විශ්‍රාමික එස්.අයි. ඝාතන හෝඩුවාව ජංගම දුරකථනයේ


දඩබ්ම

 

රාජා මාමාගේ ගේ ඇතුළෙන් ඉවසන්න බැරි කුණු ගඳක් එනවා. මම රාජා මාමාගේ ගේ ළඟින් යන​කොට තමා කුණු ගඳ ආවේ. ගෙයි දොරවල් සේරමත් වහලා.
පරවියන් ඇල්ලීමට ගිය දරුවෙක් ගමේ වැඩිහිටි කිහිපදෙනෙක් සමග කියා සිටියේ හති දමාගෙන දුවගෙන ඇවිත්ය.


ගමේ ඒ වැඩිහිටි පිරිස රාජා මහත්තයාගේ ගෙවල් පැත්තට ගොස් විපරම් කර බලද්දී ඒ කුණු ගඳ ඔවුන්ටද දැනී ඇත.
රාජා මහත්තයා කියා කිහිපවරක්ම කතා කළත් ගේ ඇතුළෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබී නොමැත.
කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව වටහාගත් ඔවුන් මේ බව බිංගිරිය පොලිසියට ඒ මොහොතේම දැනුම්දී තිබේ.
බිංගිරිය පොලිසියේ කණ්ඩායමක් නිවසට පැමිණ සෝදිසි කර බැලීමේදී ඉදිමී ඕජස් ගලමින් නිල මැස්සන් පවා වසමින් තිබූ මළ සිරුරක් සොයාගත් අතර එය වෙනකාගේවත් නොව රාජා මහත්තයාගේ බව හඳුනාගැනිණ.


ගමේ අය රාජා මහත්තයා කිව්වාට ඔහුගේ නම ජයමහ හිටිහාමිලාගේ විජේතුංගය.
විජේතුංග මහතා විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකවරයෙක් වන අතර පදිංචිව සිටියේ බිංගිරිය පන්සල පාරේය.
මිය යනවිට ඔහු පසුවූයේ 69 හැවිරිදි වියේය.
මෙය ඝාතනයක් බව පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවිණි.
විජේතුංග මහත්තයා බිරියගෙන් වෙන්වී සිට ඇත්තේ මීට වසර 12 ක පමණ ඉහතදීය. ඔහුගේ බිරිය රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මෙම විවාහයෙන් ඔවුන්ට දරුවන් ලැබී නොමැත.
ප්‍රදේශයේ පොදු වැඩ කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන විජේතුංග මහත්තයා ගමේ පන්සලේ දායක සභාවේද ක්‍රියාකාරී සාමාජිකයෙකි.
කා සමගත් ඇයි හොඳයිකම් පා ජීවත්වූ විජේතුංග මහත්තයාට ගමේ කිසිම තරහකාරයෙක් සිටියේ නැත.
විශ්‍රාම වැටුපෙන් වැඩි කොටසක් විජේතුංග මහත්තයා වැය කර ඇත්තේ ගමේ පොදුවැඩ කටයුතු වෙනුවෙනි.
ගමේ හැමදෙනාගේම ආදරය දිනා සිටි විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක විජේතුංග මහත්තයාව ඝාතනය කිරීමට වුවමනාවක් තිබුණේ කාටද? ඒ කුමක් සඳහාද යන්න පොලිසියට මෙන්ම ගමේ අයටද උභතෝකෝටික ප්‍රශ්නයක් විය.


විජේතුංග මහත්තයාගේ මේ අබිරහස් ඝාතනයට ඔහුගේ සහෝදරයෙකුගේ හා එම සහෝදරයාගේ දියණියක් විවාහකර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණයකුගේ සම්බන්ධයක් තිබෙන බව කියමින් පොලිසියට නිර්නාමික පෙත්සම්ද ලැබී තිබුණේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරගෙන යන අතරවාරයේය.
පොලිසියට ලැබී තිබුණ ඒ පෙත්සම් ඔස්සේද පරීක්ෂණයක් සිදු කළ අතර මේ ඝාතනයට ඔවුන් දෙදෙනාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තහවුරුවී ඇත.
විජේතුංග මහත්තයාගේ ඝාතකයා ගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවිය.
කුලියාපිටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකවරයාගේ ඝාතකයන් අල්ලා ගැනීමේ වගකීම පැවරුවේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතාටය.
පොලිස් අධිකාරි සිගේරා මහතාගේ මගපෙන්වීම යටතේ පරීක්ෂණ ආරම්භ කළ පොලිස් පරීක්ෂක පුෂ්පිත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම බිංගිරිය බලා පිටත්ව ගොස් ඇත්තේ විජේතුංග මහත්තයාගේ ඝාතකයන් ගැන මොනයම් හෝ හෝඩුවාවක් සොයාගෙන ඉදිරි පරීක්ෂණවලට පොටක් පාදා ගැනීමටය.
විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකවරයා ජංගම දුරකතනයක් පාවිච්චි කරනවද කියා සොයා බැලී​මේදී ඔහු කිට්ටුවෙන් ඇසුරු කළ අය පොලිස් කණ්ඩායමට පවසා ඇත්තේ එවැනි දුරකථනයක් පාවිච්චි නොකළ බවය.
එහෙත් ගමේ සිටි එක් අයෙක් විජේතුංග මහත්තයා දවසක් කා සමග හෝ ජංගම දුරකතනයකින් කතා කරනවා දැක තිබූ නිසා ඔහු ඒ බව පොලිස් පරීක්ෂක පුෂ්පිත මහතා එක්ක පවසා ඇත.


විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකවරයා සතුව තිබූ බව කී ඒ දුරකතනයද නිවසේ තිබී පොලිසියට හමුවූයේ නැත.
ඝාතකයන් ගැන කිසිම හෝඩුවාවක් ලැබී නොතිබූ නිසා කුලියාපිටියෙන් ගොස් සිටි පොලිස් කණ්ඩායමද සිට ඇත්තේ පඹගාලක පැටලී බව පැවසේ.
පොලිස් පරීක්ෂක පුෂ්පිත මහතා එහෙත් වැඩේ අත්හැරීමට සූදානම් වූයේ නැත.
විජේතුංග මහතාගෙන් වෙන්වී ගොස් කලවානේ පදිංචිව සිටින ඔහුගේ බිරියගේ දුරකතන අංකය ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන් ඉල්ලාගත් පොලිස් පරීක්ෂක පුෂ්පිත මහතා ඇයට කතා කර ඇත.

 

 


මහත්තයා මගේ අක්කාට මේ ළඟදී දවසක කතා කරලා තිබුණා. ඒ බව අක්කා මට කිව්වා.
විජේතුංග මහතාගේ බිරිය ඇමතුමට පිළිතුරු ලබාදෙමින් පොලිස් පරීක්ෂකවරයා සමග පවසා තිබේ.
විජේතුංග මහත්තයාගේ බිරිය සිය සහෝදරියට කතා කළ දුරකථනයේ අංකය ඇයගෙන් ඉල්ලාගෙන පොලිස් පරීක්ෂකවරයාට දී ඇත.
ඒ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ලබාගත්තත් එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත්තේ එය ක්‍රියාවිරහිත කර තිබූ නිසාය.
කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විජේතුංග මහත්තයාගේ එම ජංගම දුරකතන අංකයේ විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට අධිකරණ නියෝගයක් ලබාගත්තේය.


දුරකතන විශ්ලේෂණ වාර්තාව ලැබෙන තෙක් පොලිස් කණ්ඩායම මෙම අබිරහස් ඝාතනයේ තොරතුරු සොයාබැලීම දිගටම කරගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් විජේතුංග මහත්තයාගේ නිවසේ කාමරයක් කුලියට ගෙන මීට වසරකට පමණ ඉහතදී ගුවන් හමුදා සෙබළෙකු පදිංචිව සිට ඇති බව දැනගැනීමට ලැබී ඇත.
මේ ගුවන් හමුදා සෙබළා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන ගිය ගඩොල් කැපීමේ ව්‍යාපෘතියකට සහභාගිවීමට පැමිණ සිටි අයෙකි.
2006 වසරේ සිට විජේතුංග මහත්තයාගේ ගෙදර කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි මේ ගුවන් හමුදා සෙබළා 2007 වසරේ යන්නට ගොස් ඇත.
විජේතුංග මහත්තයා ගුවන් හමුදා සෙබළා ගෙදරින් පන්නාගෙන ඇතැයි කියන්නේ ඔහුගේ මුදල් සොරාගන්නා බවට චෝදනා කරමිනි.
බිංගිරියේ ගෙදරින් එදා පිටවගිය පසු ගුවන් හමුදා සෙබළා ආයේ කිසිම දිනක විජේතුංග මහත්තයාගේ ගෙදරට පැමිණ තිබුණේද නැත.
පොලිස් කණ්ඩායම කරන ලද වැඩිදුර සොයා බැලීම්වලදී මේ තොරතුරු හෙළිවී තිබිණි.
ගමේ බොහෝදෙනෙක් පොලිස් කණ්ඩායමට පවසා තිබුණේ ගුවන් සෙබළා ගමේ පැත්ත පළාතකවත් පසුගිය වසර 12 ක කාලය තුළ පැමිණ ගොස් තිබුණේ නැති නිසා මෙයට කිසිසේත් ඔහුගේ සම්බන්ධයක් තිබීමට නොහැකි යැයි කියාය.
මේ ගුවන් හමුදා සෙබළා හඟුරන්කෙත රිකිල්ලගස්කඩ අධිකාරිගම ගම්මානයේ පදිංචි අයෙක් බවටද තොරතුරු පොලිසිය අනාවරණය කරගත්තේය.
උපපොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තාව ද මේ අතරවාරයේ පොලිස් කණ්ඩායම අතට පත්ව තිබිණි.
ගුවන් සෙබළා පරිහරණය කරන ජංගම දුරකතනයේ සිම්පත විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකතනයට දමා ඇමතුම් ලබාගෙන ඇති බව ඒ හා සම්බන්ධව කෙරුණු තාක්ෂණික පරීක්ෂණවලින් තහවුරු විය.

 

 


ගුවන් සෙබළා බිංගිරියට පැමිණ ගොස් තිබුණ බවටද කරුණු අනාවරණය වීමෙන් පසු මෙම ඝාතනයට ඔහුගේ මොනයම් හෝ සම්බන්ධයක් ඇති බවට පොලිසියට පැහැදිලිවී ගිය කරුණක් විය.
කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායම අනාවරණය කරගත් තොරතුරු මත රිකිල්ලගස්කඩ අධිකාරිගමට ගොස් ගුවන් හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකගේ ඝාතනය සම්බන්ධයෙනි.
පොලිස් අත්අඩංගුවට පත්වන විට සෙබළා හමුදාව අතහැර ගොස් සිටියේය.
තිස්හය හැවිරිදි වියේ පසුවන සැකකාර ගුවන් සෙබළාට අවුරුද්දක පමණ වයසේ පසුවන දරුවෙක්ද සිටින තාත්තා කෙනෙකි.
විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකවරයා මරා පැහැරගෙන ගොස් තිබූ ජංගම දුරකතනයද ඔහු ළඟ තිබී පොලිසිය සොයාගත්තේය.
රික්ල්ලගස්කඩින් අල්ලාගත් සැකකරු බිංගිරියේ පිහිටි විශ්‍රාමික උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවසට කැඳවාගෙන ඇවිත් ඔහු ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන උදැල්ලක්ද පොලිස් කණ්ඩායම සොයාගෙන තිබිණි.
මීට වසර 12 කට විතර කලින් ගුවන් සෙබළාව විජේතුංග මහතා ගෙදරින් පන්නා දමන විට ඔහු (සෙබළා) ඒ නිවසින් පිටව ගොස් තිබුණේ ඔහුට අයත් ජාතික හැඳුනුම්පත හා තවත් බඩුමුට්ටුද දමාය.


සැකකාර සෙබළා විජේතුංග මහතාගේ ගෙදර සොයාගෙන මහ රෑක ආවේ මීට වසර 12 කට පමණ ඉහතදී දමාගොස් තිබූ හැඳුනුම්පත ඇතුළු බඩු බාහිරාදිය ඉල්ලාගෙන යාමටය.
එසේ පැමිණි ඔහු පසුදින අලුයම් කාලය උදාවන තෙක් නිවස අසලටවී සිට ඇත.
හිමිදිරි උදෑසන අවදිවී නිවසින් එළියට ආ විජේතුංග මහත්තයාට දැක ගැනීමට ලැබුණේ මීට වසර 12 කට ඉහතදී තමා විසින් ගෙදරින් පන්නා දැමූ ගුවන් සෙබළාය.
උඹ ගොඩක් කාලෙකට පස්සේ ආවේ ගෙදර තියන දේවල්​ හොරකම් කරගෙන යන්න නේද කියා විජේතුංග මහත්තයා ගෝරනාඩු කර ඇත.
තමා පැමිණි කාරණය සෙබළා කියා ඇතත් එය පිළිගැනීමට ඔහු සූදානම්වී නොමැත.
මේ නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීම කෙළවර වූයේ විජේතුංග මහතා උදලු පහරකා මියයාමෙනි.
විජේතුංග මහතාගේ සිරුර නිවස තුළට ඇදගෙන ගොස් දැමූ සැකකරු ඔහුට අයත් හැඳුනුම්පත හා බඩු බාහිරාදිය පමණක් නොව විජේතුංග මහතාගේ ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇත. සැකකාර ගුවන් සෙබළාගේ ජංගම දුරකතනයේ බැටරිය බැස තිබූ අවස්ථාවක ඔහු විජේතුංග මහතාගේ ජංගම දුරකතනයේ සිම් කාඩ් එක ගලවා එය ඔහුගේ (සැකකරුගේ) ජංගම දුරකතනයට දමා ඇමතුම් කිහිපයක් ලබාගෙන තිබිණි.
සැකකරුට වැඩේ වැරදුනේ එතැනිනි.


සැකකරුගේ ජංගම දුරකතනයේ ඉමි නම්බර් එක සොයාගැනීමට පොලිසියට හැකිවූයේ එසේ ඇමතුම් ලබාගෙන තිබූ නිසාය.
පොලිස් පරීක්ෂක පුෂ්පිත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමේ නොපසුබට උත්සාහය නිසා අවසානයේ සැබෑ අපරාධකරුවා පොලිසියට කොටුවිය.
මම හිතුවේ නැහැ සර් කවමදාවත් මේ මර්ඩර් එකට මාව මාට්ටුවෙයි කියා. සැකකරු පොලිස් නිලධාරීන් එක්ක පවසා තිබෙන බව දැනගැනීමට ඇත.
අපරාධයක් කරන ඕනෑම කෙනෙකු කවදාවත් තමන්ව පොලිසියට මාට්ටුවෙතැයි කියා සිතන්නේ නැත.
නමුත් ඇත්ත එය නොවේ. කොච්චර උප්පරවැට්ටි යොදා අපරාධයක් සිදුකළත් අවසානයේ අපරාධකරුවන් පොලිසියට කොටුවේ.
වයඹ සහ උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නි​යෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කුලියාපිටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ විශේෂ උපදෙස් මත කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ.ඩී. වික්‍රමනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන සෙනවිරත්න (33604), ප්‍රැන්සිස් (7015), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියශාන්ත (30230), සුබෝධ (30232), ජයමහ (40124) සහ කැලුම් (63456) යන මහත්වරුද මෙම පරීක්ෂණ සඳහා මුලසිටම හවුල්වී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ් බාරයේ පසුවේ.

 


සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය