විපක්ෂයේ තවත් පිරිසක් අයවැයේ දී ආණ්ඩුවට


(අජන්ත කුමාර අගලකඩ)   

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තවත් කිහිප දෙනෙකු ඉදිරි අයවැයේ දී ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


ලබන වසර සඳහා වන අයවැය ලබන මස 17 වැනිදා ඉදිරිපත් කෙරෙන අතර ඒ පිළිබඳ දෙවැනි වර කියවීමේ ඡන්දය විමසීම ලබන මස අග දී සිදු කෙරෙනු ඇත. 

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අයවැය ඡන්දය විමසන අවස්ථාවේ ඊට සහාය පළ කරමින් ආණ්ඩුවට එක්වනු ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.   


විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ද විපක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් ආණ්ඩුව සමග එක්ව 20ට පක්ෂව ඡන්දය දුන්හ.   


ඉන් එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසිම්‍ සහ ඒ.ඒ.එස්.එම්. තවුෆික් යන මන්ත්‍රීවරුන් තිදෙනා ශ්‍රී ලංකා මුස්ලිම් ​කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින අතර නසීර් අහමඩ් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පත් විය.   


ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයේ උපලේකම්වරියක වන අතර අරවින්ද් කුමාර මන්ත්‍ර්‍රීවරයා මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින්, සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්විය. සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයෙන් ආනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට පත් වූ අතර ඒ.ඒ.එස්.එම්. රහීම් මන්ත්‍රීවරයා මුස්ලිම් ජාතික සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍ර්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙකි.   


ආණ්ඩු පක්ෂයට හිමිව තිබූ මන්ත්‍රී ධුර ගණන, 20 ට සහාය පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනා ද සමග 156 දක්වා වැඩි වී ඇති අතර අයවැයේ දී එය තවත් වැඩි වනු ඇති බව වාර්තා වේ.