සැබෑ මූණු ද? වෙස් මූණු ද?


 

 

 

සැබෑ මිනිස් මුහුණක් තරමටම සමාන ව්‍යාජ වෙස් මුහුණු නිර්මාණය කරන වංචනික පුද්ගලයන් නිසා සොරුන්ට, අපරාධකරුවන්ට හා කොල්ලකරුවන්ට හොඳ කාලයක් උදාවීමට නියමිතය. සැබෑ මුහුණුවල අංග ඒ ආකාරයෙන් නිරූපණය කරමින් සිලිකන්වලින් නිර්මාණය කරන මෙම අධිතාත්වික වෙස් මුහුණු සාමාන්‍ය පුද්ගලයින්ට වෙන්කර හඳුනාගත නොහැකි බව පර්යේෂණයකින් හෙළිව ඇත.   


එහිදී සැබෑ මුහුණුවල හා ඒ මුහුණ අනුසාරයෙන් හැදූ වෙස් මුහුණුවල ඡායාරූප ජපානයේදී හා එක්සත් රාජධානියේදී මිනිසුන් 240 දෙනකුට පෙන්වා වෙස් මුහුණ හඳුනා ගන්නැයි කියන ලදී. නමුත් පස්දෙනකුගෙන් එක් අයකු වෙස් මුහුණ හඳුනා ගැනීමට අපොහොසත් වූ අතර වෙනස් ජන වර්ගයක මුහුණු වෙන් කර හඳුනා ගැනීම ඔවුනට ඉතා දුෂ්කර විය.   
මුහුණුවල තිබෙන ලප, කැළැල්, ඉන්නන්, රැලි හා රෝම ආදී සියුම් ලක්ෂණ පවා ඇතුළත් කොට හදන මෙම වෙස් මුහුණු ඉදිරියේදී තවදුරටත් දියුණු වෙමින් නිපදවෙන බැවින් ද එවැනි නිපැයුම් ව්‍යාප්ත වනවිට අඩු මිලකට විකුණන බැවින් ද අපරාධකරුවන් සිය සැබෑ අනන්‍යතාව සැඟැවීම සඳහා මෙවැනි මුහුණු භාවිත කරනු ඇත.   
දැනට එකක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂ තිස්දහසකට අධිකය.   


වංචාකරුවන් දැනටමත් එවැනි මුහුණු යොදාගෙන වංචනික ක්‍රියාවන්හි යෙදීම අරඹා ඇත. 2015 වසරේදී ප්‍රංශයේ ආරක්ෂක ඇමැතිගේ මුහුණ එසේ කෘත්‍රිමව නිර්මාණය කළ වංචනිකයෙක් එය පැලැඳ, ප්‍රංශ ආරක්ෂක ඇමැති ලෙස පෙනී සිටිමින් වීඩියෝ ඇමතුම් දෙමින් ධනවතුන් රැසකගේ මුදල් මිලියන ගණනක් වංචා කළේය.   


සැබෑ අනන්‍යතාව හා වයස සැඟවීම සඳහා අපරාධකරුවන් මෙවැනි මුහුණු භාවිත කරන බව ආරක්ෂක අංශ පවා දැන සිටියත්, මුහුණ නිපදවීම දිනෙන් දින දියුණු වෙමින්, වෙනසක් සොයා ගැනීමට නොහැකි තරමට වර්ධනය වී තිබීම සැබෑම ගැටලුවකි. නමුත් ඒ සියල්ලට වඩා භයානක වන්නේ අපරාධකරුවන් එවැනි වෙස් මුහුණු භාවිත කරන බව සාමාන්‍ය මිනිසුන් නොදැන සිටීමයි.   


මෙම පර්යේෂණය බ්‍රිතාන්‍යයේ යෝක් සහ ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලවලින් කළ එකකි.