කොළඹ අහස සිඹින යෝධයෝ


අල්ටෙයාර් මුදුනට කොළඹ පෙනෙන අයුරු

ගංගාරාම සීමා මාලකය පෙනෙන අයුරු

අංශක දහතුනක ඇලයකට අනුව නිර්මාණය වන ලෝකයේ ප්‍රථම ගොඩනැගිල්ල ලෙස දැනට සඳහන් වන්නේ අල්ටෙයාර් නමැති මේ අපූරු ගොඩනැගිල්ලය. කොළඹ බේරේ වැවට මුහුණලා නිර්මාණය වන මෙම ගොඩනැගිල්ල තට්ටු 68කින් සමන්විත වන අතර, මේ දක්වා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති ගොඩනැගිලි අතරින් උසම නිර්මාණය වන්නේ මෙම අල්ටෙයාර් ගොඩනැගිල්ලය. දැනට තට්ටු හැට හතරක් නිර්මාණය වී ඇති අතර සම්පූර්ණ නිමැවුම් දක්වා තවත් ඇත්​ෙත් තට්ටු හතරක් නිම කිරීමට පමණි. 2018 වසරේ මැයි මාසය පමණ වන විට විවෘත කිරීමට නියමිතව ඇති මෙම අල්ටෙයාර් ගොඩනැගිල්ල, මේ වන විටත් බොහෝ දෙනාගේ ආකර්ෂණයට නතු වූවකි. මෙය පිහිටි මග යන-එන බොහෝ දෙනා මේ වෙනස් හැඩයකින් යුතු අල්ටෙයාර් ගැන විපරම් කර බැලීම නිරායාසයෙන්ම සිදුවන දෙයකි. ඒ වෙන කිසිවක් නිසා නොව අප ඉහත සඳහන් කළ වෙනස් හැඩයකින් යුතු වීම නිසාමය. අංශක දහතුනක ඇලයකට අනුව නිර්මාණය වන ලෝකයේ පළමු ගොඩනැගිල්ල වන මෙම අල්ටෙයාර් ගැන සටහන් වන විස්තරයකි මේ.  

 

අල්ටෙයාර් යනු තාරකාවක නාමයකි. රාත්‍රි අහසේ වඩාත් දිදුලන තාරකාව ලෙස සඳහන් වන්නේ එයයි. කොළඹ නගරයේ ඉදිවන ගොඩනැගිලි අතරින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය ලෙස නිමකිරීම මෙය අයිති සමාගමේ අරමුණ වී තිබේ. ‘‘ඉන්දු-ඕෂන්’’ නමැති සමාගම මෙහි හිමිකාරිත්වය දරයි. තනිකරම විදේශීය ආයෝජනයක් ලෙස නිර්මාණය වන සුපිරි මහල් නිවාස පද්ධතියකින් මෙම ගොඩනැගිල්ල සමන්විත වේ. ඩොලර් මිලියන දෙසිය පනහකට වැඩි ආයෝජනයක් මේ වන විට ඊට වැය කර ති​ෙබ්. පරම්පරා තුනක් වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකළ කල්කටාවේ ස්ථාපිත සමාගමක් ලෙස හිමිකාර සමාගම සඳහන් කළ හැකිය. මිලියන ගණනාවක වර්ග අඩි ප්‍රමණයක් නිමැවුම් සඳහා හිමිකාරිත්වය දරන මෙම සමාගම අල්ටෙයාර් සඳහා මිලියන එකයි දශම පහක වර්ග අඩි ප්‍රමාණයක් වෙන්කර ඇත.  


මෙලෙසින් ඉදිවන මේ ආකර්ෂණීය ගොඩනැගිල්ල ජනතාව අතර කෙතරම් ආකර්ෂණයට නතුව ඇතිද යත්, මේ වන විට සුපිරි නිවාස පද්ධතියෙන් සියයට හැත්තෑවක්ම  විකිණී අවසන් යැයි සමාගම සඳහන් කරයි. නිර්මාණ රටාවෙහි ඇති ආකර්ෂණීය බව නිසාම මෙවැනි ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අපූරු නිර්මාණය සැලසුම් කළේ කවුද? නොඑසේ නම් මෙහි ගම්‍ය නිර්මාණ ශිල්පියා කවුද? අල්ටෙයාර්හි අලෙවි කටයුතු අංශයේ ප්‍රධානියා වන ජේ. ඩයස් ඒ ගැන විස්තර කළේ මෙලෙසිනි.  


‘‘ලෝකයේ බොහෝ නගරවල එක්තරා විදියකට සංකේත ලෙස, නැතිනම් සලකුණක් ලෙස නිර්මාණය වන ගොඩනැගිලි සහ කුලුනු තිබෙනවා. අහවල් ගොඩනැගිල්ල හෝ කුලුන යැයි කියූ පමණින් ඒ නගරයේ නමත් නිරන්තරයෙන්ම ඒ නිසා කියැවෙනවා. මෙම සමාගමටත් ඕනෑ වුණේ අන්න ඒ ආකාරයෙන් ගොඩනැගිල්ලක් කොළඹ ඉදිකිරීමටයි. කොළම්පුරවරයටම වඩාත් ආකර්ෂණයක් ගෙන දෙන නිර්මාණයක් කිරීමම අරමුණු කරගෙන තමයි මෙම අල්ටෙයාර් ගොඩනැගෙන්නෙ. අංශක 13ක ආනතියකින් යුතු ගොඩනැගිල්ලක් ලෙස ලෝකයේ ප්‍රථම වතාවට නිර්මාණය වන ගොඩනැගිල්ල මෙයයි. සිංගප්පූරුවේ ඇති ‘‘මරීනා බේ සෑන්ඩ්’’ නමැති අපූරු ගොඩනැගිල්ල සඳහා ගෘහ නිර්මාණ සැලසුම් කළ ලොව අංක එකේ ගෘහ නිර්මාණ ශිල්පියකු වන ‘‘මෝෂේ සාෆ්ඩ්’’ තමයි මෙම අපූරු නිර්මාණයෙහිත් සැලසුම්කරුවා වන්නෙ. හැත්තෑව දශකයේ සිට ප්‍රකට චරිතයක් වන ඔහු ලෝකයට විස්මය ගෙන දෙන අපූරු නිර්මාණ රැසක් වෙනුවෙන් ද‌ායකත්වය ලබා දුන් ලෝ ප්‍රකට චරිතයක්. දශක කීපයකට පෙරදී කැනඩාවේ නිර්මාණය වූ ‘‘හැබ්ටැට්- 69’’ ගොඩනැගිල්ල සමඟ තමයි ඔහු කරළියට ආවේ. එදා සිට ඇමරිකාවේ සහ කැනඩාවේ මෙන්ම වෙනත් රටවල් කීපයකම අපූරු නිර්මාණ රැසකට ද‌ායක වූ ඔහු අන්තර්ජාතික සම්මාන ලද ප්‍රවීණයෙක්.  


ඔහු වැනි ලෝ ප්‍රකට චරිතයක් අපේ රටේ නිර්මාණයකට ද‌ායකත්වය ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයයි. එය ශ්‍රී ලංකාවටත් අතිශයින්ම වැදගත්. ඒ අනුව අනාගත ආයෝජන සඳහා එවැනි තවත් බොහෝ දෙනා එක් වේවි. ඒ වගේම එවැනි ලෝ ප්‍රකට ප්‍රවීණයකු මෙරටට ගෙන්වීම නිසා අපේ අනාගත සරසවි සිසු පරපුරටද ලබා ගත හැකි දේ බොහෝමයි. ගෘහ නිර්මාණ ශිල්පයට උනන්දුවන සිසු සිසුවියන් බොහෝ දෙනා නිරන්තරයෙන් පැමිණ මේ නිර්මාණ සැලසුම ගැන කරුණු සොයා බලනවා. මෝෂේ සාෆ්ඩ් බොහෝ වෙලාවට මේ වගේ වෙනස්ම නිර්මාණ කරන්න හරිම හපනෙක්. ඒවා ලෝකයටම එකක් ලෙස තමයි නිර්මාණය වන්නෙ. ඊශ්‍රායල ජාතිකයකු වන ඔහු දැන් පදිංචිය කැනඩාවෙ. ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට ආවේ මෙම ගොඩනැගිල්ල ඉදිවන භූමිය නැරඹීමටයි. ඉන්පසු ඔහු කොළඹට ඒමට ආසා කළා. පසුගිය මාර්තුවේදීත් ඔහු කොළඹට ආවා.  


ඇයි ඔහු කොළඹට එතරම් කැමති?  
කොළඹ යනු තවමත් දූෂණය නොවූ නගරයක්. ගුවනේ සිට නරඹන විට කොළඹ තවමත් හරිත නගරයක්. ඒ සුන්දරත්වය මෙම අල්ටෙයාර් මුදුනත සිට අපූරුවට විඳගත හැකියි. සාෆ්ඩි ඒ ගැන හොඳටම හිතන්න ඇති. කොළඹ අහස තවමත් දූෂණය නොවූ නිසා එහි වාතාශ්‍රය තවමත් පිරිසිදුයි. ඒ වගේම හිරු එළියත් හොඳින් පතිත වන නගරයක්. මේ ලෝ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියා මෙය සැලසුම් කරද්දී ඒ ගැනත් විශ්වාසය තබා නිර්මාණය කර ඇති වග පෙනෙනවා. මෙම ගොඩනැගිල්ල ආවරණය වන්නෙ තනිකරම වීදුරුවලින්. ඒ නිසා ආලෝකය නිරන්තරයෙන්ම පතිතවෙනවා.

  
හිරු එළිය එක්ක වාතාශ්‍රයත් අත්‍යවශ්‍යයි. ඒ නිසා සුළඟට වඩාත් විවෘතව තමයි අවකාශය සලසා තිබෙන්නෙ. හිරුඑළිය සහ වාතාශ්‍රය මෙන්ම මෙම ගොඩනැගිල්ලෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ගෘහනිර්මාණ සැලසුමයි. සමහරු හිතන්න පුළුවන් ලංකාවෙත් ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී චරිත සිටියදී ඇයි මෝෂේ සාෆ්ඩිගෙ සහාය මීට ලබා ගත්තෙ කියලා. නමුත් මා දන්නා පරිදි මෙවැනි ලෝ ප්‍රකට චරිතයක් පැමිණීම නිසා අපේ ගෘහ නිර්මාණ කලාවටත් එය ආලෝකයක් වනවා. අනෙක ලෝකයටම එකක් වූ නිර්මාණ බිහිකිරීමේ කාර්යයකදී, ඒ නිර්මාණය බිහිවූ රටට ලැබෙන ඵලද‌ායිතාව බොහෝමයි.  


මෙතරම් තට්ටු ප්‍රමාණයක් ගුවනට නැගෙද්දී අත්තිවාරම බර උසුලාගන්නෙ කොහොමද?  
මෙලෙසින් උස් ගොඩනැගිලි තැනීමේදී බර ප්‍රමාණය මහලින් මහලට වෙනස් වන පරිදි නිර්මාණය වීම සම්ප්‍රද‌ායක්. ඒ වගේම ගොඩනැගිලි නිර්මාණ තාක්‍ෂණයේ උසස් ක්‍රමවේදයන් අනුගමනය වෙනවා. සිමෙන්ති පවා යොද‌ා ගන්නේ සැහැල්ලු පරිමාණයෙන්. ඒ වගේම මහලින් මහලට වෙනස් ලෙස සිමෙන්ති යොද‌ා ගන්නා නවීනතම ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ගොඩනැගිල්ලක් සඳහා යොද‌ා ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙයයි. මෙහි ඉදිකිරීම් කටයුතු කරන්නේ ​ෙම් අංශයේ ප්‍රකටම සමාගමක් වන, පරම්පරා තුනක අත්දැකීම් සහිත ඩුබායි නගරයේ ස්ථාපිත ෂැපූර්ජි පැලොන්ජි (Shapoorji Pallonji) සමාගමයි.

 
අල්ටෙයාර් හි අලෙවි අංශ ප්‍රධානියා කළ විස්තරයට පසුව මෙම අපූරු ගොඩනැගිල්ලෙහි දැනට නිමවා ඇති 64 වැනි මහල දක්වා යාමේ අවකාශය අපට ලැබිණි. එතැනට ගිය පසු කොළඹ නගරයෙහි මේ දක්වා නැගී ඇති සියලු ගොඩනැගිලිවලට වඩා මෙය කෙතරම් උස්ද යන්න පැහැදිලි කරගත හැකිය. නගරයේ සමහර තට්ටු ගොඩනැගිලි පවා මෙහි මුදුනකට දර්ශනය වන්නේ, ඉතා කුඩා ගොඩනැගිලි ලෙසය. රථවාහන දර්ශනය වන්නේ ගිනි පෙට්ටි තරමටය. ‘අවට පැහැදිලි දිනවල ශ්‍රී පාදස්ථානයට පවා අපි නමස්කාර කරනවා’’ මෙහි සේවකයකු අපට කීවේය. මුළු කොළඹම විටෙක දිස්වන්නේ කොළ පැහැයෙනි. කොළඹ අවට ජලාශ්‍රිත ප්‍ර​ෙද්ශ මෙන්ම මුහුදේ දර්ශනයද පෙනෙන අපූරුව ඉතා මනරම්ය. මහල් 68ක ඇති මෙම සුපිරි අල්ටෙයාර්හි නිවාස පද්ධතිය ඇරඹෙන්නේ හයවන මහලේ සිටය. පස්වන මහල දක්වා වාහන නවතා තැබීමේ පහසුකම් සලසා ඇත.   


ඊට අමතරව පස්වැනි මහලේ පිහිනුම් තටාකය, ස්පා සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයද, සම්බාශන ශාලාවක්ද ස්ථාපිතය. 63 වන මහලේද පිහිනුම් තටාකයක් සඳහා ඉඩ වෙන්කර ඇත. අහසේ තැනූ උද්‍යානය හෙවත් ‘ස්කයි ගාඩ්න්’ ඇත්තේද මේ මහලේය. සුපිරි නිවාස ලාභීන්ගේ පහසුව සඳහා විදුලි සෝපාන 18ක් ස්ථාපිත කෙරෙන බව සමාගම සඳහන් කරයි. බිම් මහලේ සිට 68 වන මහල දක්වා යාමට ගතවන්නේ විනාඩි 2ක් වැනි කාලයකි. විදුලි සෝපාන ක්‍රියාවලිය සඳහා ලෝ ප්‍රකට ආයතනයක් වන ඕටිස් (Otis) හි ද‌ායකත්වය ඒ සඳහා ලබාගෙන ඇත. ඉහළට යන විට දැනෙන පීඩනය අවම වන පරිදි, දියුණු තාක්‍ෂණයෙන් යුතුව එම සෝපාන පද්ධතිය ස්ථාපිත වන බව සඳහන් වේ. මෙලෙසින් නිර්මාණය වන මෙම ‘අල්ටෙයාර්’ සුපිරි තරු ගොඩනැගිල්ලට අයත් සුපිරි නිවාස ලබා ගැනීම සඳහා මේ දක්වා මුදල් වෙන්කර ඇති පිරිස අතරින් 60%ක් පමණ ශ්‍රී ලාංකිකයින් වීමද විශේෂත්වයකි. මෙතෙක් ඈත අහසේ තරුවක් ලෙස බැබළෙමින් තිබූ ඒ අල්ටෙයාර් තරුව 2018 දී ඔබට ස්පර්ශ කරමින් පොළෝතලයේ සිටම නැරඹිය හැකි වේවි. 

සටහන/ ඡායාරූප 
සඳුන් ගමගේ