නීතිපති දෙපාර්තමේන්තුවට ලොකු හැන්දකින් බෙදලා!


සමාන්තර ශ්‍රේණිවලින් විරෝධය

(දයාසීලි ලියනගේ)   

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිසකට පමණක් රුපියල් ලක්ෂයක ඉන්ධන දීමනාවක් රුපියල් ලක්ෂයක වාහන දීමනාවක් හා රුපියල් 25,000ක රියැදුරු දීමනාවක් ලබාදෙන බව වාර්තා වේ.   

එක් පිරිසකට පමණක් විශේෂ දීමනා ලබාදීමෙන් සමාන්තර ශ්‍රේණිවලට බලවත් අසාධාරණයක් වෙන බව දීපව්‍යාප්ත විධායක නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී පෙන්වාදී ඇත.   


එක් කොටසකට පමණක් විශේෂ වැටුප් හා දීමනා ලබාදීම යුක්ති සහගත නොවන බව අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සහ එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහත්වරු ප්‍රකාශ කළහ.   


රියැදුරු දීමනාව ලබන ඇතැම් නිලධාරින් තමන්ම එම දීමනාව ලබාගන්නා බව අගමැතිවරයාට පෙන්වා දුන් බවද ඔවුහු ප්‍රකාශ කළහ.   
මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දීමනා හා වැටුප් විෂමතා පිළිබඳ ගැටලුවක් පවතින බවයි. අමාත්‍ය මණ්ඩල තීරණයක් මත මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අතර තව අවුරුදු 35කින් පමණ වැටුප් ගෙවන්නත් හැකිවේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද වෛද්‍යවරු ප්‍රකාශ කළහ.