දුම්රිය ටිකැට්ටුව සකස් කිරීමත් චීනයට


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දුම්රිය ප්‍රවේශපත සකස් කිරීම චීනයට ලබාදීම හේතුවෙන් ඩොලර් මිලියන 22ක මුදලක් අපතේ යන බව දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.  

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් දුම්රිය ප්‍රවේශපත්‍ර සැකසීමේ කාර්ය නොමිලයේ ලබා දීමට වාර්තාවක් ලබාදී තිබියදීත් චීනයට එය ලබා දීමෙන් ජනතාවගේ මුදල් අවභාවිතයක් සිදුවෙන බව ඔහු සඳහන් කරයි.  

මූලික වියදමකින් තොරව පසුව ටිකට් පතකින් සුලු මුදලක් පසු ගෙවීමේ පදනම මත එම ක්‍රමවේදය සකස් කිරීමට ටෙලිකෝම් සමාගම එකඟ වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන එය චීනයට පැවරීමේදී විශාල අඩුපාඩු රැසක් සිදුවන බව ඔහු සඳහන් කළේය.  


එම ක්‍රමය සකස් කිරීමේදී සේවා නඩත්තු කටයුතු වෙනුවෙන් සෑම මසකම රුපියල් මිලියන 1.2 බැගින් ගෙවීමට සිදුවන බව ද ඔහු පැවසීය. එම මුදල ටෙලිකෝම් සමාගම වෙත ලබාදී සියලු පහසුකම් ලබා ගැනීමට ඉඩකඩ තිබියදී මෙසේ චීනයට ලබාදීම පිටුපස යම් කුමන්ත්‍රණයක් ඇතැයි ද ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.