ජිනීවා තොණ්ඩුවට ආණ්ඩුවෙන් වෙට්ටුවක්


 

(අජන්ත කුමාර අගලකඩ)  
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේද සමඅනුග්‍රාහකත්වයෙන් සම්මත කරන ලද යෝජනාවේ ඇතුළත් කරුණු ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හයක අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට ශ්‍රී ලංකාව එකඟතාව පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජිනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලබන 21 වැනිදා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හයක් එක්ව මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.   


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී 2015 සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ වගවීමේ මානව හිමිකම් හා සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධ යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කරමින් හා එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තවත් වසර දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.  


යුද්ධයේදී අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම හා උතුරු නැගෙනහිර මුල් පදිංචිකරුවන්ට ඔවුන්ගේ ඉඩම් යළි ලබාදීම, සත්‍යය සෙවීමේ හා සංහිඳියා කොමිසමක් පත් කිරීමට අදාළ මූලික කටයුතු සිදු කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනමම ප්‍රතිත්‍රස්ත පනතක් සම්මත කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජය විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග අතර වේ. මේ අතර ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 90 වන සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් පස් දෙනකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් පිටත්කර යැවීමට රජය පියවර ගෙන ඇත.  


පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. හෙරිත් පුල්ලේ යන මහත්වරු එම නියෝජිත පිරිසට ඇතුළත්ව සිටිති.   


ජනාධිපතිවරයාගේ නියෝජිතයින් වශයෙන් ආචාර්ය සරත් අමණුගම, මහින්ද සමරසිංහ හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට යැවීමට මුලින් තීරණය කර තිබුණ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ ඇමැති තිලක් මාරපන මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව එම සංයුතියේ වෙනසක් කිරීමට තීරණය වී ඇත.