රහ මෙරත් මස් ලොබත් පියසේනට මරු කැඳවයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  
 
 
අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.  
 
රහ මෙරත් මස් ලොබත් පියසේනට මරු කැඳවයි.  
 
 
දකුණු ලක එක්තරා ගමක විසූ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා මොහුය. ඔහුට පියසේන යැයි කියමු.  
 
පියසේන පාසල් අධ්‍යාපනය අතරමග නතර කරමින් ගෙදර නතර වූයේ ජීවන බර ගෙනයාම දෙමාපියන්ට පමණක් නොහැකි නිසාය. ඔහු රැකියාව ලෙස තෝරා ගත්තේ පෙදරේරු වෘත්තියයි.  
 
උපයන මුදලින් කොටසක් නිවසට දුන් පියසේන, ඉතිරි මුදලින් කා බී විනෝද වූයේය. තරුණ වියට එළැඹෙත්ම යාබද ගමකින් විවාහයක් කරගත් පියසේන කල්යත්ම දරුවන් සිවුදෙනෙකුගේ පියෙකු විය. ඒ පුතුන් දෙදෙනෙකු හා දූවරුන් දෙදෙනෙකු වශයෙනි.  
 
දිනපතා පෙද​රේරු වෘත්තියේ යෙදෙන පියසේන දිනපතා සවස ගෙදර එන්නේ ඇඟපත අමාරුවට යැයි කියමින් මත්පැන් මදක් බීලාය. දිනපතාම මත්පැන් බීම නිසා පියසේන බේබද්දකු විය.  
 
මත්පැනට ඇබ්බැහිවූ පියසේනට බයිට් වශයෙන් ද දිනපතා ආහාරයට ද මස් අවශ්‍ය විය. තමා මිලදී ගෙනෙන මස්වලට අමතරව නිවස පිහිටි වත්තට එන තලගොයකු හෝ ඇළට ගොස් ඉබ්බකු හෝ මරා මස්කර ආහාරයට සකසා ගැනීම පියසේනගේ පුරුද්දය.  
 
දිනක් ඔහු වැඩ ඇරී නිවසට පැමිණියේ කල් ඇතිවය. තිබෙන යමක් ආහාරයට ගැනීම සඳහා කෑම මේසයේ වට්ටිය ඇර බලන විට කටට රසට කිසිවක් නොවීය.  
 
මේවා කන්න බැහැ මට කියමින් පිහිය ගෙන මිදුලට බැස්ස පියසේනගේ නෙතට ගැටුණේ ගසේ ගැට ගසා සිටි සුරතලේට ඇතිකරන වඳුරාය. මතින්මත්ව මෙම සුරතලා අල්ලා බෙල්ල කපා මස්කර උයා කෑවේය.  
පියසේනගේ මේ අන්තගාමී ඇබ්බැහිකම් දිනෙන් දින වැඩිවිය.  
 
කොපමණ බීවත් වෙරිමර ගාතේ දිනපතා වැඩට යන පියසේන දිනක් වැඩ කරමින් සිටිනවිට ඉහළ සිට පලන්චියකින් බිමට වැටුණි. වහා එතැන සිටි අය රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කළත් ඇවිද යාමට නොහැකි විය. ඒ වැටීමෙන් කොන්දට (සුසුම්නාවට) හානි සිදුවීම නිසාය.  
 
පසුව නිවැසියන් කළේ පියසේන නිවසට ගෙන ගොස් ප්‍රතිකාර කිරීමය. ඉන්ද සුව නොවුණු පියසේන ඇඳටම වැටුණේය.  
 
පියසේනගේ රෝගී තත්ත්වය සුව නොවීමත් දිනපතා මත්පැන් හා මස් මාංශ නොලැබීමත් නිසා ඔහු කෑ මොර දෙන්නට විය. බිරිඳ මුල් කාලයේ උවටැන් කළත් මාස දෙකතුනකින් ඇය දරුවන් හා රෝගී ස්වාමියා හැර දමා ගියාය. පසුකාලයකදී ආරංචි වූයේ ඇය විදේශ රැකියාවකට ගොස් ඇති බවය. ඒ පවුලේ කාටත් නොකියා හොර රහසේය.  
 
පියසේනගේ දරුවන් සිව්දෙනාම මේ වනවිට ආවාහ විවාහ වී අවසන්ය. ගෙදර නතර වූයේ බාල පුතා හා ලේලිය. බිරිඳ හැරයාමෙන් පසු පියසේනට ඇප උපස්ථාන කළේ බාල පුතා හා ලේලිය.  
 
 
දැන් දැන් පියසේන මළ පහ කරන්නේද තම ඇඳ ළඟය. සමහර දිනවල කැත කුණු ගොඩේම දවස කල් ගෙවයි. කෑ ගැසීමේ අඩුවක්ද නැත. අපා දුකක් විඳිමින් පියසේන ජීවත් වේ.  
 
දිනක් නිවැසියන් කෑ ගැසීම නතර වී ඇත්තේ ඇයිද යන්න බලන විට පියසේන ඇඳ මතම ගෙල වැල දාගෙන මිය ගොස්ය. පියසේනට ඇඳෙන් නැගිටීමට ආධාරයක් ලෙස වහලේ ගැට ගසා තිබූ කඹය ගෙල වැළලාගැනීමට යොදා ගෙන ඇත.  
 
පියසේනගේ බේබදුකමත් පව්කාරකමත් නිසා වයස අවු. 50 දී පමණ අකාලයේ මෙලොවින් සමුගන්නට සිදුවිය.  
 

 

අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.  
 
මීයන්ට හා උගුඩුවන්ට අත්වූ ඉරණම ඇඩ්වින් මුදලාලිටත් අත්විය.  
 
 
කලකට පෙර අර්ධ නාගරික ගම්මානයක විසූ ඇඩ්වින් නම් ගැමියෙක් පොල් අතු මඩුවක් අටවාගෙන පලතුරු කඩයක් පටන් ගත්තේය. මුලදී ඔහුගේ ගෙවත්තේ තිබුණ කෙසෙල්කැන්, අඹ, දොඩම්, පේර, අන්නාසි, ගස්ලබු සහ ජම්බු යන පලතුරු යොදා සුළුවෙන් පටන්ගත් කඩේ සුළු කාලයකදීම පවුලේ නඩත්තුව ගෙනයාමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට තරම් දියුණු විය.  
 
ඉන්පසු ඔහු පොල්අතු මඩුව විශාල කොට පරණ ටකරන් අතුරා හොඳට ආවරණය කර සකස් කළේ පිළිවෙළකට පලතුරු තබාගැනීමට පුවක් කඳක් කපා තීරුවලට පලා පුවක් පටි වලින් බක්කියක් ද සාදාගත්තේය. ඒ කඩය විශාල කිරීමෙන් පසු තම වත්තෙන්ම ලැබුණු පලතුරු ප්‍රමාණවත් නොවීම නිසා සතියකට වරක් අවට ගම්වලට ගොස් අඩු මුදලට පලතුරු ගෙනවිත් විකිණීමෙන් තම ව්‍යාපාරය දියුණු කර ගත්තේය.  
 
නගරයෙන් රුපියල් සියයකට ගන්නා පලතුරු ගම්බදින් රුපියල් තිහක හතළිහක වැනි අඩු මුදලකට ගතහැකිවීම නිසා ඇඩ්වින් මුදලාලිට ලාබයකුත් තබාගෙන නගරයට වඩා අඩුමුදලකට පලතුරු විකිණීමටද හැකි විය. මේ හැර ගමේ නැති පලතුරු වර්ගද සුළු වශයෙන් නගරයෙන් ගෙනවිත් ඒවා අඩු ලාභයක් තබාගෙන විකිණීමට ඇඩ්වින් මුදලාලි කල්පනා කෙළේ ඒ සඳහා නගරයට යන ගැමියන් ද තම කඩයට ගෙන්වා ගැනීමේ අරමුණ මතය. බොහෝදුරට සාර්ථක විය. මේ නිසා අැඩ්වින් මුදලාලිගේ පලතුරු කඩය ගමේ පමණක් නොව නගරයේ ද ප්‍රසිද්ධ විය.  
 
මේ අතර මුදලාලිට නොසිතූ විදියේ කරදරයකට මුහුණ පෑමට සිදුවිය. කඩය වසා නිවසට ගිය පසු රාත්‍රී කාලයේ පලතුරු සුවඳට එන මී රංචුවක් දිනපතාම සෑහෙන ප්‍රමාණයක් පලතුරු කා දමන්නට පටන් ගත් බැවිනි. මේ නිසා දිනපතාම රුපියල් විසිපහක තිහක පලතුරු ඉවත දැමීමට ඇඩ්වින් මුදලාලිට සිදුවිය.  
 
එක් දිනක් උදයේ කඩය විවෘත කළ මුදලාලි මීයන් කා දමා තිබුන පලතුරු ඉවත් කරමින් සිටියේය. ඒ අවස්ථාවේ ඔහු පලතුරු ගෙන ඒමට යන අසල ගමෙක තරුණයෙක් කඩයට පැමිණියේය. මීයන් කාදමා තිබුණ පලතුරු එම තරුණයාට පෙන්නූ ඇඩ්වින් මුදලාලි මේ බලන්න ළමයෝ මී රංචුවක් බෝවෙලා හැමදාම මේ විදිහට පලතුරු කනවානේ. මට තියෙන්නෙත් සුළු ලාබයක්. මෙහෙම හැමදාම අහකදාන්න වුණොත් මට මේ කඩේ වහලා දාන්න තමයි වෙන්නේයි ඔහුට කීවේය.  
 
ඒ ඇසූ තරුණයා මුදලාලි මීයන්ට බයේ කඩේ වහන්න එපා. මගේ ළඟ තියෙනවා හොඳ බෙහෙතක්. මම හෙට ගෙනත් දෙන්නම්. දවස් දෙක තුනක් කඩේ වහන කොට කෙසෙල් ගෙඩි තුන හතරකට දාලා බක්කිය උඩින් තියන්නකෝ. ආයේ මීයෝ කඩේ පැත්තේ එනඑකක් නෑ යි කීවේය.  
 
එම තරුණයා පසු දින උදයේ බෙහෙත් කුඩු වර්ගයක් ඇඩ්වින් මුදලාලිට ගෙනවිත් දී ඒවා වතුර බෝතලයකට දියකොට පලතුරුවලට යොදා මීයන්ට තබන ආකාරයද පැහැදිලි කරදී ඉවත දමන පලතුරුද මල්ලකට පුරවාගෙන යන්නට ගියේය.  
 
එදින සවස කඩය වසන විට ඇඩ්වින් මුදලාලි එම බෙහෙත් යොදා මීයන්ට පලතුරු තමා නිවසට ගියේය. පසු දින කඩය විවෘත කොට බලන විට මීයන්ගෙන් වෙනදා තරම් හානියක් සිදුවී තිබුණේ නැත. දින දෙක තුනක් ඒ ආකාරයට බෙහෙත් යොදා පලතුරු තැබූ පසු ඇඩ්වින් මුදලාලිගේ කඩේට තිබූ මී උවදුර සම්පූර්ණයෙන්ම දුරු විය. 
 
ඉන්පසු ඇඩ්වින් මුදලාලි බෙහෙත් ගෙන දුන් තරුණයා සමග හිතවත් විය. ඒ අනුව ඔහු සතියකට වරක් දෙකක් පැමිණ විකිනීමට නොහැකිව ඉවත දමන පලතුරු එකතු කරගෙන ගිය අතර විටින් විට කඩයටද කෙසෙල්කැන්, අන්නාසි, පැපොල් ආදිය ගෙනවිත් දී මුදල් ලබාගෙන ගියේය.  
 
එක් දිනක් කඩයට කෙසෙල් කැනක් ගෙනවිත් දී මුදල් ලබාගත් ඔහු අැඩ්වින් මුදලාලිට කතා කොට මුදලාලි අරක්කු හෙම බොනවාද කියා ඇසුවේය.  
 
මම නම් බොනවා තමයි ඒත් හැමදාම නෑ. කලාතුරකින් ටවුමට ගියොත් එදාට කාලක් විතර බීලා එනවා එච්චරයි. මුදලාලී කීවේය.  
 
ඊලඟ සතියේ ඔහු කඩේට පලතුරු රැගෙන එන විට මුදලාලිට කසිප්පු බෝතලයක් ද ගෙනවිත්දී මුදලාලි මේක තියාගන්න මේවා එක එක ජරාව දාලා පෙරන ඒවා හෙම නෙවෙයි. මමම තමයි පෙරන්නේ. ඇත්තම කියනවා නම් පලතුරු ගෙනියන්නෙත් මේකටම තමයි කියා එදත් ඉවත දමන පලතුරු රැගෙන යන්නට ගියේය.  
 
එදින ඇඩ්වින් මුදලාලි කසිප්පු සුළු ප්‍රමාණයක් බී බෝතලය පලතුරු බක්කිය යට සඟවා තැබුවේය. සතියක් පමණ ගත විය. පලතුරු කඩයට තවත් වින්නැහියක් සිදුවන්නට පටන් ගත්තේය. රාත්‍රී කාලයේ සතෙකු පැමිණ කෙසෙල් ඇවරි පහ හයක්ද වෙනත් පලතුරුද විශාල වශයෙන් කාදමන්නට පටන් ගත් නිසා මීයන්ට දැමූ වස මේ සතාටත් හරියයිද දැනගැනීමට සිතූ ඇඩ්වින් මුදලාලි තම මිතුරා ඒවිදැයි බලා සිටියත් ඔහු එදින පැමිණියේ නැත.  
 
මේ නිසා කිසිම තීරණයක් ගැනීමට නොහැකිව සිටි ඇඩ්වින් මුදලාලි එදින සවස කසිප්පු බෝතලය ගෙන ඉන් අඩක් පමණ බී කල්පනා කළේය. හරි ගියත් නැතත් මේ සතාටත් ඒ වස බෙහෙත් දාලා බලනවා. කියා තීරණය කරගත්තේය.  
 
වස යොදා පලතුරු සකස් කළේය. ඒවා මීයන්ට තැබූ ආකාරයටම තැබුවේය. ඉන්පසු සඟවා තිබුණ කසිප්පු බෝතලය පලතුරු බක්කිය යටින් ගෙන ඉතිරිව තිබුණ කසිප්පු ප්‍රමාණයද සම්පූර්ණයෙන්ම බී කඩය වසා දමා ගෙදර ගියේය. ඔහුගේ සිරුරට මහත් අමුත්තක් දැනිණ. නිවසට ගොස් පුටුවකට ඇළවී සෙම පෙරාගෙන දඟලන්නට පටන් ගත්තේය. මුදලාලිගේ බිරිඳ අසල්වැසියන්ගේ ද සහායෙන් නගරයේ රෝහලට ඇඩ්වින් මුදලාලි ගෙන ගොස් පැය කීපයක් ගතවීමටත් පෙර මිය ගියේය.  
 
පසු දින උදයේ ඇඩ්වින් මුදලාලිගේ මරණය සම්බන්ධයෙන් කරන ලද පොලිස් පරික්ෂණයේදී දක්නට ලැබුණේ කඩය ඇතුළේ මැරී සිටි උගුඩුවන් දෙදෙනකුගේ මළකුණුත් පලතුරු බක්කිය යට තිබුණ ඉතිරි කසිප්පු බෝතලය හා වස පුරවා තිබුණ හිස් බෝතලයක්ය.  
 

 

ඉඳුරුවේ එම්.ඒ. පේමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.  
 
වවුලන් දෙපලු කළ කළුඅයියා උලක් උදරයේ ඇනී මරුමුවට  
 
 
දකුණු ප්‍රදේශයේ පොල් ගස් බහුලව ඇති නිසා මුහුදු තීරයේ රා මැදීම බහුලව කරනු ලබයි. කළු අයියා නමින් හඳුන්වූ තැනැත්තා ද මීට වසර තිහකට පමණ පෙර ගමක වෙරළාසන්නයේ අතුරු වලින් ගොස් රා මැදීම කළ අයෙකි.  
 
කළු අයියාට රා මදින ගස් අයිතිකරු මෙන්ම රා පානය කරන්නන්ද මහත් සේ ඇළුම් කරන්නේ වතුර කලවම් නොකර ඉතා හොඳ තත්ත්වයෙන් රා පානය කිරීමට දීමත් අඩු ගස් ප්‍රමාණයක් වැඩි රා ප්‍රමාණයක් ගන්නා නිසාත්ය.  
 
මොහුගේ අත්ගුණය කෙසේද යත් රා පිරුනු මුට්ටියේ අවිය අතගාන විට සිහින් වැලි කැට ඇඟිලි තුඩුවලට හසුවන නිසාය. මෙකල මෙන් එකල රා වැස්සෙන මුට්ටිය වැසීමට අංගෝපාංග තිබී නැත. පොල් ගසෙන්ම කපා ගන්නා මටුල්ලකින් මුට්ටිය වසන්නේ රාත්‍රියට එන වවුලන්ගෙන් රා ආරක්ෂා කර ගැනීමටය. එහෙත් රාත්‍රියට එන වවුලෝ හා බකමූණෝ ඇතිපදමට රා බී වල්මත් වී මුට්ටිය තුළ වැටී හෝ පොල් මල බදාගෙන සිටිති. මොහු දිනපතා උදේ හතට පමණ අතුරෙන් අතුරට යනවිට යෑමට නොහැකි වවුලන් බකමූණන් දහයකට පහළොවකට වැඩි ප්‍රමාණයක් හසුවේ.  
 
කළු අයියා කරනුයේ අත ඇති මදින මන්නයෙන් උන්ගේ සිරුර දෙකට කපා පරුෂ වචනයෙන් බැන වදින ගමන් පහළට විසි කිරීමයි. මොහුගේ සහයට පහළ සිටින අයත් ගස් අයිතිකරුත් මේ ක්‍රියාව නවත්වන ලෙස කීවද තඹයකට ගණන් නොගත් ‘කළු’ ඒ පව්කාරකමම කළේය.  
 
එහෙත් කළකම් මිහිපිට පලදෙන බව බුදු දහමේ සඳහන්ව ඇත. නොසිතූ පරිදි කළු අයියා අතුරෙන් අතුරට යන විට ඉහළ අතුර කඩාගෙන අඩි පනහක් පමණ උඩ සිට පහළට වැටී ඇත්තේ පහළ ඉන්දවා තිබූ ඇල්පීසියා ඉන්නක් මතටය.  
 
දෙකකුල් අතරින් කිඳා බැස උදරය ප්‍රදේශයෙන් මතු වූ ඉන්න ගැලවීමට විස්සක පමණ පිරිසක් එකතුව මහත් පරිශ්‍රමයක් දැරූ බව එකල සියැසින් දුටු දැනට වයෝවෘද්ධ ගැමියෝ පැවසූහ.  
 
පැය හයක් පමණ ජීවත්වූ ඔහු රෝහලේදී අවසන් හුස්ම හෙළා ඇත. කළු අයියා වෙනුවෙන් ඔහුට ඇලුම්කළ අය කවි පන්තියක් ද තැන් තැන්වල අලවා තිබූ බව පැරන්නන් කියූ අතර එය මෙසේ සඳහන් වේ.  
 
 
කළු වන් කළු රුවයි පොල් ගස්  මදින්නා  
මණ්ඩි නැතුව රා හොඳටම  බෙදන්නා  
වවුලන් දෙපලු කෙරුවත් අපේ  මදින්නා  
කුසලක් කළා නම් ඔබ නිවනට  යන්නා  
 
 
 
 
 
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.  
 
 
 
 
 
 
සකස් කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්