තෙල් අර්බුදයට වගකිව යුතු තෙල් ලොක්කන්ගේ නම් ජනපතිට


(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  
ඉකුත්දා ඇතිවූ ඉන්ධන හිඟයට වගකිව යුතු ඛනිජ තෙල් සංස්ථාවේ ​ඉහළ නිලධාරින් සිවු දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ඇමැති අනුකමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාට බාරදෙන ලැබූ අතර ඒ සමගම මෙම නම් ලැයිස්තුවද බාරදී ඇති බව වාර්තා වේ. ඛනිජ තෙල් සංස්ථාවේ අංශ කිහිපයක ඉහළම නිලධාරින් සිවු දෙනෙකුගේ නම් මීට ඇතුළත්ව ඇති බවද දැනගන්නට තිබේ.  


මෙම අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඊට වගකිවයුතු අයට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයිද කමිටුව නිර්දේශ කර ඇතැයි දැනගන්නට තිබේ. අවශ්‍ය ගබඩා පහසුකම් තිබියදීත්, ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවත්වාගෙන නොයාම, ඉන්ධන නැව පැමිණීම ප්‍රමාද වන බව දැන තිබියදීත් හදිසි ඉන්ධන තොග ගෙන්වීම දින ගණනාවක් ප්‍රමාද වීම, ඔක්තෝබර් මස 24 වැනිදා වන විට තෙල් අර්බුදයක් එන බව දැන සිටියද ඒ පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැනුවත් නොකිරීම, තෙල් නැව් දෙක පැමිණීම ප්‍රමාද වීමට සමගාමීව ඉන්ධන පිරිපහදුව අක්‍රිය වීම හා පරිගණක පද්ධතියේ දෝෂ ඇතිවීම යන හේතු කාරණා පිළිබඳව සොයා බැලිය යුතු යැයි ඇමැති අනුකමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.  


ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ඇමැති අනුකමිටුවේ සභාපති ලෙස ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා කටයුතු කළ අතර පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා සහ අර්ජුන රණතුංග යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වූහ.