චෞර පුත්‍රයාගේ ඛේද‌ාන්තය


ජිවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

 

අකුරැස්ස, පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.  

පිං හරකා මරා මස් කළ සාපින්ගේ අවසානය එයම විය  


මීට බොහෝ කලකට පෙර ඈත දුෂ්කර ගම් දනව්වක දිවි ගෙවූවෙකි සාපින්. වර්තමානයේ ගව මස් අනුභවය පහත් පෙළේ ක්‍රියාවක් බවට සමාජගත වී ඇති අතර ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳ කතිකාවක් ද පවතී. අද වෙනවිට එවන් තත්ත්වයක් පැවැතිය ද අතීතයේදී නම් එය එසේ නොවීය. එවකට ගව මස් ඇතැම් දෙනා අතර ජනප්‍රිය ආහාරයක් බවට පත්ව තිබිණි.  


ඒ අනුව සාපින් ද ගව මසට බොහෝ සේ ලොල් වූවෙක් විය. දිනපතා නැතත් සතියකට දෙතුන් වතාවක්වත් ඔහුගේ කෑමට ගවමස් නැතිවම බැරි විය. ඔහුගේ මේ ​අබ්බැහිය නිසාම හොරෙන් හෝ ගවයෙකු මරා මස්කර ගැනීම ඔහුගේ පුරුද්දක් බවට පත් විය.  


රාත්‍රී කාලයේදී ගමේ හෝ අසල ගමකින් හෝ සොරකම් කරගන්නා ලද ගවයෙක් ගම කෙළවරෙහි ඇති වන ළැහැබට ගෙන ගොස් මරා මස්කර ගැනීම සාපින්ගේ අනිවාර්ය අංගයක් විය.     


එසේම සාපින් තරමක දඩබ්බර ගති ඇත්තෙකු ද වීම නිසාම ඔහු හා එරෙහි වීමට ද ගැමියෝ එතරම් කැමැත්තක් නොදැක්වූහ. මේ හේතු නිසාම සාපින් රිසි සේ අහිංසක ගවයන් මරා මස් කෑම පමණක් නොව හොර රහසේම විකිණීම ද ජයටම කරගෙන ගියේය.  


මේ අතර තුර ගමේ එක් ගැමියෙකුට ඇතිව තිබූ අපලයකින් මිදීමට ඔහුගේ බාරයක් ඔප්පු කිරීම සඳහා මරණයට කැප වූ ගවයෙකු මස් කඩයකින් නිදහස් කරගෙන ගමට ගෙනැවිත් පිනට හැර දමා තිබුණි. ගැමියන් මේ ගවයා හැඳින්වූයේ පිං හරකා නමිනි. මෙම ගවයා අනෙක් සතුන් මෙන් ගස් බැඳ නොතිබූ නිසා රිසි සේ ගම පුරා ඇවිදිමින් කා බී හැඩි දැඩි ගවයෙකු බවට පත් වීමට වැඩි දිනක් ගත නොවීය. තෙල් බේරෙන පුෂ්ටිමත් ගව නාම්බෙකු බවට පත්වූයේ බලා සිටියදීම වාගේය. ඒ නිසාම මේ පිං හරකා දකින බොහෝ ගැමියන් පැවසුවේ ‘වැඩි දවසක් යන්නට පෙර මේ අහිංසකයාත් සාපින්ගේ ගොදුරක් වෙනවාට කිසිදු සැකයක් නොමැති බවය.’  


සාපින්ට ද මේ පිං හරකා දකින විට කටට කෙළ උනන්නට වූයේ ඌ තරම් පුෂ්ටිමත්ව වැඩුණු පිරිපුන් ගවයෙක් මේ ගමේ තබා අහළ ගමකවත් නොවූ නිසාමය. එහෙත් සාපින් ද මේ ගවයාට කිසිවක් කිරීමට තරමක් පසුබට වූයේ සාමාන්‍ය ගවයකුට වඩා පිං හරකෙක් මැරීම බරපතළ දෙයක් බවට මතයක් ගමේ සෑම දෙනා තුළම පැවැති නිසාය.  
 ඒ හේතුව නිසාම පිං හරකාට තරමක ගැලවීමක් තිබිණ. එසේ වුවත් සාපින්ට මේ ගවයා දකින විට අත් හරින්නට හිත් දුන්නේම නැත. ගම පුරා ඇවිදිමින් උදේ, දවල්, රෑ හැම වෙලාවකම රිසි සේ තණ උලා කන මේ පිං හරකා ගැමියන්ට සුපුරුදු දසුනක් බවට පත්ව තිබිණ. එසේම ඌට ගමේ ලොකු කුඩා හැම කෙනෙකුගේම ආදරය නොමදවම ලැබුණි. ගමේ කුඩා දරුවන්ගේ සුරතලා බවට පත් වූයේ ද මේ පිං හරකාය.  


දිනක් හිටි හැටියේම මේ ගවයා දක්නට නොලැබීම ගමේ කාගේත් කුතුහලයට කරුණක් විය. හැකි හැම තැනකම සොයා බැලුවත් කිසිවකුටත් සොයාගත නොහැකි විය. ගවයාගේ මේ අතුරුදන් වීමට සාපින් සැක කළත් එක එල්ලේම ඔහුට ඇඟිල්ල දිගු කිරීමට තරම් සාක්ෂියක් කිසිවකුටත් නොවීය. ඒ නිසාම ගැමියන් හැම දෙනාම පවසන්නට වූයේ ‘කවුරු නැතත් දෙවියන් හෝ බලාගනීවි’ යැයි කියන්නට වූයේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාමය.  


මෙලෙස ගවයා අතුරුදන්ව දින කීපයක් ගතවෙද්දී දිනක් රෑ දෙගොඩ හරි යාමයේ සාපින් ගේ නිවස දෙසින් මහත් වූ මර හඬක් ඇසෙන්නට විය. මේ ඇසුණ ගැමියෝ වහ වහා ඒ දෙසට දිව ගියේ සිදුව ඇති දෙය හරියටම දැන ගැනීමටය.  


ඒ වන විටත් කෑමොර දෙමින් බිම පෙරළෙන සාපින්ගේ දසුන් ඔවුනට ඈතදීම දැකගත හැකි විය. කරුණු සොයා බැලීමේදී ඔවුන්ට දැකගත හැකි වූයේ සාපින්ට දරුණු බඩේ අමාරුවක් සෑදී ඇති බවයි. ගමේ වෙද මහතෙකු කරා ගෙන ගොස් ප්‍රතිකාර කළ ද කිසිදු සුවයක් නොවූ තැන රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළහ. එහෙත් සුව වන පාටක් නැත.  


එක් දිනයක කෑමොර දෙන අතර තුර සාපින් ගේ මුවින් පිට වූයේ පිං හරකා මරා කෑමේ විපාක තමාට මෙසේ විඳින්නට සිදු වූ බවය. මේ ඇසූ ගැමියන් වික්ෂිප්තව එකි නෙකාගේ මුහුණ බලා ගන්නට විය. සාපින්ගේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරී එක් සීතල රැයෙක දෙගොඩහරි යාමයේ සදහටම නොනැගිටින නින්දකට වැටුණේ පිං හරාක මරාගෙන කෑමේ විපාකයේ තරම හැමෝටම කියා දෙමිනි.  



නිකදළුපොත කරුණාද‌ාස සපුතන්ත්‍රී මහතා ලියා එවූ කතාවකි.  

තණ්හාව දුකට හේතුවයි  

ඇල්බට් සහ මාටින් දේපළවලට දබර කරගත් දෙදෙනෙක්.

 

මාටින් සාමකාමී හොඳ ගුණවලින් යුතු වුවත් ඇල්බට් කපටියෙකු මෙන්ම තද මසුරෙකි. එක ළඟ ගෙවල් දෙකක විසුවත් අනුන්ගේ දෙය ලබා ගැනීමට ඇල්බට් නිතරම කල්පනා කළේය. වැට මායිමේ තිබෙන කොස්ගස (හොඳට පළදරන) මාටින්ගේ වුවත් එය තමාට අයිති බව කියමින් ඇල්බට් සටනට ආවේ මුරුගයෙක් වගේය. ප්‍රශ්නය දුරදිග ගිය නිසා නැවතුණේ උසාවියෙනි. අවුරුදු ගණනක් නඩු කියා ඇල්බට් ජය ලැබුවේ රටක් රාජ්‍යයක් ලැබුණ ලෙසයි. පල දරන ගසෙන් පල ප්‍රයෝජන ලැබුවත් ලාභය වැඩි කාලයක් දුන්නේ නැහැ.  


එක් වර්ෂා කාලයකදී අපලය ආවේ නොදන්වාමයි. විදුලි කොටමින් අහස ගුගුරමින් අකුණක් පාත් වුණේ කොස්ගහ විනාශ කරමින්. අතු ගෙඩි ආදිය අකුණුසැරට දැවී ගියේය. කම්පාවට පත් ඇල්බට් සොබාදහමට ශාප කරමින් පාඩුව වින්දේ මාටින්ට ද බණිමින්. ඔහු ඇල්බට් සමග දබර නොකරන නිසා ප්‍රශ්න දුර ගියේ නැත.  
කොස්ගසේ පාඩුවෙන් පසුව ඇස ගියේ යල මහ පැසෙන කුඹුරකටයි. එය ද මාටින්ට අයිතිය. කුඹුර අයිති තමාට බවත් කිරිඅත්තා විසින් තමාට තෑගි කළ බවත් හොර ඔප්පුවකින් මාටින්ගේ තාත්තා එය ලියාගෙන ඇති බවත් පැවසුවේය. මාටින් ළඟ නියම ඔප්පුව තිබුණත් ඔහුගේ නොසැලකිල්ල නිසා එය වේයන්ගේ ආහාරයක් වෙලා තිබිණ.  
 ඇල්බට් ළඟද ඔප්පු නැත. මාටින්ව කටින් බය කර දෙස් දෙවොල් තියා පහර දෙන්නටද සූද‌ානම් වුවත් අසල්වැසියන්ගේ මැදිහත් වීමෙන් විපතක් වුණේ නැත. දුෂ්ටකම් කරන ඇල්බට්ට අවනත වී කුඹුර පවරා දුන්නේ කලකිරීමෙනි. මහ කන්නයේ වර්ෂාව මේ ප්‍ර​දේශයට තදින්ම පවතියි. දිනක් හැන්දෑවේ එවැනි දිනක ඇල්බට් උදැල්ලද රැගෙන කුඹුරට ගියේ නියර සැකසීමටයි.  


ගොරවමින් සුළං හමමින් වහින සැටි දුටු ඔහු බියපත් වූයේ යන්නට තැනක් නැති නිසාය. පෙරසේම කුඹුර හරහා අකුණක් පුපුරා ගියේ ඇල්බට් සමග උදැල්ලද ඈතට විසිකරමින්.  
තම සැමියා නැති නිසා බිරිඳ තවත් කීප දෙනෙක් සමග එන විට ඇල්බට් කළු පැහැගැන් වී මියගොස් සිටියේ දකින්නට බිය දනවන ලෙසය. සිරුර ගොඩට ගෙන නිවසට ගෙන ගොස් මරණ පරික්ෂණය සිදුකොට පසුවද‌ාම වළ දැම්මේ තණ්හාවේ විපාක කාට කාටත් කියා දෙමිනි.  



අනුරාධපුරයේ පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.  

චෞර පුත්‍රයාගේ ඛේද‌ාන්තය  


සුනිල් පාසල් ගුරු යුවළකගේ එකම පුතාය. සිරිසේන දෙමහල්ලෝ ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිසු පරපුරට දැනුම බෙද‌ා දී තම අවසාන කාලය රජරට පළාතේ ගත කිරීමට තීරණය කළහ. පූජනීය නගරය පෙනෙන තෙක් මානයේ ගමක පාසලක සේවයට ඔවුහු පැමිණියහ. සිරිසේන මහතා ඒ වෙනවිට විදුහල්පති තනතුරකට පත්ව සිටියේය. මේ දෙදෙනා ඉතා ආදර්ශවත් ගුරු යුවළක් විය. එහෙත් ඔවුන් කොතෙක් දරුවන්ට ශිල්පය දුන්නත් සිය එකම පුතාට හරි හැටි ශිල්පය දීමට අපොහොසත් විය. කෙතෙක් උත්සාහ කළත් සිරිසේන යුවළට තම පුතා වැදගතෙකු කිරීමට නොහැකි විය. ඔහු ගමේ රස්තියාදු කාර පිරිසට එක් වී සුරාවටත් සූදුවටත් ඇබ්බැහි විය.  


 එකම වර්ෂයේ විශ්‍රාම ලත් ගුරු යුවළ සිය විශ්‍රාම පාරිතෝෂිකය යොද‌ා එම ගමේම කුඩා නිවසක් ද සහිත ඉඩමක් මිලට ගෙන එහි පදිංචියට ගියහ. වත්ත ද කොස් පොල් පුවක් හා දොඩම් ගස්වලින් යුත් සරුසාර ඉඩමක් විය. විශ්‍රාම වැටුප ද වත්තෙන් ලැබෙන ආද‌ායම ද නිසා ඔවුන්ට ජීවත් වීම ගැටලුවක් නොවීය. සුනිල් ද වත්තෙන් ලැබෙන ආද‌ායමෙන් මවගෙන් ලැබෙන මුදලින් ද තම අවශ්‍යතා පිරිමසා ගත්තේය.  


විශ්‍රාම ලබා වසර තුනකින් පමණ පසු සිරිසේන මහතා හෘදයාබාධයකින් මිය ගියේය. සිරිසේන මහත්මියට සිදුවූයේ පුතාගේ අණසකට යටත්ව ජීවත් වීමටයි. සුනිල් යහමගට ගැනීමට සිරිසේන මහත්මිය කොතෙක් උත්සාහ කළ ද ඒවා නිෂ්ඵල විය. ඔහුට විවාහයක් කර දීමට ඇය උත්සාහ ගත් නමුත් එය ද පල රහිත විය.  


සුනිල් මැදිවියේ වැන්දඹු කතක් හා සබඳකම් පවත්වන්නට විය. මේ නිසා ගෙදර නිතර බහින්බස් වීම් ඇතිවිය. අවසානයේ සුනිල් වැන්දඹු කාන්තාවගේ එනම් දයාවතීගේ නිවසේ නතර විය. ඇයට දරු දෙදෙනෙකු විය. වත්තේ කෙසෙල් කැන් හා පොල් විකුණා ලද මුදලින් ඇය ජීවත් වූවාය. සුනිල් ද තම වත්​තේ ආද‌ායමින් කොටසක් දයාවතීට දීමට පුරුදුව සිටියේය. ඉඳහිට තමා බැලීමට එන පුතාට කීයක් හෝ දීමට මව අමතක නොකළාය.  


 සිරිසේන මහත්මිය නිවසේ තනිවම කාලය ගත කළ අතර ඇගේ තනි නොතනියට අසල්වැසි කාන්තාවක් පැමිණියාය. සුනිල් තම මවගෙන් ලැබෙන සුළු මුදල මදි නිසා ඇය විශ්‍රාම වැටුප් ගන්නා දිනයේම කළු හැදගෙන මුහුණ වසාගෙන පැමිණ කටහඬ වෙනස් කර ඇය බියගන්වා මුදල් ගෙන යාමටත් පසුදිනක පැමිණ ඇයට තමා දෙන බව පවසා සුළු මුදලක් දීමටත් පුරුදු විය.   


 වසරක් පමණ විශ්‍රාම වැටුප් ගන්නා දිනයේ ඇඳිරි වැටීමත් සමග එන හොරා ඇයගේ මුදල් පැහැර ගෙන ගියේය. දිනක් පන්සලට ආධාරයක් ඉල්ලා පැමිණි හාමුදුරුවන්ට මේ සිද්ධිය නොකියා සිටීමට සිරිසේන මහත්මියට නොහැකි විය. සිරිසේන මහත්මිය වයස නිසාත් කාන්තාවක් නිසාත් සිද්ධිය අවබෝධ නොවීය. හාමුදුරුවන්ට හොරය අසුවිය. උන්වහන්සේ කළේ ඊළඟ විශ්‍රාම වැටුප් දිනයේ ගමේ සවිමත් තරුණයින් කිහිප දෙනෙකුට සිරිසේන මහත්මියගේ නිවස අසල රැක සිට සොරා අල්වා ගැනීමට උපදෙස් දීමය.  
සිරිත් පරිදි කළු හැඳගත් හොරා නිවසට ඇතුළු විය. සැඟවී සිටි තරුණ පිරිස හොරා අල්ලා ගැනීමට තැත් කරද්දී හොරා පැන දිව්වේය. තරුණයෝද ඔහු ලුහු බැන්දෝය. මඳ අඳරේ දුව ගිය හොරා පාළු ගල් වළකට වැටුණි. තරුණයන්ගේ කෑ ගැසීමට අහළ පහළ අය විදුලි පන්දම් ද රැගෙන දුව ආහ. අඩක් පමණ වතුර සිඳී තිබූ ගල්වලට වැටී සිටි ලේ පෙරාගත් සොරා වළෙන් ගොඩගනු ලැබීය. ඒ අන් කිසිවෙකු නොව සුනිල්ය. බරපතළ ලෙස තුවාල ලබා සිටි සුනිල් රෝහගල් ගත කිරීමට සිදුවිය. දරු සෙනෙහස කියා පාමින් සිරිසේන මහත්මිය තම පුතා බැලීමට නිතර නිතර රෝහලට ගියාය. හිසට ඇති වූ අනතුරක් නිසා ඔහුට ඇවිදීමට නොහැකි විය. අසල්වැසියන්ගේ ආධාරයෙන් පුතා ගෙදර ගෙන ගිය ද වියපත් ඇයට පුතාගේ සාත්තු සප්පායම් හරි හැටි කිරීමට නොහැකි විය. කෙමෙන් කෙමෙන් දුර්වල වී ගිය සුනිල් මාස දෙකක් තුනක් දුක් විඳ අවසානයේ මිය ගියේය.  
වචනයෙන් නොකීවත් මවට කළ අපරාධයන් ඔහුට සිහිපත් වෙන්නට ඇත. හොඳ සිහි කල්පනා තිබුණ නිසා ඔහු ඒ ගැන විඳවන්නට ද ඇත.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමුකරන්න.

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්