ශ්‍රීලනිප තීරණාත්මක මධ්‍යම කාරක සභාව 17 වැනිදා


(දයාසීලි ලියනගේ)  
ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විශේෂිත තීන්දු තීරණවලට එළඹෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික රජයෙන් ඉවත්විය යුතු බවට හිටපු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව ඡන්ද විමසීමට යොමු කරනු ඇතැයි සඳහන්වේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික රජයෙන් ඉවත්විය යුතුය යන්න මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් බහුතරයකගේ අදහසවී ඇති නිසා එම ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විශ්වාසය වී ඇතැයි වාර්තා වේ.  


මේ තත්ත්වය නිසා ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළතදී ජාතික රජයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ අසුන් ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය තනි රජයක් ලෙසට ඉදිරි වසර එකහමාර පවත්වාගෙන යාමත් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.  


එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 10 දෙනකුට ආසන්න පිරිසක් එක්සත් ජාතික පක්ෂ රජය සමඟ දිගටම කටයුතු කරනු ඇතැයිද සඳහන්වේ.