රුව වනසන රූපලාවන්‍ය බෙහෙත් වෙළෙඳ පොළේ


ලස්සන වෙන්න, වයස නොපෙනෙන්න තරුණ විදිහට ඉන්න කවුරුද අකමැති? ඕනෑම කෙනෙක් රුව අලංකාරව තබා ගැනීමට බොහෝ කැමැතියි. තවත් සමහරු තිබෙන රුව තවත් ඔපවත් කර ගන්නට උත්සාහ කරති. ඒ සඳහා ස්ත්‍රී, පුරුෂ භේදයක් ද නැත.   


ස්ත්‍රිය රුව අලංකාරයට දැඩි කැමැත්තක් දැක්වූවද අද ඒ හා සමානව පෙරට වඩා පිරිමි පක්ෂයත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරති.   


හම එල්ලා වැටීම වළක්වන, අනවශ්‍ය මේදය ඉවත් කරන, සිරුරේ අනවශ්‍ය මේදයට ගැළපෙන ලෙසට තවත් තැනකට එන්නත් කරන සම පුරවන, ලප, කැළැල් ඉවත් කරන එන්නත්, සැත්කම් වර්තමානයේ බහුලව තිබේ. එනමුත් එහි මිල ගණන් ඉතා අධිකය. ඒ නිසා වැඩිදෙනා අවධානය යොමු කරන්නේ සිරුරේ මතුපිටින් ගල්වන ආලේපනවලටය.   


ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සම සුදු කර ගන්නා, පැහැපත් කර ගන්නා ආලේපන බොහොමයක් අපේ රටට පැමිණෙන්නේ විදේශ රටවලිනි. ඒවායේ කිසිදු ප්‍රමිතියක් නොමැත. මේවා හුවමාරුවන්නේ අතිනතය. ඒ මඟින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ද බොහෝය.   


ප්‍රමිතියෙන් තොර ආලේපන එන්නත් වැනි දෑ පාවිච්චියෙන් සම තාවකාලිකව පැහැපත් කරගත්ත ද මුහුණ, අඟපසඟ අලංකාර වුවද එමඟින් දිගු කාලීනව ඇතිවිය හැකි ගැටලු බොහෝය.   


විවිධ වෙළෙඳ සන්නාමවලින්යුත් සම පැහැපත් කිරීමට ගන්නා විවිධාකාර ආනයනික රූපලාවණ්‍ය නිෂ්‍පාදන වර්ග වර්තමානයේ දේශීය වෙළඳපොළ තුළ සුලබව දක්නට තිබේ. මේවායින් බහුතරයක නිෂ්පාදකයා හෝ බෙදාහරින්නා හෝ පිළිබඳ සඳහනක් නොමැති අතර මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැනට ලංකාව තුළ ආනයනික රූපලාවන්‍ය නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳ නියාමනය කරන විධිමත් නීති කෙටුම්පත් නොමැති වීමය.   


එහෙයින් මෙලෙස අවිධිමත් නීති පද්ධතියෙන් අයුතු ප්‍රයෝජන ලබා ගන්නා කූඨ ව්‍යාපාරිකයන් විසින් ආර්ථික වාසි ලබාගැනීම සඳහා ප්‍රමිතියෙන් බාල රූපලාවණ්‍ය නිෂ්පාදන දේශීය වෙළඳපොළට හඳුන්වා දී තිබේ. වෙළෙන්දාගේ රාජකාරිය පාරිභෝගිකයා කෙලෙස හෝ අන්දවා තම භාණ්ඩය අලෙවි කිරීමයි.   


මෙම ප්‍රමිතියෙන් බාල රූපලාවණ්‍ය නිෂ්පාදනවල මිනිසාට අහිතකර අධික විෂ සහිත බැර ලෝහයක් වන රසදිය අඩංගු වන බව සොයාගෙන ඇති අතර ලෝකයේ ප්‍රමුඛ පෙළේ ප්‍රමිති ආයතන මගින් අනුමත රසදිය ප්‍රමාණය වන 1 mg/kg (PPm) අභිබවා 30000 mg/kg (PPm) යන අධි මාත්‍රාවලින් රසදිය මේවාහි අඩංගු බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. 'Goree' යන වෙළඳ සන්නාමයෙන් වෙළඳ පොළෙහි ඇති සම පැහැපත් කිරීමට ගන්නා රූපලාවණ්‍ය නිෂ්පාදනයක මෙම රසදිය ප්‍රමාණය 9870mg/1kg (PPm) අඩංගු වන බව සොයාගෙන ඇති අතර එම නිෂ්‍පාදනය යුරෝපා සංගමය විසින් 2013 වර්ෂයේ සිට යුරෝපා වෙළඳපොළ තුළ තහනම් කරනු ලැබ ඇත.  


එමෙන්ම රසදිය අන්තර්ගත රූපලාවණ්‍ය නිෂ්‍පාදන භාවිතය නිසා හටගෙන ඇති මාරාන්තික රෝගී තත්ත්වය ද ඉහළ ගොස් ඇත.  

 

  1. මොළයට සිදුවන හානි නිසා ඇතිවන මානසික ව්‍යාකූලතා හා මතක ශක්තිය හීනවීම.
  2. මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා නිසා සිදුවන අතපය, මුඛය අවට ප්‍රදේශවල සිදුවන හිරිවැටීම්.  
  3. ඇසීමේ හා පෙනීමේ දුර්වලතා.  
  4. වකුගඩුවල සංකූලතා  
  5. ගර්භනී සමයේදී කලලයට හානි සිදුවීම.  


මවගේ ශරීරගත වූ රසදිය දරුවාට මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීම නිසා දරුවාගේ බුද්ධි වර්ධනය අඩාලවීම.  
වැනි අයහපත් ලෙඩ දුක් ද වකුගඩු හානිවීම්, අක්මාව, අස්ථී හානිවීම් හා පිළිකාවලට ගොදුරුවීමේ ඉඩකඩ ද බහුලයි.  
අවාසනාවට දේශීය වෙළෙඳපළ තුළ මෙම රූපලාවණ්‍ය නිෂ්‍පාදන සුලබව දක්නට ඇත. ශ්‍රී ලාංකේය ජන සමාජයේ කාන්තාවන් මෙම ඉරණමට ගොදුරු වෙමින් පවතින අතර නුදුරේදීම මෙහි ඵල විපාක මෙලොව එළිය දැකීමට සිටින බිලිඳුන්ට පවා අත්විඳීමට සිදුවනු ඇත.  


එම නිසා මේවා මිලදී ගැනීමට පෙර වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතා බැලිය යුතුය. මේ සියල්ල අප රටේ ලියාපදිංචි ආලේපන ද, කල්පැවැත්ම කෙසේද? යන්න රජයේ අනුමැතිය සියල්ල සොයා බැලිය යුතුය.  


මෙරට වෙළෙඳපොළ තුළ සුවඳ විලවුන් හෝ ආලේපන වර්ග හෝ අලෙවි විය යුත්තේ එක්තරා ප්‍රමිතියකටය. ඒ එහි අන්තර් ගත කළ යුතු ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය සහ රසායන සංයෝගවල නියමිත ආකාරයටය.  


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් විලවුන් නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කළයුතු ප්‍රමිතීන් ප්‍රකාශයට පත්කර ඇති අතර එම සම්මත බැමිවලින් බැහැරව සිදු කෙරෙනා නිෂ්පාදන සියල්ල ව්‍යාජ ඒවාය.  


ආලේපනවල ඇසුරුම ඒවා කුමන රසායනාගාර පර්යේෂණවලට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යොමු කළ යුතුද?

යන්න සොයා බැලීම සිදුවිය යුතුය.  


ක්‍රීම්, ශරීර ආලේපන, බොඩි ලෝෂන්, ස්කින් ටෝනර්, පවුඩර්, සම පිරිසිදු කාරක, මුහුණට යොදනා පැක් වර්ග, හිස වර්ණ ගන්වන ඩයි වර්ග, ඖෂධීය බාම් වර්ග, සම සුදු පැහැ කරන ආලේපන, ෆවුන්​ෙඩ්ෂන් ක්‍රීම්, මේකප් ඉවත් කරන ආලේපන, සමේ ඇති සිදුරු වැසීමට භාවිත කරන ජෙල් වර්ග, තොල් ආලේපන ඇතුළු මේ සියල්ල ගැනෙනුයේ විලවුන් යටතටය.  


පාරිභෝගිකයාගේ ඉල්ලුම මත වෙළඳපොළේ නිර්මාණයවී ඇති මේ සියලු ආලේපන වර්ග මෙරට වෙළඳපොළ තුළ දැනට ඇති ඒවාය.  


සම්මත නීතීන්ට අනුව රටේ පවතින නීතිරීති රෙගුලාසිවලට මෙම ආලේපන සියල්ලක්ම පාහේ නිර්මාණය වන අතර පාරිභෝගික ඉල්ලුම වැඩිම දේවල් සඳහා අද වනවිට ව්‍යාජ වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත.  


ඉන් ප්‍රධානම ව්‍යාජ නිෂ්‍පාදන බවට පත්ව අැත්තේ සම සුදු කරන ආලේපන වර්ගය. නිසි අනුමැතියකින් තම රුව අලංකාර කර ගැනීමට සිතුවහොත් අමාරුවේ නොවැටී සිටීමට ඔබට හැකිවනු ඇත.  


ඉම්පෝටඩ් ඔර්ජිනල් බඩු කියා ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ නාම යටතේ අඩු මුදලට විකුණන ආලේපන වර්ග බහුල නිසා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඔබේ වගකීමකි.  


පසුගිය කාලයේ ලස්සනවීමට ගොස් අසාත්මිකතා ඇතිවී මියගිය කිහිප දෙනෙක් ද වාර්තා විය. රුව රැක ගැනීමට දිවි පරදුවට තබමින් කටයුතු කරන බවද පෙනෙන්නට තිබේ.

 
මාධ්‍ය ඔස්සේ රටේ ජනප්‍රිය පුද්ගලයන් යොදවාගෙන ප්‍රචාරය කරන සමහර ආලේපන වෙළඳ දැන්වීම්වලට රැවටෙන පිරිස් ද අද බහුල වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් සම පැහැපත් වීමට, සුදුවීමට, කෙස් වැඩීමට ආදී වශයෙන් ප්‍රචාරය කරන සමහර ආලේපන, ක්‍රීම් වර්ග, මිනිස් සමට නොගැළපීම හේතුවෙන් ක්ෂණිකව හෝ ටික කලකින් හෝ දරුණු අතුරු ආබාධ හටගැනීමට හැකිය.

 
එම නිසා රුව සැකසීමේ දී සිදු කරන බාහිර මෙන්ම අභ්‍යන්තර ප්‍රතිකර්ම පිළිබඳව මේ ක්ෂේ‍ත්‍රයේ නියැලී සිටින වෛද්‍යවරුන් පවා සඳහන් කරන්නේ රුව රැකගැනීම සඳහා සිදු කරන ප්‍රතිකාර ඉතා ඉවසිල්ලෙන් හා පරෙස්සමින් කළ යුතු බවයි.  


වර්තමානයේ බොහෝ දෙනෙක් රූපලාවණ්‍ය යන වචනයට මුවාවී සිදු කරන දුරාචාරද නිමක් නැති අතර එය අද වනවිට අතමිට සරු ධනෝපායන මාර්ගයක් ද බවට ද පත්වී ඇත.  


අද වන විට නගරයේ පමණක් නොව ඈත ගම් දනවුවලත් අඩියෙන් අඩියට බියුටි සැලෝන් බිහිවී ඇතත් ඒවායේ ප්‍රමිතිය හා ප්‍රතිකාර කරන්නට ඇති සුදුසුකම පිළිබඳ සොයා බැලීමේ වගකීම ජනතාව නිසිසේ දරන බවක් ද පෙනෙන්නට නැත.  


ඈත අතීතයේ රුව රැක ගැනීම සඳහා යොදාගත්තේ ගස්වල කොළ, පොතු, මල්, ​ෙගඩි වැනි ස්වාභාවික ද්‍රව්‍ය සහ ස්වාභාවික ශාකසාර ආලේපනයි.  


එහෙත් අද ඒවා දියුණු තාක්ෂණික ක්‍රම මගින් වැඩි දියුණුවී තිබේ. එසේම අද රුව අලංකාරය සඳහා විවිධ කෘත්‍රීම ආලේපන වර්ග දස දහස් ගණන් ලෝකය පුරා භාවිත වේ.  


ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව අද වෙළඳපළේ හොර රහසේ අලෙවි වන ආලේපන කෙසේ මහජනයා අතට එනවාදැයි සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් නුදුරු අනාගතයේම අපේ රටේ ගැහැණු පිරිමි දෙපක්ෂයටම වැළැක්විය නොහැකි රෝගී තත්ත්වවලට මුහුණ දී සිතන්නවත් නොහැකි ලෙඩ රෝගවලට ගොදුරු විය හැක. වඩාත් වැදගත් වන්නේ බාහිරින් ලස්සනවීමට වඩා ඇතුළාන්තයෙන් ලස්සන වීමයි. එම නිසා බාහිර අලංකාරය ගැන සිතා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවා වෙනුවට බුද්ධිමත්ව සිතා තීරණ ගැනීම ඔබ සතුය.  


මේ පිළිබඳ ‘ඉරිදා ලංකාදීප’යට අදහස් දැක් වූ පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ජී.ආර්. අතපත්තු මහතා.  


පාරිභෝගික සේවා අධීකාරියෙන් මේ පිළිබඳ වැටලීම් කරනවා. නමුත් මෙරටට ආනයනය කරන ආලේපන සම්බන්ධව අපිට නෙමෙයි වගකීම තියෙන්නෙ. ඒවා රේගුවෙන් පරීක්ෂා කරලා එවන්නෙ.  


සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා සමහර ආලේපනවලට අනිවාර්්‍යයෙන්ම අනුමැතිය ගන්න කියලා. එවිට රේගුවෙන් අනුමැතිය යොමු කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට, එවිට ඒ වාර්තා අරගෙන තමයි ඒ ආලේපන නිෂ්පාදනයට අනුමැතිය ලැබෙන්නෙ.  


දේශීය ආලේපනත් පරීක්ෂා කරන්න යවනවා. ලංකාවෙ ඒවා කොහොමත් පාරිභෝගික අධිකාරිය විසින් පරීක්ෂණයට ලක් කෙරෙනවා. ආයුර්වේද ආලේපන නම් කොහොමත් ආයුර්වේදයේ නැතහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඒ විදිහට තමයි ඒ වාර්තාවලට අනුව නිෂ්‍පාදනය සඳහා අනුමැතිය ලබා දෙන්නෙ.  


සමහර ආලේපන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව කියලා බොරුවට නිෂ්‍පාදනය කර බෙදාහරින අය ඉන්නවා. ඒ වගේ චෝදනාවක් තිබුණොත් පාරිභෝගික සේවා අධිකාරිය ඒවාට සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා නොමඟ යැවීම යටතේ, සමහර ආලේපන රීපැකින් කරලා එවනවා. ඒවත් අපේ පැත්තෙන් අල්ලන්න හැකියාවක් තියෙනවා.  
ඒ වගේම වෙළඳපළේ නිෂ්පාදනය කරන ආලේපන කල් පැනලා, තොරතුරු වෙනස් කරලා, මකලා, මිනිස්සු නොමඟ යවන දේවල් සිදුකරලා තියෙනව නම් ඒ සඳහාත් අපේ පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත්වෙලා කටයුතු කරනවා.  
සාමාන්‍යයෙන් නිෂ්‍පාදන බෙදාහැරීමක් සම්බන්ධයෙන් තියෙන පොදු කොන්දේසිය තමයි නිෂ්‍පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, බැච් අංකය, බෙදාහරින පුද්ගලයකු ඉන්නව නම් ඔහුගේ විස්තර, ඒ සියල්ල තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මිල සඳහන් වීමත් අනිවාර්යය කරුණක්.  


පසුගිය කාලෙ අපි වැටලීම් කරලා තියෙනවා. චෙන්නායි කියලා නම, ලිපිනය යොදාගත් නිෂ්‍පාදනයක් ලංකාවෙ නිෂ්‍පාදනය කරන. ඒ වගේ නොමඟ යැවීම් සිදු වෙනවා.  


ඒ වගේම ලේබල් මාරු කිරීමත් සුලබව දකින්න තියෙන දෙයක්. බෙහෙත් ද්‍රව්‍ය ගොඩක් අහුවෙලා තියෙනවා. කල් ඉකුත් වුණු ක්‍රීම් වර්ග, කල් ඉකුත් වූ ආලේපනවල දින වෙනස් කිරීම ආදිය වැනි සිදුවීම් අපිට බොහොමයක් අල්ලගන්නට හැකිවෙලා තියෙනවා. ඒ නිසා පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නෙ රජයේ ආයතනයක අනුමැතියක් තියෙන ආලේපන අවශ්‍ය තොරතුරු බලලා මිල දී ගන්න කියලා. එය ඉතා වැදගත් වෙයි.   

 

 

 

 

සටහන 
ධනු විජේරත්න