මව්පියන්ට නොසැලකූ පුතාට අත්වූ ඉරණම


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   
 
ඉලිප්පදෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවකි.   
 
 
තිතට මතේ ගී නොකියන්   
ගෙදර දොරේ කෑ නොගසන්   
තේගිරිසෝ නුඹ නාඩන්   
හොඳ පාඩම් ඉගෙන ගනින්   
 
රතු ගිනි බෝලයක් වැනි හිරු දෙවි බස්නාහිරෙන් බැස යද්දී නැගෙන හිර දිසාවෙන් නිලඹර තරු මල් වට කර සඳ මල පිබිදෙයි. ඒ පුර පෝ දිනයකි.   
 
ගමේ පන්සලේ හේවිසි හොරණෑ ඝංඨා නාදේ සතර’ත සිසාරා රැව් පිළිරැව් දේ. සුනිල ගොයම් කෙත් යාය උඩින් දිදුළන සෑ කොත් වහන්සේ සඳ රැසින් බැබළෙයි. අනේ හත් දෙයියනේ මේ පොහෝ දිනේවත් නිවී හැනහිල්ලේ පන්සල් ගිහින් බුදුන් නැමැඳ බණක් අසා ගන්ට ඇත්නම් කොතරම් අගේ දැයි සිතූ රන්තු හාමි නැන්දා ගෙමිදුල අබියස බුදු පහන් පැළේ පුද පූජා කටයුතු අවසානේ මහ හඬින් තෙවිටක් සාදුකාර දී පින් රැස් කිරීමෙහි යෙදුණේ පසුව තම දියණිය සමග පන්සලේ යන සැදෑ බැතිමත් චේතනාවෙනි. ඒ සඳහා දියණිය ද වට්ටියක් ගෙන මිදුල වටා ඇවිද මල් කඩද්දී සඳ එළියේ ගුරු පාර දිගේ තිතට මතේ වැනි වැනී එන පියාගේ සිංදුරාවය ඇසී අනේ අම්මා තාත්තා එනවා කියමින් එදෙස බලා සිටියාය.   
 
ගෙදර වත්ත ළං වෙද්දී පියාගේ සිංදු හඬ වැඩි විය. ඔහුගේ සිංදුව.   
 
ඉලුක් විලි ගාමේහී ඉලුක් විල ගාමේහි වසන්නේමි. බෝ සැපෙන් හොර මැර චණ්ඩි රා බොන බණ්ඩී මට්ටු කරන්නේමි. නැණ බලයෙන්.   
 
ගෙට ගොඩ වෙද්දී සිංදු හඬ නවතා දුවේ මේ වෙල් මාළු උරේ අරන් ගිහින් ඉක්මණින් කපා සෝදා බැදපන් කියා තේගිරිස් ඉනේ තිබූ කසිප්පු බෝතලේ ගෙන කට පුරා තව අඩියක් ගැසුවේය.   
 
අනේ තාත්තේ අද පෝය දවසේ පණ පිටින් මේ වෙල් මාළු කපන්න මට බැහැ.   
 
අම්මයි මමයි පන්සල් යන්නයි ඉන්නේ. එසේ කියමින් දියණිය ගෙතුළට දිව්වාය.   
 
ගතේ වෙරිය වැඩි වූ තේගිරිස් කුස්සියේ තිබූ මෝල් ගස ගෙනැවිත් මිදුලේ පහන් පැළට ගසා පොඩි මට්ටම් කරද්දී බිඳුණු වීදුරු කෑල්ලක් වැදී තේගිරිස්ගේ එකැසකින් ලේ ගලන්නට විය.   
 
ඔහුගේ විලාප හඬ ඇසී වට පිට අසල් වාසීන් පැමිණ තේගිරිස් රෝහල් ගත කෙරුණි. එ​ෙහත් ඇස සනීප කරන්ට නොහැකි වී තේගිරිස් සඳාකාලික එකැස් කණෙක් වූවේය. මොලොවදීම කළ කම් පළ දුන් හැටි​ එසේය.   
 

 

කුඩාබුත්ගමුව අංගොඩ එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කථාවකි.   
මව ගෙදරින් එළවා දැමු පුතුට අත් වූ ඉරණම.   
 
 
අගනුවරට නුදිරින් පිහිටි ප්‍රදේශයක වායස කළ අහිංසක තැනැත්තියක වන ඇය දෙදරු මවකි. එම දරුවන් දෙදෙනා කුඩා කලදීම පියා අහිමි වූ අතර ඉන් අඩුවක් නොවන සේ ඔවුන් රැක බාල ගනු ලැබුවේ එම මව විසිනි. ඒ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේය. තරුණ වියට එළැඹීමත් සමගම බාල පුතු විවාහ වූ අතර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියේය.   
ඔහුගේ කුළුඳුල් දරුවා රැක බලා ගැනීමේ කාර්යය ද මෙම මව විසින්ම ඉටු කරනු ලැබුවාය. එනමුත් නොයෙක් විට තම වැඩිමල් පුතු සොයා ගොස් ඔහුගේ සුව දුක් විමසා බැලීමට ද ඇය අමතක නොකළාය. මෙලෙස කාලය ගෙවී යමින් තිබියදී වැඩිමල් පුතුට රාජ්‍ය අංශයේ රැකියාවක් හිමි වූ අතර, එතෙක් පැවති ආර්ථික දුෂ්කරතා ආදිය එමගින් බොහෝ දුරට මඟ රහවා ගන්නට හැකියාව ලැබිණ.   
 
ටික කලකට පසුව හෙතෙම විවාහ දිවියට ඇතුළත් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එම විවාහයෙන් දියණියක් ලැබිණ. මෙලෙස කාලය ඉදිරියට ගලා ගිය අතර මෑණියන් එක් දිනක් පුතු හමුවීම පිණිස පැමිණියාය. ඒ වෙනදා මෙන් සුව දුක් සොයා බැලීමට නොව තම ජීවිතයේ ඉතිරි කෙටි කාලය ගත කිරීම සඳහා පුතුගේ රැකවරණය අපේක්ෂාවෙනි.   
එහෙත් හෙතම එය එක්වරම ප්‍රතික්ෂේප කළා පමණක් නොව නැවත තමන් හමු වීමට නොඑන්නැයි ද උස් හඬින් බැණ වැදුණි. ඉන් නොනැවතී වහා ඇය එළවා දැමුවාය. වැඩිමල් පුතුගේ මෙම අමානුෂික ක්‍රියාව දෙස ඔහුගේ බිරිඳ හා දියණිය ද අසරණ වී බලා සිටියේ ඒ අවස්ථාවේ තමනට කළ හැකි දෙයක් නොවූ බැවිනි.   
 
මෙම සිදු වීමෙන් පසුවත් මව කිහිප වරක්ම පුතුගේ පිහිට පතා පැමිණ අතර, ඒ කිසිවිටෙකත් ඔහුගේ අනුකම්පාව හිමි නොවීය. එහෙත් එහෙතම නොමැති අවස්ථාවන් බලා එහි පැමිණීමට මව පුරුදුව සිටියාය. එවිට යම් යම් අයුරින් උදව් කිරීමට ඔහුගේ බිරිඳ හා දියණිය මැළි නොවූහ. ටික කලක් ගත වූ අතර, දියණිය හදිසියේ විවාහ දිවියට ඇතුළත් වූවාය. ඒ ව්‍යාපාරික තරුණයෙකු සමගිනි. මෙය නොයෙක් දෙනාගේ විමතියට ද හේතු වූ කරුණක් විය. තවද දියණියගේ මෑණියෙන් හට ද නව නිවසෙහි රැඳී සිටීමට ඉඩ ලැබිණි.   
 
එහෙත් අනෙකා හට එම නිවසේ දොරගුළු විවර නොවීය. ඒ හෙතෙම අසත් පුරුෂ ගති පැවතුම් ඇත්තෙකු ලෙස සෙසු අය දැන සිටීම හේතුවෙනි. ඒ වන විට ඔහු එනම් වැඩිමල් පුතු රැකියාවෙන් විශ්‍රාම ලැබ සිටිය​ේය. තම බිරිඳ හා දියණිය ද නොමැතිව තනිව වාසය කිරීම ඔහුට දරාගත නොහැකි විය.   
 
කෙමෙන් කෙමෙන් එය සිතට වේදනා ගෙන දුන්නේය.   
 
එහෙයින් මහත් කනස්සල්ලෙන් යුතුව ගමන් මල්ලක් ද ඇතැතිව නිවෙසින් පිට වී ගියේය. පසුව නගරාසන්නයෙහි වූ බස් නැවතුම් පොළ තම වාසස්ථානය බවට පත් කර ගෙන සිටින අයුරු දැක ගත හැකි විය. මේ අයුරින් මාසයක් පමණ එහි ගත කළ හෙතෙම ඊට නුදුරින් පිහිටි විහාරස්ථානය වෙත යාමට සැරසුණි. ඒ සඳහා පියවර කිහිපයක් ඉදිරියට තැබුවා පමණි. එක් වරම බිම ඇඳ වැටුණු අතර, ඒ වන විටද ඔහු මිය ගොස් සිටියේය.   
 
 
තමන් දුක සේ හදා වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කර දුන් මවට සලකනවා වෙනුවට, අමානුෂික ලෙස ගෙදරින් එළවා දැමීමේ පාප කර්මය එම වැඩිමල් පුතුට පළ දුන් බවට කිසිඳු සැකයක් නැත.   
කිසිවෙකුට අත නොපා ඉන්නට හැකියාව තිබියදී ජීවිතයේ අවසන් කාල සීමාව තුළ දී කාගේවත් පිහිටක් නොලබා අනාථයෙකු ලෙස මහ මඟ මිය යන්නට සිදුවීමෙන් එය මනාව පැහැදිලි වන්නේය.   
 

 

අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.   
මව්පියන්ට නොසැලකූ පුතාට අත්වූ ඉරණම 
 
 
ගුනේරිස් ගම්බාර මහතා වත් පොහොසත් කමින් අනූනය. කුඹුරු අක්කර හත අටක් පොල් ඉඩම් අක්කර පහ හයක් ඔහු සතුව ඇති අතර හරක බාන බොහෝ විය. ඒවායින් ලද ආදායමින් ලොකු කොටසක් පිනට දහමට වැය කළේය. වසරකට සාංඝික දාන කීපයක් භික්ෂූන් වහන්සේ නිවසට වැඩවමා පිළිගන්වයි. ගමේ අසරණ නැති බැරි අයට පිහිට වෙයි. ගමේ පාසලේ ක්‍රීඩා පිටිය සඳහා අක්කරයක පමණ ඉඩමක් පරිත්‍යාග කළේය. පන්සලට ධාතු මන්දිරයක් සිය වියදමින් ඉදි කර වූ හෙතෙම එහි ශෛලමය පුවරුවේ සිය නම සඳහන් කරනවාට එරෙහි විය. බිරිඳ සමග පසළොස්වක් පෝයට සිල් සමාදන් වෙයි. මේ කටයුතු නිසා ගුනේරිස් ගම්බර මහතා දානපතියෙක් සාධාරණ මිනිසෙක් මෙන්ම ධාර්මිකයෙක් වශයෙන් ප්‍රසිද්ධ විය.   
 
​ෙම් ආකාරයට වතු පිටි දේපොළ, ගුණ නාම කොතෙක් වුවද, එක් අඩුපාඩුවක් නිසා දෙමහල්ලන් පසු වූයේ බලවත් චිත්ත පීඩාවකිනි. එනම් මැදි වයසද ඉක්ම යාමට ආසන්න වුවද දරු සුරතල් බැලීමේ වාසනාව දෛවය විසින් හිමි කර නොතිබීමය. එය පෙර කරන ලද අකුසලයක ඵලයකැයි හිත රවටා ගත්තද අනුන්ගේ දරුවෙකු ගෙන හදා වඩා ගැනීමේ සිත පෙරට ආවේය. බොහෝ වෙහෙස වූ ඔවුනට දුර පළාතකින් වයස මාස කීපයක් වූ පිරිමි දරුවෙකු සොයා දීමට දෛවය කාරුණික විය. සුව පහසුකම් නොඅඩුව ලබා දෙමින් තත්‍ය පුත්‍ර ස්නේහයෙන් දරුවා රැක බලා ගත් මෙම දෙමහල්ලන් ඉන් ලද ප්‍රමෝදය ප්‍රබෝධය ඉමහත්ය. තම නාමය සහිතව සිරිපාල යනුවෙන් නම් තබා නීත්‍යානුකූල බව තහවුරු කරවා ගත්තේය.   
 
දරුවාට වයස අවුරුදු එක හමාරක් පමණ වන විට, දෛවය තවත් භාග්‍යයක් ඔවුනට තිළිණ කළේය. එනම් ගම්බාර බිරිය සිය කුසයෙන් පුතෙකු බිහි කිරීමය. ඒ දරුවාට සිරිසේන යැයි නම් තැබීය. නියම මාතෘ පීතෘ ප්‍රේමයෙන් දරු දෙදෙනාම ඇති දැඩි කළහ. පාසල් යවා නිසි අධ්‍යාපනයක් ලබා දීමට පියවර ගත්ත ද එය සාර්ථක නොවීය. මව්පියන් වියපත්ව ගත සවි හෙයින් පාසල් ගමන නිමා කළ සිරිපාල පියාගේ වතු පිටි බලා කියා ගැනීමට නිතැනින් යොමු විය. පාසල් නොයන සිරිසේනගෙන් ඊට සහායක් නොලැබුණි. ගමේ රස්තියාදු රංචුවට එක් වූ ඔහු පියා සතු ධනය නැති භංග කරන්නෙක් බවට පත් විය. වතු පිටි වල වැඩ කිරීමට සිරිපාල කතා කළ ද ඔයා කරන යමර වැඩ මට කරන්න බැහැ කියා මඟ හැර යයි. දේපොළ ප්‍රශ්නයක් මතු කරගෙන පියා සමග අරගලයක් ඇති කර ගත් සිරිසේන කවද හරි ඔය දෙන්නට සිරිපාල නිසා පාරට බහින්න වෙනවා යැයි වැඩිමහල් සොහොයුරාට චෝදනා කළේය. මතු දිනක එළඹිය හැකි අනතුරක සේයා දුටු ගම්බාර තෙමේ දෙපුතුණුවන්ට දේපොළ සමසේ බෙදා වෙන් කර දුන්නේය.   
 
තමාට හිමි වූ ඉඩමේ නිවසක් ඉදි කර වූ සිරිපාල මව් පිය දෙදෙනා ද එහි කැඳවා ගෙන ගියේය. මහ ගෙදර හිමි වූ සිරිසේන අසල ගමක තරුණියක් බිරිය ලෙස කැඳවා ගත්තේය. මේ වන විට සිරිපාල මොවුන් තමන්ගේ නියම මව්පියන් නොවන බව දැන සිටිය ද, ඒ බව නොසලකා සැබෑ මව්පියන් සේ උවටැන් කළේය. විවාහයක් කර ගන්නා ලෙස කීපවිටක්ම මව්පියන් කීවද එය කල් දැමූ සිරිපාල තම දින චරියාව සකස් කර ගත්තේ මව්පිය සැලකීමට ප්‍රමුඛතාවය දෙමිනි. උදේම නැගිට තේ පිළියෙළ කර දෙන ඔහු ඉන් පසු උදේ හා දවල් ආහාරය සකසයි. පියාගේ රැවුල බා දිය නාවා මවට නෑමට දිය උණු කර දී නාවයි. රෙදි සෝදා දෙයි. උදේ ආහාරය බෙදා දී කෑමෙන් පසු වතු පිටි වල වැඩට යයි. දවල්ට පැමිණ ආහාර බෙදා දෙයි. උදේට හවසට බෙහෙත් ළං කර පානය කිරීමට සලස්වයි.   
 
සිය මව්පියන්ට සිරිපාල මෙසේ සැලකුව ද සිරිසේන හෝ බිරිය ඊට කිසිඳු සහයෝගයක් නොදෙයි. කාලයක් ඇවෑමෙන් මව් පිය දෙදෙනා මිය පරලොව ගිය අතර සිරිසේනගේ අත මිට අගහිඟකම් ඇති විය. එවිට පිහිට වූයේ ද සිරිපාලය. සිරිසේන තම ඉඩ කඩම් නඩත්තු නොකිරීම නිසා ඉන් ලැබෙන ආදායමද හීන විය.   
 
මේ අතර සිරිසේන කරා රෝගාබාධ හමා එන්නට විය. දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් රෝහලේ ගත කරන කාලය දිගු වන්නට විය. කකුලෙන් ටික ටික ඉවත් කර අවසානයේ මුළු පාදයම ඉවත් කරනවා හැර අන් විකල්පයක් වෛද්‍යවරු සතු නොවීය. ඇඳට හා රෝද පුටුවට පමණක් සිරිසේනගේ ජීවිතය සීමා විය. සිය බිරින්ඳෑගෙන් සැලකීමක් වත් යහපත් වදනක් වත් නොලඳ සිරිසේනගේ ගත හා සිත වේදනාවෙන් වෙලා ගත්තේය. ඇය අන් පුරුෂයෙකු හා ඇයිහොඳයි කමක් පවත්වන බව සිරිසේනට ඉවෙන් මෙන් වැටහී තිබුණි. ඉවසා බැරිම තැන දිනක් මේ ගැන ප්‍රශ්න කළ විට යකින්නක සේ කිපුණු ඇය නොසරුප් වදනින් සිරිපාලට බැණ වැදුණාය.   
 
වසරක් පමණ මෙසේ දුක් පීඩා විඳි සිරිසේන දිනක් රාත්‍රියේ හදිසියේ අසනීප විය. සිරිපාල මැදිහත් වී රෝහල් ගත කෙරුණි.   
 
අවාසනාවක මහත. සිරිපාලගේ නෙත් ඉදිරියේම සිරිසේන සදහටම නෙත් පියා ගත්තේය.   
 
හැකියාව තිබියදී උවමනාවෙන්ම සිය මව්පියන්ට නොසැලකීමේ පාපය සිරිසේනට මෙලොව දීම ඵල දුන්නේ ඒ ආකාරයෙන්ය.   
 
 
 
 
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉදිරි ලංකාදීපයට යොමු කරන්න.
 
සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්