ජනපතිවරණය ජය ගත් පසු මහින්ද අගමැති කරනවා


ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

 

(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)   

තමන් ජනාධිපතිවරණය ජය ගත් පසු වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර තමන්ගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආණ්ඩුවක් නිර්මාණය කර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 
ඉරිදා ලංකාදීපයට පැවසීය.  

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාර්තු මාසය වනතුරු බලා සිටිය යුතු වුවත් නොපෑහෙන පක්ෂ හා නායකයන් සමග රටක් පාලනය කළ නොහැකි බවත් ජනතාව ඉල්ලන ජයග්‍රහණ නොපමාව ලබාදීමට තමන්ගේම වන ආණ්ඩුවක් අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.   


වර්තමාන ආණ්ඩුවට ද බහුතර බලයක් නොමැති බවත් අවධාරණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ජනාධිපති ධුරයට පත්වූ පසු බහුතර බලය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලැබෙන බවත් ප්‍රකාශ කළේය.  


පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සඳහා අන්තවාදී පක්ෂවල සහයෝගය කිසිලෙසකින් හෝ ලබා නොගන්නා බව ද ඒ මහතා අවධාරණය කළේය.