​හෙළයේ ගීත කෝකිලාව රුක්මණී දේවිට මරු කැඳවූ තෙල් බවුසරය මෙන්න


අනතුරෙන් වසර 41 කට පසුත් තෙල් බවුසරය තවමත් ධාවනයේ   

 

 

24 ශ්‍රී 0862 අංකය දරන බවුසරයේ අයිතිය සීමාසහිත පඬුවස්නුවර නව විවිධ සේවා සමුපකාර සමිතියටය.  


සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත 1985 වසරේ සිට තෙල් ප්‍රවාහනය කරන්නේ මේ බවුසරයෙනි.  


දශක කිහිපයක් තිස්සේ සුවහසක් සිනමා ප්‍රේක්ෂකයන් හා ගීත ලෝලීන්ගේ නෙත් සිත් පිනවූ අසහාය නිළියකට මධුර මනෝහර කටහඬ හිමි ගීත කෝකිලාවියකට අකාලයේ සිය ජීවිත රඟ මඩලෙන් සදහටම සමුගෙන යාමට සිදු වූයේ මේ තෙල් බවුසරය නිසාය.  


ඇය හෙලන් නිලන්ති ඩැනියෙල් නම් වූවාය.  


බොහෝ දෙනෙක් මේ නමින් ඇය හඳුනන්නේ නැති බව නම් නිසැකය. රුක්මණි දේවි යනුවෙන් කිවහොත් ඕනෑම කෙනෙක් ඇය හඳුනන්නේය.  


රඟපෑමට මෙන්ම ගීත ගායනා කිරීමටද සුවිශේෂී වූ දක්ෂතා දැක්වූ රුක්මණි ​දේවි ඒ අසහාය කලාකාරිය ගමන් ගත් වෑන් රථය ගැටුණේ වර්තමානයේ පඬුවස්නුවර සමුපකාර සමිතිය සතුව පවතින මේ තෙල් බවුසරේය.  


මේ තෙල් බවුසරයේ ගැටීම නිසා වෑන් රථයේ ගමන්ගත් රුක්මණි දේවිය ජීවිතයට සමුදුන්නේ ඒ මාරක අනතුර සිදුවූ ස්ථානයේදීමය.  


රුක්මණි දේවිය මියගිය පසු අැය ගමන්ගත් මේ වෑන් රථ වර්ගයට රුක්මණි මොඩල් කියා ඒ කාලයේ නමක්ද පටබැඳී තිබිණි.  


ඒ වර්ගයේ වෑන් රථයක් පාරේ යනවා දුටුවාම ඒකාලයේ අන්න රුක්මණි මොඩල් වෑන් එකක් යනවා කියන්නට පටන්ගත්තේය.  


සමහරු ඒ කාලයේ තෙල් බවුසරයක් පාරේ යනවා දැක්කම රුක්මණි මරුවා කියා හැඳින්වීමට පෙළඹී තිබිණි.  


වර්තමානයේ පඬුවස්නුවර නව විවිධ සේවා සමුපකාර සමිතියට අයත්ව තිබෙන තෙල් බවුසරයේ වෑන් රථය ගැටුණේ ජාඇළ තුඩැල්ල ප්‍රදේශයේදී මීට වසර 41 කට පමණ ඉහතදීය.  


එනම් 1978 වසරේ ඔක්තෝබර් මාසයේ 28 වැනිදාය.  


රුක්මණි දේවිය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක ගීත ගායනා කර මීගමුවේ පිහිටි සිය නිවස බලා යමින් සිට අතරවාරයේ ඇය ගමන් ගත් වෑන් රථය පැට්රල් බවුසරයක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවිය.  


මෙම මාරක අනතුරින් රුක්මණී දේවිය සහ ඇයත් සමග එම වෑන් රථයේ ගමන්ගත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වූ දයා පෙරේරා මහතාද මිය ගියේය.  


වෑන් රථයේ ගමන්ගත් තවත් ඡායාරූප ශිල්පියෙක්වූ කේ.වී.ඩී. විජයසිරි මහතාද මෙම මාරක අනතුරින් තුවාල ලබා ඇත.  


මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ආධාර පිණිස මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී සැණකෙළියක් පවත්වා ඇති අතර එම සැණකෙළියට සමගාමීව සංගීත සංදර්ශනයක් ද පවත්වා තිබේ.  


රුක්මණී දේවිය හා එඩී ජයමාන්න යුවළ මේ සංගීත සංදර්ශනයේදී “පාරේ නටන්න හිතුණා” ගායනා කරද්දි උයන්වත්ත ක්‍රීඩාංගණයට රොක්වී සිටි දහස් සංඛ්‍යාත රසිකයින් ඔල්වරසන් දී ඇත්තේ ඒ ගීතය ඇසීමෙන් උද්දාමයට පත්වය.  


ගීත ගායනා කර අවසානයේ රුක්මණි-එඩී යුවළ මාතර තානායමට ගොස් රාත්‍රී භෝජනයද ගෙන ඇත.  


මෙය තමන් ගන්නා අවසන් භෝජන සංග්‍රහය හෝ ගායනා කළ අවසන් ගීතය යැයි කියා රුක්මණි දේවිය සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.  
එදා රෑම ඔවුන් මාතර සිට කොළඹ බලා ඒමට තීරණය කර ඇත්තේ පසුදින (29) කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ ගී සංදර්ශනයකට සහභා

ගි වීමටය.  


රුක්මණී දේවියගේ හතළිස් වසරක සිනමා හා ගායක දිවියේ ස්වර්ණ ජයන්තිය සැමරීම වෙනුවෙන් ස්වර්ණ ගී නමින් ගීත සංදර්ශනයක් සංවිධානය කර තිබිණි.  
ඇය තකහනියේම මහරෑ කොළඹ ඒමට පිටත්වී තිබුණේ මේ නිසාය.  


තමා වෙනුවෙන් සංවිධානය කර තිබූ ස්වර්ණ ගී ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබූ දිනයේ රුක්මණි දේවියට සිය ජීවිතයෙන් සමුදීමට සිදුවීම කොතරම් නම් අභාග්‍ය සම්පන්න සිද්ධියක්ද?  


නමුත් සිදුවූයේද එයමය.  


ගායනයෙන් හා රංගනයෙන් දශක කිහිපයක් රට නැළවූ පිනවූ රුක්මණි දේවිය අවසානයේ රටක් හඬවා අවසන් ගමන් ගියේ ඒ අන්දමිනි.  


ඇයගේ ගායනයට හා රංගනයට සුවහසක් රසිකයන් ප්‍රේක්ෂකයන් වශී වූහ.  


වේදිකාවෙන් තිරයට ආ මුල්ම චිත්‍රපටිය වූ කඩවුණු පොරොන්දුව ඇයගේද මුල්ම චිත්‍රපටිය විය.  


සිංහල සිනමාවේ ප්‍රථම වරට ද්විත්ව චරිතයක් රඟපෑ නිළිය වූයේද රුක්මණි දේවිය වන්නීය. ඒ උමතු විශ්වාසය චිත්‍රපටියයි. උමතු විශ්වාසය චිත්‍රපටියේ ඇය මව හා දුව ලෙස රඟපෑවාය. කැලෑ හඳ චිත්‍රපටියේ මාලිනියගේ ඒ චරිතය රඟපෑවේද රුක්මණි දේවිය වන්නීය.  


හිටපු අමාත්‍යවරයකු වූ ෆීලික්ස් පෙරේරා මහතාද ජාඇළ ප්‍රදේශයේ මාරක අනතුරක් සිදුවී ඇති බව දැනගෙන එම ස්ථානයට ගොස් ඇත.  


ඒ වෙනකොට ඔහු දේශපාලනයට සම්බන්ධවී නොසිටියේය. එහෙත් ඔහුගේ පියා ගම් සභාපතිවරයකු විය. මාරක අනතුර සිදුවූ ස්ථානයට යනවිටත් ෆීලික්ස් පෙරේරා මහතා මියගිය අය කවුරුන්ද කියා දැනසිටියේ නැත.  


මිය ගොස් තිබෙන්නේ රුක්මණි දේවිය කියා ඔහු දැනගෙන ඇත්තේ එහි ගොස් සිරුර දුටු පසුවය.  


මේ ෆීලික්ස් පෙරේරා මහතා කියන කතාවයි.  


ජාඇළදී ලොකු අනතුරක් වෙලා කියා මට ආරංචියක් ලැබුණා. ඒ වෙනකොට මම හිටියේ අපේ ගෙදර. ආරංචිය ලැබුණු ගමන් මම කාර් එකෙන් අනතුර වෙච්ච තැනට ගියා. ඒ වෙනකොටත් සැලකිය යුතු පිරිසක් එතැන හිටියා. අනතුරින් මිය ගිය කාන්තාවගේ මුහුණ රෙද්දකින් වසා තිබුණා. මම ඒ රෙද්ද මෑත් කරලා බලද්දී තමා මිය ගිහින් තියෙන්නේ රුක්මණි දේවි කියා මම දැනගත්තේ. ඊට පස්සේ ඇයගේ සිරුර හා මියගිය දයා පෙරේරාගේ සිරුරද පොලිස් ජීප් රථයක දමාගෙන ජාඇළ රෝහලට අරගෙන ගියා. ඒ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයට සිරුර රැගෙන ගියා. මාත් ඒත් එක්ක එහි ගියා.  


එඩී ජයමාන්න මහත්තයාට මේ අනතුර ගැන දැනගැනීමට ලැබිලා ඔහුත් පොලිස් මෘත ශරීරාගාරයට ආවා. බිරියගේ වියෝවෙන් කම්පාවට පත්වෙලා එඩී ජයමාන්න මහත්තයා හඬා වැලපුණ අන්දම මගේ මතකයේ තවමත් තිබෙනවා.  


රුක්මණි දේවිය රිය අනතුරකින් මිය ගිය බව ආරංචි වෙලා විශාල පිරිසක් පොලිස් මෘත ශරීරාගාරයට ඇදී එන්න පටන්ගත්තා. ඒ පිරිස් පාලනය කරන්න පොලිසියටත් ලොකු වෙහෙසක් උත්සාහයක් දරන්න වුනා. පැමිණ සිටි මහ පිරිස අතරේ කලාකාරයෝ හා කලාකාරියෝ රැසක්ද සිටියා මට මතකයි.  


රුක්මණි දේවිය පැමිණි වෑන් රථයේ ගැටුණු තෙල් බවුසරය පඬුවස්නුවර සමුපකාර සමිතියේ තිබෙනවා කියා මටත් දැනගැනීමට ලැබුණා යැයිද හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා කීය.  


පඬුවස්නුවර බලා අපි ගියේ මේ ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමටය.  


තුන්හෙළයේ මහා කලාකාරිනියකව සිටි රුක්මණි දේවිය මරු වසඟයට ගත් මේ තෙල් බවුසරය මේ වසරේ දෙසැම්බර් මාසයේදී වෙන්දේසියේ විකුණා දැමීමට සීමාසහිත පඬුවස්නුවර නව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති රංජිත් ධර්මසිරි මහතා ප්‍රධාන එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.  


රුක්මණි දේවි මහත්මිය අනතුරට පත්වූ 24 ශ්‍රී 0862 දරණ තෙල් බවුසරය අපේ සමුපකාර සමිතියට මිලදීගෙන තිබෙන්නේ 1985.08.16 වැනි දිනයි. ඒ වෙනකොට සමුපකාර සමිතියේ සභාපති ටී.එච්. ගුණවර්ධන මහත්තයා. මේ වෙනකොට ඔහු මිය ගිහින් රියදුරු ලෙස වයි.එම්. ජයසේකර මහත්තයා කටයුතු කර තිබෙනවා. ඔහුත් මේ වෙනකොට මිය ගිහින් යැයි සමුපකාර සභාපති රංජිත් ධර්මසිරි මහතා පැවසීය.  


සීමාසහිත පඬුවස්නුවර නව විවිධසේවා සමුපකාර සමිතියේ ප්‍රවාහන කළමනාකාරවරයා ලෙස සේවය කරන්නේ EM ලක්ෂ්මන් ඒකනායක මහතාය.  


රුක්මණි දේවි මහත්මිය ගමන් ගත් වෑන් රථය ගැටුණු තෙල් බවුසරය මේ වෙනකොට අපි යොදාගත්තේ භූමිතෙල් ප්‍රවාහනය කරන්න විතරයි. පෙට්රල් හා ඩීසල් ප්‍රවාහනය කිරීමට තරම් සුදුසු තත්ත්වයක නැති නිසා ඛනිජ තෙල් සංස්ථාව ඊට අවසර ලබාදී නැහැ. එහෙත් මේ බවුසරය තවමත් ඉහළ ධාවන මට්ටමක පවතිනවා. අපි මේ බවුසරය මේ වසරේ දෙසැම්බර් මාසයේ වෙන්දේසියේ විකුණා දැමීමට තීරණය කර තිබෙනවා.  


ඒ සමුපකාර සමිතියේ ප්‍රවාහන කළමනාකාර ලක්ෂ්මන් ඒකනායක මහතාගේ හඬයි.  


වර්තමානයේ මේ බවුසරයේ රියැදුරු ලෙස ඊ.එම්. නයන කුමාර මහතා සේවය කරයි.  

 

 


සටහන  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප  මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රි