බජාජ් සමාගමේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • පටන් ගත්තේ මීට වසර 97කට පෙරදීය
  • ජම්නාලාල් බජාජ් යනු නිදහස් සටනට උරදුන් චරිතයකි.
  • මහත්මා ගාන්ධිතුමා ජම්නාලාල් හට සැලකුවේ ඔහුගේම පුතෙකුට මෙනි.
  • ලෝකයේ සීනි නිෂ්පාදනය කරන සිව්වැනියාට විශාලතම සමාගම බජාජ් හින්දුන්ථාන් ලිමිටඩ්ය.
  • ගාන්ධිතුමාගේ අවිහිංසාවාදී ව්‍යාපාරයේ සගයකු වූ නිසා බජාජ් හට ඉංග්‍රීසි පාලකයන් යටතේ දෙවසරක් සිරබත් කෑමටද සිදුවිණි.

 

බජාජ් (Bajaj) යන නාමය ලාංකීය ජනතාවට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නාමයක් නොවෙයි. බජාජ් යන නාමය මෙරට බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ ත්‍රීරෝද රථ නිසාය. නැතහොත් මෝටර් සයිකල් නිසාය. ලෝකයේ ත්‍රීරෝද සහ ද්විත්ව හෙවත් රෝද දෙකේ රථ නිෂ්පාදනය කරන සමාගම් අතර ප්‍රමුඛව වැජඹෙන ආසියානු කලාපයේ එක් සමාගමක් ලෙස ඉන්දියාවේ මෙම බජාජ් සමාගම නම් කළ හැකිය.

වෙසෙසින්ම ලාංකීය ප්‍රජාවේ නගරාශ්‍රිත මෙන්ම ගැමි ජනතාව අතරද බජාජ් යන නාමය එක ලෙස ප්‍රකට වූවකි. කුලී රථයකින් ගමනක් යාමට අදහස් කරන බොහෝ දෙනා, අපි බජාජ් එකේ යමු! අපි ඔටෝ එකේ යමු! අපි ආටා එකේ යමු! යනුවෙන් කියන්නේ මෙම නාමයේ ත්‍රීරෝද රථවලටය. මේ විදියට බජාජ් එකේ ගමන් යන ඔබ බජාජ් හදන කම්පැනිය ගැන දැන සිටියේද? සමහර විට දන්නවා හෝ නොදන්නවා විය හැකිය. කෙසේ වෙතත් අද අප සූදානම් වෙන්නේ ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් ඉන්දියාවේ බජාජ් ගැන විස්තර කිරීමටය. එහෙම නම් කවුද මේ බජාජ් කියන්නේ? මුලින්ම අපි ඒ ගැන දැන දනිමු.   

 


ඉන්දියාවේ පැරණි සමාගමකි   


Bajaj ගෲප් හෙවත් බජාජ් සමූහය යනු, ඉන්දියාවේ ස්ථාපිත වූ පැරණි සමාගම් අතරට අයත් තවත් සමාගමකි. ඉන්දියාවේ මහාරාශ්ට ප්‍රාන්තයේ මුම්බායි නුවරදී (එවකට බොම්බේ) හිදී බජාජ් ආරම්භ වූයේ 1926 වසරේදීය. එවකට බොම්බේ ලෙස හැඳින්වූ වත්මනෙහි මුම්බායි නගරයට එදා මහා ආලෝකයක් ගෙනදුන් සමාගමක් වූයේ මෙම බජාජ් සමූහය යැයි සඳහන් වේ. බජාජ් සමූහය සමාගම් 34කින් පමණ සමන්විත වූ විශාල ආයතනයකි. බජාජ් ඔටෝ ලිමිටඩ් සහ බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් යනු මෙම සමූහය සතු සමාගම්ය. බජාජ් හින්දුන්ථාන් ලිමිටඩ් යනු වාර්තා පෙන්වා දෙන පරිදි සීනි නිෂ්පාදනය අතින් ලොව සිව්වැනි විශාලතම සමාගම වේ. එමෙන්ම ත්‍රීවීල් සහ මෝටර් සයිකල් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගම් අතරින් බජාජ් ඔටෝ සමාගම සිටින්නේ සිව්වැනි ස්ථානයේ බැව් සඳහන් වේ. 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විදුලි ආලෝක රටාවලින් වර්ණවත් වූයේ බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් සතු නිෂ්පාදනය වෙතිනි. බජාජ් සමූහයට විශාල වශයෙන් ආදායම් ලබා දෙන සමාගම් අතර ඉලෙක්ට්‍රිකල්ස්, ඔටෝ ෂුගර් (සීනි) සමාගම් මූලිකව වැජඹේ.   


බජාජ් පුරෝගාමියා ජම්නාලාල් බජාජ්   


මෙලෙසින් විස්තර කියැවෙන බජාජ් සමූහය බිහි කිරීමට පු​රෝගාමී වූයේ ‘ජම්නාලාල් බජාජ්’ නමැති චරිතයයි. ඔහු නමින් ඉන්දීය රජය එවකට සමරු මුද්දරයක් පවා නිකුත් කිරීමට කටයුතු කළේය. මහා භාරතයට ජම්නාලාල් බජාජ් යනු විශිෂ්ට චරිතයක් වීම ඊට හේතුව විය. වෙසෙසින්ම, මහත්මා ගාන්ධිතුමා සමග එක්ව ඉන්දීය නිදහස් සටනට උරදුන් තවත් එක් පුරෝගාමී චරිතයක් විය. ඉන්දියාවට ආවේනික කර්මාන්ත ශාලා ස්ථාපිත කරමින් ජනතාවට රැකියා ලබාදීමට කටයුතු කරමින් රට ස්වදේශීයව සංවර්ධනය කිරීම ඔහුගේ පරමාර්ථය විය. නිදහස සහ ස්වාධීනත්වය මෙන්ම ස්වදේශිකත්වය බෙහෙවින් ගරු කළ චරිතයක් ලෙසද ජම්නාලාල්ගේ නාමය හැඳින්වේ. මෙහෙව් වූ මේ භාරතීය මහා මිනිසා උපත ලැබුවේ 1889 රාජස්ථානයේ සිකාර්යට නුදුරු කෂිකා බස් හිදීය. ජම්නානාල්ගේ පරපුර යනු රාජස්ථානයේ වෙනමම ජනවාර්ගික කණ්ඩායමක් විය. මෙම ජන වර්ගයට වෙනමම භාෂාවක් මෙන්ම ඇවතුම් පැවතුම් සහ ඔවුනටම අනන්‍ය වූ සංස්කෘතිකයක්ද ඇතිවග සඳහන් වේ. මර්වාර් යනු ඔවුනගේ භාෂාව වේ. ඉන්දු ආර්යයන්වරුන්ගෙන් පැවැත එන ජනවර්ගයක් ලෙසද හැඳින්වේ. මෙම මර්වාර් ජනවර්ගය එවකට වඩාත් ප්‍රකට වූයේ ව්‍යාපාරික හා ව්‍යවාසයකත්ව ක්ෂේත්‍රයේ වඩාත් සාර්ථක වූ පරපුරක් ලෙසය. එය සනාත කරමින් ජීවිතය ජයගත් තවත් මර්වාර් පරපුරේ චරිතයක් ලෙස ‘ජම්නාලාල් බජාජ්’ නාමය සඳහන් කළ හැකිය.   


ජම්නාලාල් උපත ලැබුයේ කනිරාම් සහ බිර්දිබාල් යුවළගේ තෙවැනි දරුවා ලෙසය. එසේ උපන්න ඔහුගේ ජීවිතය ආලෝකවත් වූයේ පියාගේ පාර්ශ්වයෙන් ඥාතීන්ව සෙත් බච්රාජ් සහ සදීබායි බච්රාජ් යුවළ දරුකමට මේ ‘ජම්නාලාල්ව’ හදා වඩා ගැනීමට බාර ගත් පසුවය. සෙත් බච්රාජ් යනු එවකට රාජස්ථානයේ වැජඹුණු ප්‍රකට ව්‍යාපාරික චරිතයක් විය. රාජස්ථානයේ ‘වර්ධා’හි සිට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සිදුකර කර තිබේ. එදා මේ ‘බච්රාජ්’ යුවළ ජම්නාලාල්ව දරුකමට හදා වඩා ගත්තේ ඥාතීත්වයට එහා ගිය සබඳතාවයක් නිසා විය හැකිය. බච්රාජ් පවුල විසින් ජම්නාලාල් දරුකමට හදා වඩා ගැනීමට නීත්‍යානුකූලව බාර ගැනීමේදී ඔවුනගේ වාසගම වූ බජ්රාජ් (Bachraj) ජම්නාලාල් හට ලබාදී තිබිණි. බච්රාජ් යුවළගේ ආදරය සෙනෙහස යටතේ හැදී වැඩුණු ජම්නාලාල් කෙටි අධ්‍යාපන ගමනකින් පසුව සෘජුව අවතීර්ණ වූයේ බච්රාජ් පවුලේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙනි. සෙත් බච්රාජ්ගේ මරණයත් සමග භද්‍ර යෞවනයේ පසුව ජම්නාලාල් හට එලෙසින් ව්‍යාපාරික කටයුතු උදෙසා වඩාත් කැපවීමට සිදුවිණි.   


මර්වාර් පරපුරේ සිරිත්වලට අනුව හෝ සුළු පියාගේ අභාවය නිසා හෝ ජම්නාලාල් හට වයස අවුරුදු 12දීම විවාහ වීමට සිදුවූ බව වාර්තාවල සඳහන් වේ. ජෝර්හි වඩා ධනවත් ව්‍යාපාරික පවුලකගේ දියණියක සමග එලෙසින් විවාහ වූ බව සැලවේ. ඇය ජානකී දේවිය. ඇය අයත් වූයේද මර්වාර් පරපුරට වූ අතර ජම්නාලාල් සමග විවාහ කරවා ඇත්තේ ඇයගේ වයස අවුරුදු 8දීය. මර්වාර් ක්‍රමවේදයන්ට අනුව එලෙසින් විවාහය සිදුකර තිබේ. ජානකී කුඩා වයසේදී එලෙසින් මර්වාර් චාරිත්‍රවලට අනුව විවාහ වුවද සහජයෙන් උරුම කරගෙන ආ ශූර බුද්ධියක් ඇය සතුවිණි. ජම්නාලාල්ගේ ව්‍යාපාරික කටයුතු නගාසිටුවීමට ජානකීගේ ශක්තිය ධෛර්ය කැපවීම නොඅඩුව ලැබුණි.   

 

ජම්නාලාල් බජාජ් ගාන්ධි සමග

වයස 18ට පෙර කර්මාන්ත ශාලා ගණනාවක් ඇරඹීමට තරම් දක්ෂයකු වීම   


ජම්නාලාල් බච්රාජ් ව්‍යාපාරික කටයුතුවලට එළැඹි පසු වයස 18ට සපිරීමට පෙර ව්‍යාපාර ගණනාවක් බිහි කිරීමට තරම් දක්ෂයකු විය. බච්රාජ් පවුල බ්‍රිතාන්‍ය ප්‍රභූන් සමග සමීප සබඳතා පැවැතියද මේ ජම්නාලාල් නම් ඒ කිසිවක් මායිම් නොකළේ නිදහස් සටනට උරදී සිටි චරිතයක් වූ නිසාවෙනි. කෙටියෙන්ම කිවහොත් පළමු ලෝක යුද සමයේදී ජම්නාලාල් හට රායි බහදූර් යන පදවිය සහ ගෞරවනීය මහේස්ත්‍රාත් යන පදවිය මර්වාර් ප්‍රජාව විසින් ලබාදී තිබුණේ බ්‍රිතාන්‍යයත් සමග පැවැති වඩාත් සමීප සබඳතා නිසාමය. එහෙත් ඒ පදවි තානාන්තර, ගරු නම්බුනාම තුට්ට්ටුවකට මායිම් නොකළ හේ මහත්මා ගාන්ධි සමග එක්වී නිදහස් සටනේ පුරෝගාමී චරිතයක් ලෙස කටයුතු කිරීමට පටන් ගත්තේය.   


මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් වූ ජම්නාලාල් හට එවැනි දේ නිසාම අධිරාජ්‍යවාදීන්ගේ අණසකට යටත්ව සිරබත් කෑමට පවා සිදුවිණි. වසර දෙකක් සිරබත් කෑමට සිදුවූ ජම්නාලාල් ජීවිතයෙන් පලාගියේ නැහැ. මෙකී කාලයේදී එනම් ඔහු සිරගතව සිටි කාලයේදී ව්‍යාපාරික කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම වෙනුවෙන් බිරිඳ ජානකී දේවි මනා සේවයක් ඉටු කළාය. ජම්නාලාල් කොතරම් නම් ගාන්ධි හිතවතකු වීද යත් නිදහස් ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් කර ගැනීම උදෙසා බජාජ් සතුව වර්ධාවේ තිබූ අක්කර 20ක පමණ ඉඩමක් පවා පරිත්‍යාග කළේය. මහත්මා ගාන්ධි විසින් ජම්නාලාල් හට අන්වර්ථ නාමයක් ලබාදී තිබිණි.   


වෙළෙඳ කුමාරයා හෙවත් මර්චන්ට් ඔෆ් ප්‍රින්ස් යනු එම නාමය විය. එම පමණක්ද නොවූ අතර ‘මේ මගේ පස්වැනි පුත්‍රයා’ යැයි මහත්මා ගාන්ධිතුමා, ජම්නාලාල් හඳුන්වා තිබිණි. ගාන්ධිතුමාගේ පස්වැනි පුත්‍රයා ලෙස සැලකීම් ලද අතර ගාන්ධිට ජම්නාලාල් යනු නැතුවම බැරි චරිතයක් විය.   


එවකට තිබූ යටත් විජිත පාලනය නිසා කර්මාන්තකරුවකු ලෙස ඉන්දියාවේ නැගී සිටීම අතිශය දුෂ්කර කාර්යයක් විය. 1920 ගණන්වලදී නිදහස උදෙසා සටන් කරන අතරේ ඔහු නැගී සිටියේ සදාචාරාත්මක ව්‍යවසායකයකු ලෙසය. merchant of prince ලෙස මහත්මා ගාන්ධි ඔහුව නම් කළේ එනිසාමය. ගාන්ධිතුමා තත් විටෙක පවසා තිබුණේ ඔහුගේ නිදහස් සටනේ දියත් කළ කැපවීම ඔහු නැති කලෙක ‘ජම්නාලාල්’ ඉෂ්ට සිද්ධ කරනු ඇත කියාය. එතරම්ම වූ විශ්වාසනීයත්වයක් ගාන්ධිතුමා හට මේ ජම්නාලාල් කෙරෙහි තිබිණි.   
‘බජාජ්’ සමූහය බිහි කරමින් ඉන්දීය භූමියට එළියක් වූ ජම්නාලාල් විවිධ පුණ්‍යාධාර කටයුතු සඳහා උදව් දුන් චරිතයක් විය. ස්වකීය ජීවිත කාලයේදී දන්දීම, ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. තිලක් අනුස්මණ පදනම වෙනුවෙන් ඔහුගේ දානපතිත්වය යටතේ සුවිශාල කාර්ය බාරයක් ඉටුකර තිබේ. බජාජ් ජම්නාලාල් පදනම යටතේ කුල භේදයට එරෙහිව කතා කිරීම, ළමා අධ්‍යාපනයට සහයෝගය ලබාදීම, අන්තර්කුල විවාහ ආදිය ගැන පෙනී සිටීම සිදුවිය. එතෙක් මර්වාර් පරපුරේ අය වෙනමම වැඳුම් පිදුම් කළ ස්ථාන පවා තිබිණි. නමුත් ජම්නාලාල් ඒ බැමි කඩාගෙන ගොස් පහත් කුලයේ යැයි සැලකූ පිරිස්වලට පවා එම දේවස්ථානවලට ඒමට ඉඩ සලස්වා දුන්නේය.   


වයස 53යි කළ සේවය සිතාගත නොහැකි තරම්   


ජම්නාලාල් බච්රාජ් හෙවත්, බජාජ් යනු ජීවිතයට වඩා විශාල වූ චරිතයක් ලෙස හැඳින්වීම වඩාත් හොඳය. 1889 දී ඉපිද වයස අවුරුදු 53ක් වෙනවිට මහා භාරතයේ ඔහු තරුවක් වී සිටියේ සමාජ ක්‍රියාකාරිත්වයේ පුරෝගාමී වූ චරිතයක් මෙන්ම සමාජය නගා සිටුවීමට උරදුන් චරිතයක් සහ දේශපාලනික චරිතයක් මෙන්ම සදාචාරාත්මක වෙළෙඳ චරිතයක් ලෙසය. 1942 පෙබරවාරි 11 වැනි දින මේ මහා මිනිසා යළි නොඑන්නම ගියේ සදහටම ජීවිතයට සමුදීය. වර්ධා නිවසේදී අවසන් හුස්ම පොද වා තලයට මුසු කළේ මහා භාරතයට ණය නැති බර නැති මිනිසකු ලෙසය.  


ධනවතුන් පොදු යහපත උදෙසා ඔවුනගේ ධනයේ වගකීම දරමින් සිටියදී මේ මිනිසා වෙ​ෙළඳ කුමාරයකුම විය යනුවෙන් ජම්නාලාල්ගේ මරණින් පසුව මහත්මා ගාන්ධිතුමා විසින් සනිටුහන් කර තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට නතුව සිටි ඉන්දියාව නිල වශයෙන් නිදහස ලැබුවේ 1947 වසරේදීය. එදවස එනතෙක් ජම්නාලාල් බජාජ් ජීවත් වූයේ නම් ඔහු මොන තරම් නම් සතුටක් ලබාවිද. එහෙත් ඔහු හට ඒ වාසනාව නොලැබිණි. කෝටි සංඛ්‍යාත වූ මහා ජනකායගේ අනාගත සතුට උදෙසා ඔහුගේ සතුට සමාජ සුබ සිද්ධිය උදෙසාම කැප කළ ඔහු සැබැවින්ම භාරත දේශයෙන් ව්‍යාවසායකත්ව ලෝකයට දායාද වූ සත් ගුණවත් චරිතයක්ම විය.   


බැලූ බැල්මට බජාජ්   


1915 දී ජම්නාලාල්ගේ වැඩිමහල් පුත්‍රයා වූ නාමල්නායන් බජාජ් විසින් බජාජ් සමූහය නගා සිටුවීමට උරදී කටයුතු කළේ හොඳ අධ්‍යානයක් ලබා ගැනීමෙන් පසුවය. කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධිය ලද හේ නැවත ඉන්දියාවට පැමිණ පියාගේ ව්‍යාපාරය තත් පුළුල් කළේය. ස්කූටර්, ත්‍රීවීලර්, සිමෙන්ති, ඉලෙක්ට්‍රිකල්ස් යන විවිධ අංශ ව්‍යාප්ත කිරීමට ඔහු පුරෝගාමී චරිතයක් විය.   


ඔහුගේ මරණින් පසුව ජම්නාලාල්ගේ බාල පුතු වූ රාමක්‍රිෂ්ණා බජාජ් 1972 දී බජාජ්හි මුල් පුටුවට පත්විය. 1994 දී ඔහු මියගිය පසු ජම්නාලාල්ගේ මුණුපුරකු වන රාහුල් බජාජ් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත් කෙරිණි. හාවඩ් සරසවියේ උපාධිධරයකු වූ හේ දේශපාලන චරිතයක්ද වේ. බජාජ් පෙළපතේ දර්ශනය නොමරා ඊට ආලෝකයක් දෙමින් ව්‍යාපාර මෙහෙයවන මහත්මයකු ලෙස ඔහු සඳහන් වේ.   


බජාජ් බැලූ බැල්මට   


ආරම්භයේදී බච්රාජ් ලෙස හැඳින්වූ සමාගම පසුව බජාජ් ලෙස නම් විණි. 1960දී එය මහජන කොටස් නිකතුවෙන් යුතු සමූහයක් බවට පත්විය. බජාජ් ඔටෝ සමාගම යටතේ මුලින්ම හඳුන්වාදුන් රථය වූයේ වෙස්පා-150 (vespa) 150 ස්කූටරයයි. එය එදා බජාජ්ලා නිපදවූයේ ඉතාලියේ පියාජියෝ සමාගමේ බලපත්‍රලාභි නිෂ්පාදනයක් ලෙසය. නමුත් වඩාත් ප්‍රකට වූයේ චීටාක් (chetak) නමින් හඳුන්වා දුන් ස්කූටරය වේ. එය භාරතීය ජනතාවගේ පවුලේ වාහනය මෙන් විය. එය නම් කළේ රාජස්ථානයේ වීරයකු වූ ‘රානා ප්‍රතාප් සිං’ හට ගරු කිරීමක් වශයෙනි. බජාජ්ලා ප්‍රථම වරට මෝටර් සයිකලයක් හඳුන්වා දුන්නේ ජපානයේ කවසාකි සමාගමේ බලපත්‍රය යටතේ 1986 කවසාකි බජාජ් KB-100 නමිනි. එහි නිෂ්පාදනය ටික දිනකින් අත්හිටුවූයේ විමෝචනයෙහි වූ තාක්ෂණික ප්‍රශ්න නිසා පරිසරයට වෙන හානිය සැලකිල්ලට ගනිමින්ය.   


මෙලෙසින් වූ ‘බජාජ්’ යනු ඉන්දියාවේ ආර්ථික වාර්තා පෙන්වා දෙන පරිදි ඉන්දියාවේ ස්ථාපිත වූ වඩාත් විශ්වාසවන්ත ව්‍යාපාර අතරේ 12 වැනි ස්ථානයේ පසුවෙන සමූහ ව්‍යාපාරයකි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ