සුද්දගෙ කාලෙ දියඇල්ලකින් තේ වත්තට ලයිට් ගත්ත හැටි


ඉතිහාසයෙන් පිටුවක්

 

ඉංග්‍රීසි පාලන සමයේ ජේම්ස් ටේලර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා හේවාහැට ලූල්කඳුර වත්තේ අක්කර 19ක තේ වගාවක් ආරම්භ කළේය. එම තේ වත්ත ලංකාවේ පළමු තේ වත්ත ලෙස ඉතිහාසයට එක් වී තිබේ. තේ වගාව ආරම්භ කර තිබෙන්නේ 1867 වසරේදීය. ඒ​ මෙයට වසර 151කට පෙරදීය.  
 
තේ වත්ත ආරම්භවීමත් සමඟම නොයෙක් පිරිස තේ වගාව වෙත යොමුවෙන්නට පටන් ගෙන ඇත. ඒ එය හොඳ ධන උල්පතක් වීම නිසාය. තේ බොන්නට බොහෝ පිරිස් යොමුවීම නිසා තේ සඳහා හොඳ ඉල්ලුමක් ඇති වීම වගාකරුවන් තේ වැඩි වැඩියෙන් වගා කිරීමට බල පෑ හේතුව විය.   


තේ කොළ නිෂ්පාදනය කළේ තේ කර්මාන්තශාලා තුළදීය. කර්මාන්ත ශාලාවක වැඩ නිසි ලෙස කරගෙන යාමට විදුලි බලය අත්‍යාවශ්‍යය. කර්මාන්ත ශාලාවට අවශ්‍ය විදුලි බලය කර්මාන්ත ශාලාව තුළදීම නිපදවා ගැනීමේ තාක්ෂණයක් එකල තිබී ඇත. කාර්මාන්ත ශාලාවකට විදුලි බලය සපයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් වී තිබේ.   


විදුලි බලය නිපදවා ගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍යම සාධකය වී තිබෙන්නේ ජලයයි. එහෙයින් එකල කර්මාන්තශාලා පිහිටුවා තිබෙන්නේ හොඳින් ජලය තිබෙන ප්‍රදේශවලය.   


කන්දක හෝ උස් බිමක ඉදිකර තිබෙන ටැංකියට නළ සවිකර තිබෙන්නේ විදුලි බලය නිපදවා ගැනීමට කර්මාන්තශාලාව තුළට ජලය ලබා ගන්නටය. ඔයකින් හෝ ඇළකින් ටැංකියට ලැබෙන ජලය නළ මඟින් කර්මාන්ත ශාලාවට එන්නේ ඉතාමත් වේගයෙනි. කර්මාන්ත ශාලාව තුළට සවිකර තිබෙන අවසන් බටයේ අගට දිග අඩි 5ක් පමණ බටයක් සවිකරයි. මුලින් සවිකර ඇති බටවල විෂ්කම්භයට වඩා අඩි 5ක් පමණ දිග බටයේ විෂ්කම්භය අඩුය. මුලින් ඇති ලොකු බටවලින් ලැබෙන ජලය විෂ්කම්භය අඩු බටයෙන් පිටවන්නේ ඉතාමත්ම වේගයෙනි.   


ඉතාමත් වේගයෙන් පිටවෙන ජලය බඹරයක පෙතිවල ගැටෙන්නට සලස්වයි. පෙතිවල ගැටෙන ජලයෙන් බඹරය ඉතාමත් වේගයෙන් කැරකෙයි. බඹරය වේගයෙන් කරකැවෙන විට එයට සවි කර තිබෙන ඩයිනමෝවෙන් විදුලි බලය නිපදවෙයි.   


විදුලි බලයෙන් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන අතරෙම ආලෝකය ලබා ගැන්මට සවිකර තිබෙන බල්බද දැල්වෙයි.   


වර්තමානයේ අප රටේ ජාතික විදුලි බල පද්ධතියක් ක්‍රියාත්මක වෙයි. එහෙයින් අතීතයේ දී මෙන් වර්තමානයේ කර්මාන්ත ශාලාව තුළදීම විදුලිය නිපදවා ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගී. එහෙයින් එකල තිබූ කර්මාන්ත ශාලා තුළදීම විදුලිය නිපදවා ගැනීමේ ක්‍රමය මෙකල භාවිත නොවේ.   


එකල භාවිත කළ ක්‍රමයෙන් විදුලි බලය ලබා ගන්නා කර්මාන්ත ශාලා ඇතැම් විට මේ මොහොතේ ද පවතිනවා විය හැකිය. විදුලි බලය නිපදවීම නොකළත් ඩයිනමෝ ඇතුළු එම උපකරණ එලෙසම සුරැකිව පවතින කර්මාන්ත ශාලා පිළිබඳ තොරතුරු ද ඉඳ හිට අසන්නට ලැබෙයි.   


විදුලි බලය නිපදවාගෙන යන්ත්‍ර සූත්‍ර පණ ගන්වාගත් තේ කර්මාන්ත ශාලාවක් පිළිබඳ විස්තරයක් ලැබිණ. එම කර්මාන්ත ශාලාව වෙත පිය නැගීමේ කාර්යය ආරම්භ කළේ මහනුවර - මහියංගනය මාර්ගයේ කිලෝ මීටර 39ක් දුර ගිය විට හමුවන හුන්නස්ගිරියේ සිටය.   


හුන්නස්ගිරියේ සිට නුගගල, නවනගල, ඩීන්ස්ටන්, ​ෙහයාපාර්ක් වතු මැදින් වැටී ඇති තාර පාරේ කිලෝ මීටර 9ක දුර මග ගෙවා කොබෝනිල්ල වත්තට පැමිණියෙමි. වර්තමානයේ කොබෝනිල්ල වත්ත අයිති වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවටය.   

 

 

කොබෝනිල්ල වත්තේ ඔය ගලා යන ස්ථානයෙන් පහළට වැටී ඇති කැලෑවෙන් වැසී ගිය පාරක් දිගේ ගමන් කළේ විදුලි බලය නිපදවාගෙන වැඩ කටයුතු කරගත් කර්මාන්ත ශාලාව සොයාගෙනය.   
ඉතා හොඳින් නඩත්තු කෙරෙන කර්මාන්ත ශාලාවක් නරඹන්නට ගියත් නරඹන්නට ලැබුණේ විනාශ වී ගිය කර්මාන්ත ශාලාවක ශේෂව ඇති කොටස්ය. ශේෂව ඇති කොටස් ද තව දුරටත් විනාශ වෙමින් කැලෑවට යටවෙමින් පවතී. කලක් ඉතා හොඳින් තේ කොළ නිෂ්පාදනය කළ කොබෝනිල්ල තේ කර්මාන්ත ශාලාවට සිදු වී ඇත්තේ මහ වින්නැහියකි.   


විනාශව ඇති කර්මාන්ත ශාලාවේ විදුලිය නිපදවා ගත් ස්ථානය සෙවීම ලේසි පහසු නොවන බව තේරිණ. මඟ පෙන්වන්නට පැමිණි කොබෝනිල්ල වත්තේ පදිංචි ඩී.එම්. සුනිල් දිසානායක (වයස 48) හිතවතා කැඩී බිඳී කැලෑවට යට වී තිබූ කාමරවල ඔබ මොබ ඇවිදිමින් විදුලිය නිපද වූ ස්ථානය සෙවීමේ කාර්යයේ නියලුනේය. ප්‍රයත්නය සාර්ථක විය. ස්ථානය හමු විය. ශේෂව තිබූ දේවල් දර්ශනය වන ලෙසට ඔහු කැලෑව ඉවත් කර දුන්නේය.   


කර්මාන්ත ශාලාවේ වැඩකළ දැන් වයෝවෘද්ධව සිටින අයෙක් කොබෝනිල්ල වත්තේ ලයිම් කාමරයක වෙසෙන බව දැන ගන්නට ලැබිණ. එහි ගිය විට හමු වූයේ අවුරුදු 80ක් වයසැති දිසානායක මුදියන්සේලාගේ අප්පුහාමිය ඔහු පැවසුවේ මෙවන් දෙයක්.   


කොබෝනිල්ල වත්තට මමයි මගේ පවුලේ අයයි ආවේ 1967දී. එතකොට මගේ වයස අවුරුදු 28යි. වත්ත අයිතිව තිබුණේ ගුණසේන මහත්තයට. ගුණසේන මහත්තය ගොඩක් කරුණාවන්තයි. මටයි මගේ පවුලේ අයටයි තේ වත්තේ වැඩ කරන්න අවස්ථාව හදල දුන්නා.   


1968 දී මට තේ පැක්ටෙරියෙ වැඩ හම්බ වුණා. පැක්ටරිය ඇතුළෙ තිබ්බ හැම වැඩක්ම කළා. පැක්ටරියට කරන්ට් ගත්ත මැෂින් වල වැඩ කරන්ටත් අවස්ථාව ලැබුණා. තේ දළු අඹරන යන්ත්‍ර වැඩ කළේ කරන්ට්වලින්. කරන්ට් එකෙන් පැක්ටරියෙ ලයිට් ඔක්කොම පත්තු වුණා. මහත්තුරු පදිංචි කුවාටස්වලටත් කරන්ට් දීලා තිබුණා ලයිට් පත්තු කරගන්ට.   


මේ වත්තේ කාමන් දේවාලයක් තියෙනවා. දැන් වගේම ඉස්සරත් කාමන් දේවාලයේ උත්සව තිබුණා. ඒ උත්සව දවස්වලට දේවාලයේ ලයිට් පත්තු කරගන්ට පැක්ටරියෙන් කරන්ට් දුන්නා. 

 

පැක්ටරියට උඩින් තියෙන කන්දේ ටැංකියක් හදල තියෙනවා. ඒ ටැංකියේ උස දිග පළල අඩි 12 ගානෙ තියෙන්නේ. ටැංකියට වතුර ලැබෙන්නේ පහළට ගලාගෙන එන ඔයේ ඉහළ කොටසෙන්. ටැංකියේ ඉඳලා පැක්ටරියට බට හයි කරල තියෙනවා. ඒ බට දිගේ එන වතුරෙන් පැක්ටරිය ඇතුළෙ තියෙන පෑන් එක කැරකෙරනවා. පෑන් එක කැරකෙනකොට ඩයිනමෝ එකෙන් කරන්ට් හැදෙනවා.   


ඩයිනමෝ එක කැඩුනොත් බාස්ලා ඇවිල්ලා ඒක හදනවා. බෙයාරින් යනවා. පටි කැඩෙනවා.   


මේ වත්තේ තේ අක්කර 202කුත්, එනසල් අක්කර 35කුත් තිබුණා.   

 

 

1974 මැයි 14 වෙනිදා තේ වත්තයි පැක්ටරි එකයි රජයට ගත්තා. තේ වත්ත පාලනය කරන්ට රජයෙන් දාපු මහත්තුරු තේ වතුවල වැඩ ගැනවත් පැක්ටරියෙ වැඩ ගැනවත් මොනවත් දන්නෙ නෑ. රජයට ගත්ත දවසෙ ඉඳල තේ වත්තයි පැක්ටරි එකයි දවසෙන් දවස විනාශ වුණා.   


පැක්ටරියෙ දළු අඹරන එක 1975 දී නැවැත්තුවා. කොබෝනිල්ල වත්තෙ දළු අඹරන්ට හෙයාපාර්ක් වත්තෙ පැක්ටරියට අරන් ගියා. කොබෝනිල්ලෙ පැක්ටරිය වැහිල යන්ට ඇරිය.   


මීට අවුරුදු තුනකට විතර ඉස්සර පැක්ටරියෙ තිබුණ යකඩ බඩු වැවිලි සංස්ථාවෙ මහත්තරු කිලෝ ගණනට මුදලාලිලාට වික්කා. පැක්ටරියෙ බඩු විකුණන්ට ගලවනකොට මගේ හිතට ඇති වුණේ ලොකු දුකක්.   
හුන්නස්ගිරිය ත්‍රීරෝද රථ සංගමයේ ලේකම් ගනේෂන් අලගේෂන් (38) මහතා පදිංචිව සිටින්නේ හුන්නස්ගිරිය හෙයාපාර්ක් වතුයායේ නවනගල වත්තේය. වතුයායේ සිදුවන දේවල් පිළිබඳ අවධානයෙන් පසුවන ඔහු පවසන්නේ මෙවන්​ දෙයකි.   


දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් මීමුරේ නැරඹීමට යන්නේ මේ වතුමැදින් වැටී ඇති පාරෙනුයි. විනාශ වී ඇති කොබෝනිල්ල ටී ෆැක්ටරියෙ කොටසක් ප්‍රතිසංස්කරණය කරලා එකළ තේ කර්මාන්ත ශාලාවට විදුලිය ලබා ගත් ආකාරය දැක බලාගන්ට අවස්ථාවක් සලසා දිය හැකියි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්ටනම් සංචාරකයන්ගේ අවශ්‍යතා තේරුම් ගත යුතුයි.   

 

 

 


සටහන හා ඡායාරූප 
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ