රය මුල් වරට හෙළි කර සිටියේය. කෙසේ වෙතත් මෙම මිල සූත්‍රය අනුව පසුගිය මාස තුන ඇතුළත ඉන්ධන මිල පාරිභෝගිකයාට දැනෙන ආකාරයෙන් අඩු නොවීම නිසා පාරිභෝගික සේවා රැසක් ඉහළ යෑමෙන් මතු වූ ප්‍රශ්න ගණනාව විසඳීම නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ බාරදූර වගකීමක් වේ.

 

 

 

සටහන - තිළිණි ද සිල්වා