බන්ධනාගාර ඇතුළේ ජංගම දුරකතන සෙල්ලම්


 

මෙරට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය මෙන්ම, ජාත්‍යන්තර සබඳතා යහමින් පවත්වාගෙන යන දුරකථන මධ්‍යස්ථානය ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බවට මුලින්ම හෙළිකරනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.   


මෙම රහසිගත නීති විරෝ දුරකථන හුවමාරු මධ්‍යස්ථානයෙන් සෑම මසකට වරක් ඇමතුම් 3000ක් පමණ ලබා ගන්නා බවද ඒ සෑම ඇමතුමක් සඳහාම රුපියල් 2000 බැගින් ගෙවන බවට ද පොලිස් විශේෂ බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.   


​ෙම් අතර වැලිකඩ බන්ධනාගාරයේ මත් ද්‍රව්‍ය චෝදනා මත සිරදඬුවම් විඳින සිරකරුවකුට පිටතින් දුරකථන ඇමතුම් 300කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ද එම පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ ඉකුත්දාය.   
මේ වනවිට රටින් පලාගොස් සිටින ජාත්‍යන්තර මට්ටමේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල අපරාධකරුවන් සමඟ මෙම සිරකරුවන් දුරකථන සබඳතා පවත්වමින් බන්ධනාගාරය තුළ රිසි සේ මත් කුඩු ජාවාරම සිදුකර ඇතැයි ද සඳහන්ය.   


මේ අතර මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන ජීවිතාන්ත සිර දඬුවම් විඳින ‘සුසෙයි’ නමැත්තා සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සඳහන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකු සම්බන්ධයෙන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී. ඒ. ධනපාල මහතා පැවැසුවේ පසුගිය 25 දාය.   


ජාත්‍යන්තර මට්ටමේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මරණීය දඬුවම් නියම වී සිටින වෙලේ සුදා නමැත්තා එවකට රිමාන්ඩ් භාරයේ සිටියදී මුදල් ලබාගත් බවට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරින් 18 දෙනකු පිළිබඳ තොරතුරු රහස් පොලිසිය අනාවරණය කර තිබුණේ 2015 වසරේදීය. ඒ වෙලේ සුදාට මරණ දඬුවම නියම කරමිනි. ජේලර් සැරයන් හා නියාමක තනතුරේ එම නිලධාරින් වෙළේ සුදාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ ගණනක මුදලද ඒ සමඟම සටහන් වී තිබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳ කළු පැල්ලමක්ද තබමිනි.   


ඒ සමඟම එම නිලධාරීන් 18 දෙනා වැඩ තහනමට ලක්ව මාස කීපයකට පසු විනය පරීක්ෂණයට යටත්ව නැවත සේවයට කැඳවනු ලැබ අදටත් සේවය කරන්නේද කිසිදු හා හූවක් නැතිවය.   


දැනට මාස 6 කට ආසන්නන කාලයක් තිස්සේ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි විධායක නිලධාරි කසුන් පලිසේන නමැත්තාගේ ‘එච්’ සිරවාට්ටුවෙන් අත්අඩංගුවට ගත් ජංගම දුරකථන දෙකක් හා සිම් කාඩ්පත් 5ක් පරීක්ෂා කළ රහස් පොලිසිය අනාවරණය කළ සිද්ධියත් සමඟම අර්ජුන් ඇලෝසියස් නමැත්තා පාතාලය හා සබඳතා පවත්වා ඇති බව හෙළි වූයේ ඉකුත් 19 දා අධිකරණයේදිය.   


වැලිකඩ කාන්තා අංශයේ සිරකාරියන් 121ක් පසුගියදා අධිකරණ ඇමැතිනියගේ නියෝගයකින් හදිසියේම අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයට මාරුකර වැඩි දිනක් නැත.   


ඒ සමඟම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් විසින් කාන්තා අංශයේ ‘වයි’ සිර වාට්ටුව හදිසියේ පරීක්ෂා කරනු ලැබුවේ ඉහළින් ලැබුණු නියෝගයකට අනුවය.   


එහිදී බිත්තිවල සඟවා තිබූ ජංගම දුරකථන 30ක්, බැටරි 100 ක්. චාජර් 20ක් සොයා ගැනුණේ එම ස්ථානය දුරකතන සාප්පුවක් බවට අනාවරණය කරමිනි.   


වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර, ත්‍රිත්වය තුළ පවතින ජංගම දුරකථන මගින් සිදුකරන මත්කුඩු ජාවාරම මේ වනවිට මුළු මහත් බන්ධනාගාර පද්ධතියම උඩු යටිකුරු කිරීමට සමත්ව ඇත්තේ එලෙසිනි.   
2010-2014 කාලය තුළ බන්ධනාගාර බුද්ධි අංශ වාර්තාවකට අනුව ජංගම දුරකතන 10,789ක්ද, මුදල් රුපියල් ලක්ෂ 17 1/2ක්ද සිම්පත් 5166ක්ද, හෙරොයින් ග්‍රෑම් 699.8ක්ද, හෙරොයින් පැකට් 4368ක්ද, ගංජා ග්‍රෑම් 1999.1ක්ද, ගංජා පැකට් 866ක්ද, චරස් ග්‍රෑම් 63.02ක්ද, චරස් පැකට් 58ක්ද, අත්අඩංගුවට ගෙන තිබුණේ කාගේත් නෙත් සිත් මවිතයට පත් කරමිනි.   


කෙසේ වෙතත් එදා මෙදා තුර බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන අත්අඩංගුවට ගන්නා තරමට වැඩි වන ජංගම දුරකථන භාවිතය අඩපණ කරන්නට හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් වජිර විසය ගුණවර්ධන මහතා 2011 වසරේදී ‘ජැමර්’ ක්‍රමය හඳුන්වා දුන්නේය.   


එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදා සංඥා බළකායේ මෙහෙයවීමෙන් රුපියල් ලක්ෂ 62ක වියදමක් දරා වැලිකඩ ඇතුළු බන්ධනාගාර ත්‍රිත්වය ආවරණය වන පරිදි ජැමර් යන්ත්‍ර සහිත කුලුනු 3ක් ඉදිවූයේ, බන්ධනාගාර තුළ රහසේ ක්‍රියත්මක වන ජංගම දුරකථන භාවිතයට තිත තබමිනි. 

 
එහෙත් අද වනවිටත් ජැමර් යන්ත්‍ර ක්‍රියාත්මක වුවද සිරකුටි තුළ හොර රහසේ ක්‍රියාත්මක වන ජංගම දුරකථන භාවිතයේ අඩුවක් නොවන බව මේ වනවිට බන්ධනාගාර තුළ සිට සිදු කෙරෙන මහා පරිමාණ මත් කුඩු ජාවාරම හා සංවිධානාත්මක අපරාධ රැල්ලේ තරම දකින විට පෙනෙන්නට ඇත.   


වැලිකඩ බන්ධනාගාර නිල නිවාස කාන්තා අංශය හා බන්ධනාගාර රෝහල් පරිශ්‍රය මෙන්ම වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව රජයේ මුද්‍රණාලය දෙසට වෙන්නට මෙම ජැමර් කුලුනු අදටත් ක්‍රියාත්මකයි.   
මෙම ජැමර් යන්ත්‍ර මගින් සිදුකරනුයේ කුඩා ජංගම දුරකථන ජාලයන් අවහිර කිරීම පමණක් බවට බන්ධනාගාර නිලධාරීහුද නොදන්නවා නොවේ. 


එහෙත් 3 ජී, 4 ජී, වර්ගයෙන් එහා නවීන තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකා පණිවුඩ පත හුවමාරු කරගත හැකි අන්තර් ජාල වීඩියෝ දුරකථන බන්ධනාගාර තුළ නැති තැනක් නැති තරම්ය.   


එක සිරකුටියකින් නවීන තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථන 10 ක් පමණ කිසිදු අපහසුතාවකින් තොරව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇත්තේද එබැවිනි.   


රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැයකලද ඉඳහිට ඒ අසළින් යන එන්නාවූ කුඩා ජංගම දුරකතන ක්‍රියාවිරහිත කිරීම හැර ජැමර් යන්ත්‍රවලට වෙන කළ හැකි දෙයක් නැත.   


ඊට පින් සිදු වෙන්නට සිරකුටිවල ජංගම දුරකථන ගජරාමෙට වැඩය. වයිබර්, ඉමෝ, වට්ස්අප්, එකසිය ගානට වැඩ කරන්නේද ජැමර් කුලුනු පෙනෙද්දීය.   


සමහර සම්බන්ධතා ජැමර්වලට හසුවන්නේම නැති බව දූෂිත නිලධාරීන්ද දන්නේ අද ඊයෙක නොවේ.   


හිරගෙවල්වල ජංගම දුරකතන, කුඩු, ගංජා, සිම්කාඩ්, බැටරි, චාජර් ඕනෑ තරම් ඇත. මේ අතර ඇපල් ​ෙෆා්න්ද නැත්තේ නොවේ. ඒත් මේවා එන්නේ කොහෙන් දැයි කවුරුත් අහන්නේත් නැත. සොයන්නේත් නැත. අත්අඩංගුවට ගැනීම්ද ඉවරයක් නැත.   


රුපියල් කෝටි ගණනින් මත් කුඩු ජාවාරම් හිරගෙදර සිට මෙහෙයවන බවට කතා අදටත් ඇසෙන්නේද මේ නිසාය.   


කොපමණ ජංගම දුරකථන හසුවුවත් ඒවා නැවත ඔවුන්ට මුදලට ලැබෙන බවටද කතා නැතුවාද නොවේ.   


පසුගියදා කුඩු සිද්ධි වැලිකඩ සිටියදී ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගත් බවක් වාර්තා විය.   


ඉඳහිට මහ පරිමාණ කුඩු ජාවාරමුන්ගේ වටිනා දුරකතන අත්අඩංගුවට ගන්නේ වැටලීම් කරන බව පෙනෙන්නට බවට නිලධාරිහුම චෝදනා කරති.   


හිරගෙදර කෝටිපති කුඩු ජාවාරමුන්ට වටිනා ජංගම දුරකතන සැපයෙන්නේ ඉහළින්ම බවටද චෝදනා ඇත.   


ඒත් මේවා ඔප්පු කරන්නට හෝ ඔප්පු කළ අවස්ථාවක් හෝ දැක ගන්නට නැත. ඒ වෙනුවට මෙම දූෂිත ක්‍රියාවනට සම්බන්ධ බන්ධනාගාර පොඩ්ඩන් රැසක්ම වැඩ තහනමට ලක්ව ඇත. අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථන රහස් පොලිසියට බාරදෙන බව කිව්වේ බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාය.   


මීට කලකට ඉහතදී වාර්ෂිකව එම දුරකතන සිම්පත් ඉවත්කර වෙන්දේසියේ විකුණූ නමුත් අද වනවිට ඒවාට සිදුවන දේ දන්නා කෙනෙක් නැත.   


බන්ධනාගාරවලින් දිනපතා අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථන පිළිබඳ වාර්තාවක් මූලස්ථානය වෙත එවිය යුතු වුවද දැන් ඒදේ සිදුකරන බවක්ද දැන ගන්නට නැත.   


වැලිකඩ කාන්තා අංශයේ පමණක් දිනකට ජංගම දුරකථන 300ක් පමණ ක්‍රියාත්මක වෙන බවට තොරතුරු ඇතත් ඒවා අල්ලන්නට බුද්ධි අංශ යන්නේද ඉඳහිටය. වනාතමුල්ල දෙසින් ජංගම දුරකථනත් කුඩු පාර්සල් හොයන්නට කෙනෙක්ද නැත. 

 
සෑම දිනකම මෙම අංශයෙන් අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථන නැවතත් යන්නේ සිර වාට්ටුවලට බවටද චෝදනා ඇත්තේ අද ඊයෙක නොවේ.   


අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථන ප්‍රමාණය පිළිබඳව නිවැරැදි තොරතුක් පිටතට නොදීමටද බන්ධනාගාර බලධාරින් පරස්සම් වෙන බවක්ද පෙනෙන්නට ඇත.   


ඒ ඉකුත්දා කාන්තා අංශයේ සිදුකළ වැටලීම තුළින් ජංගම දුරකථන 300ක් පමණ අත්අඩංගුවට ගත් බව දැන ගන්නට ඇතත් වාර්තා කෙළේ 30ක් පමණි.   


මෙදින කාන්තා අංශයේ ජංගම දුරකථන චාජ් කෙරෙන දවස බවද දැන ගන්නට ඇත. එබැවින් කාන්තා අංශයේ සඟවා තිබූ ජංගම දුරකථන සියල්ලම එදින චාජ් කරන්නට ගෙනැවිත් තිබූ බවටද තොරතුරු හෙළි කළේ කාන්තා සිරකාරියක විසිනි.   


මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගේ හා ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය පිහිටා ඇත්තේ එහි දෙවැනි මහලේය.   


ඇලෝසියස්ලාගේ ‘එච්’ වාට්ටුව ඇත්තේද ඒ කෙළින්ම ඊට පහළය. රාත්‍රි කාලයට ‘එච්’ වාට්ටුවට ඕනැම දෙයක් ගෙන යා හැකි බව කිව්වේ එහි ජේලර් වරයෙකි. 

 
වැලිකඩ බන්ධනාගාරය ඇතුලු බන්ධනාගාර ත්‍රිත්වයේම ජංගම දුරකතන ජාවාරම තරම් ලාභ උපදවන මාර්ගයක් තවත් නැත. සියල්ල සිදුවන්නේ ඊසි කෑෂ් ක්‍රමයටය.   


ඒ ඇතුලට ජංගම දුරකතනයක් ගෙන යන්නට පමණක් පුරුදු පුහුණු වූ දූෂිත නිලධාරින් අයකරන මුදල ගැන සිතන විටය.   


ඇතුලට ගෙන යන දුරකතනයක අවම මිල රුපියල් 25,000කි. ඇතුළේ අලෙවි වන මුදල රුපියල් 30,000කි.   


‘සුසෙයි’ නමැත්තාගේ ගෝලයකු වන මොහොමඩ් වාහිර් නමැත්තා රුපියල් කෝටි 125ක මත්කුඩු තොගයක් සමඟ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 7 වෙනිදාය. ඒ සුසෙයිගේ කුඩු ජාවාරම මෙහෙයවූයේ ඔහු නිසාය.   


ජීවිතාන්ත සිරදඬුවම් විඳින මොහු එතෙක් රඳවා ඇත්තේ ‘එල්’ වාට්ටුවේ තෙවැනි මහලේ ඈත කෙලවරේ සිරකුටියකය. ඔහුගේ ජංගම දුරකතනයත් හසුවන්නේද මෙහිදීය.   


‘වෙලේ සුදා’ චැපල් වාට්ටුවේ ‘සී 3’ සිර වාට්ටුවේ තනි සිරකුටියක වසර 3ක් තිස්සේ රඳවා ඇති බවද හෙළි වී තිබේ.   


මත් ද්‍රව්‍ය ජාවාරම් කරන සිරකරුවන් හා අනෙකුත් සිරකරුවන් වෙන් වෙන්ව තැබීමේ යෝජනාවක් මත සුසෙයි හා වෙලේ සුදා මේ වනවිට ‘වයිඩ්’ සිර වාට්ටුවේ අනිකුත් සිරකරුවන් හා රඳවා ඇති බව ඉකුත්දා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරිය වැලිකඩ කළ නිරීක්ෂණ චාරිකාවකදී ඒ බැව් දැක ගන්නට සලස්වා ඇත්තේ ඒ මොහොතේ පමණක් බවට සෙසු සිරකරුවෝ චෝදනා කරති.   


දැන් නැවතත් ඔවුන් දෙදෙනා සියලු පහසුකම් මැද වෙන් වෙන්ව සිරකුටි දෙකක රඳවා ඇති බව කියන්නේද එහි සිරකරුවන්ය. ජංගම දුරකතන හා මත් කුඩු ජාවාරම බන්ධනාගාරවල පවතින ‘මාෆියාවක්’ බවට පවතින තාක් කල් ඒවා නතර කරන්නට බැරිය.   


පාතාල අපරාධකරුවන් මත්කුඩු ජාවාරම්කරුවන් හා දේශපාලනඥයින් අතර පවතින ජාලය නතර නොවන තාක් කල් මෙම ව්‍යසනය බන්ධනාගාරවලින් තුරන් කරන්නට බැරිය.   


මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය දැඩි වෙහෙසක් ගන්නා බවද සැබෑය.   


ඇමැතිවරුන් ගණනාවක් යටතේ පැවැති බන්ධනාගාර පද්ධතිය කාන්තාවක යටතට පත්වූයේද ප්‍රථම වරටය.   


කුඩු නිසා පෝරකේට යන ලැයිස්තුවේ මුලටම සිටින්නේද කාන්තාවක වීම දෛවෝපගත සිද්ධියක් නොවන්නේ යැයි කාටනම් කිව හැකිද?   


ජනාධිපතිවරයා කිනම් මොහොතක හෝ ලබාදෙන තීන්දුවක් සමඟම මරණ දඬුවම් ලැයිස්තුවේ මුලටම සිටින ශ්‍යාමලී පෙරේරාගේ ඉරණම කෙබඳු වේද?   

 

 

 

 

ජයන්ත සමරකෝන්