කෝටි 40ක ගෑස් පිරවුම් යන්ත්‍රයක් සපුගස්කන්දේ දිරණවා


(දයාසීලි ලියනගේ)   

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් කෝටි 40ක මුදලක් වැයකර මෙරටට ගෙන්වන ලද ගෑස් පිරවුම් යන්ත්‍රයක් වසර 9 ක කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට​ නොගෙන දිරාපත් වෙමින් පවතින බව සඳහන් වේ.   

වර්ෂ 2010 දී මෙරටට ගෙන්වන ලද මෙම ගෑස් පිරවුම් යන්ත්‍රය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 5000ක්ද ආනයනය කර තිබූ අතර පසු කාලයක දී ඒවා යකඩවලට විකුණා ඇති බව දැන ගන්නට ඇත.   


ආනයනය කරන ලද මෙම යන්ත්‍රය කැලණි පාලම ඔස්සේ සපුගස්කන්දට රැගෙන ඒමට නොහැකි තරම් විශාල වීම නිසා විශේෂ බත්තලක් ඉදිකර ඒ මතින් ගෙන යාම සිදුවූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.   


බත්තල ඉදි කරන තෙක් වරායට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවූ බව ද කියති.   


මෙම යන්ත්‍රය ගෙන්වීමට මූලික වූ ඉහළ පෙළේ නිලධාරියා මේ වෙන විට තාර අලෙවියෙන් සංස්ථාවට රුපියල් කෝටි 35ක අලාභයක් සිදුකර ඇති බවට ජනාධිපති කොමිසමෙන් වැරැදිකරු කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු විනය පියවරක් ගෙන නැති බව ද කියති.