විජයවර්ධන පරපුර යළි කැලණිය ගොඩනැගූ හැටි


කැලණි පුදබ්ම බොදු ජනයාට රැකදුන් හෙලේනා විජයවර්ධන ළමාතැනිය-2

කැලණි විහාරය

හෙලේනා විජයවර්ධන ළමා තැනී නව විහාර මන්දිරයට මුල්ගල තබන අවස්ථාව දැක්වෙන කැලණි විහාර සිතුවම   

 

 

කාලිංග මාඝ හා පෘතුගීසීන් විසින් විනාශ කර දමන ලද කැලණි පුද බිම විජයබා රජු ඇතුළු රජවරුන් විසින් පසුව පිළිසකර කෙරිණ. ඉන් පසු කැලණි විහාරයේ වර්තමාන පිබිදීම ඇති වීමට මූලිකවම කටයුතු කළේ හෙලේනා විජයවර්ධන ළමා තැනී ඇතුළු විජයවර්ධන පරම්පරාවයි. එතුමියගේ ධන පරිත්‍යාගයෙන් බුදු මැදුරේ ගල් අතුරා ප්‍රතිසංස්කරණය කළ අතර ඒ උතුම් පින්කම සිහිපත් වීම පිණිස ඇගේ නමේ මුල් අකුරු සහිතව කළු ගලක (H.D.W.) කොටා ඇති අතර එම දිනය ද 1888-05-25 ලෙස සඳහන් කර තිබේ. එම ගල් පුවරුව බුදු මැදුර සමීපයේ බිම සවි කර තිබේ.   


හෙලේනා දොන් විජයවර්ධන මැතිනිය විසින් 1927 ජනවාරි 10 දින සුබ මොහොතින් කැලණි විහාරයේ නව මහා ප්‍රතිමා මන්දිරයට මුල්ගල් තබන ලදී. එම අවස්ථාව දැක්වෙන චිත්‍රයක් ද කැලණි විහාර සිතුවම් අතර වෙයි.   


අග්‍රගණ්‍ය කලාකරු සෝලියස් මෙන්දිස් විසින් නිර්මිත අතිරමණීය මූර්ති හා බිතුසිතුවම් කැලණි විහාරයේ චිත්‍රණය වූයේ ද හෙලේනා විජයවර්ධන මැතිනියගේ පූර්ණ අනුග්‍රහයෙනි. භාරතයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ නන්දලාල් බෝස් ලවා කැලණි විහාරයේ බිතුසිතුවම් ඇඳ ගැනීමට එවකට විහාරස්ථානයේ භාරකරු ලෙස ක්‍රියා කළ ඩී.සී. විජයවර්ධන මහතාට අවශ්‍ය වුවත්, එතරම් දීර්ඝ කාලයක් මෙරට රැඳී සිටීමට භාරතයේ චිත්‍ර ශිල්පියාට නොහැකි බව දන්වා සිටියේය.   
මෙම අති වගකීම් සහිත කටයුත්තට මෙරටින්ම දක්ෂ චිත්‍ර ශිල්පියෙකු සොයා දීමට උදව් කිරීමට නන්දලාල් බෝස් මහතා එකඟ විය. ඒ අනුව ඩී.බී. ධනපාල මහතා ද සමග ලංකාව පුරා සංචාරය කරමින් දක්ෂ චිත්‍ර ශිල්පියකු සොයා ගැනීමට ඔවුහු උත්සාහ කළහ. මෙම දෙදෙනා මීගමුව ප්‍රදේශයේ කළ සංචාරයක දී විහාරයක ඇඳ තිබූ චිත්‍ර පිළිබඳව පැහැදී ඒවා ඇඳි චිත්‍ර ශිල්පියා සොයා ගත්තේය. ඔහු සෝලියස් මැන්දිස්ය. 

 
වලිමුණි සෝලියස් මැන්දිස් මහතා මීගමු පළාතේ දේශීය වෛද්‍යවරයෙකුගේ පුත්‍රයෙකි. 1897 වසරේ උපන් ඔහු වැඩිදුර අධ්‍යාපනයක් නොලැබුවත් චිත්‍ර ඇඳීමේ දක්ෂයකු විය. නන්දලාල් බෝස්ගේ යෝජනාවකට අනුව ඩී.සී. විජයවර්ධන මහතා විසින් සෝලියස් මෙන්දිස්ව ඉන්දියාවේ සංචාරයකට පිටත් කර යැවීය. ඒ ගමනේදී ඉන්දියාවේ ආජන්තා, ඇල්ලෝරා සහ භාග් වැනි ගුහා චිත්‍ර දැඩිව අධ්‍යයනය කළ ඔහු නන්දලාල් බෝස් ගෙන්ද තවදුරටත් ඉගෙන ගැනීමට ශාන්ති නිකේතනයේ නතර විය.   


පසුව ලංකාවට පැමිණි සෝලියස් මැන්දිස් මහතා කැලණි විහාරයේ බුදු මැදුරේ සිතුවම් ඇඳීම ආරම්භ කළේ 1930 වසරේදීය.   
ඔහුට ඒ සඳහා ගත වූ කාලය වසර 18 කි. මෙරට චිත්‍ර කලාව අතරට “සෝලියස් සම්ප්‍රදාය” බිහි වූයේ කැලණි විහාර සිතුවම් සමගය. සෝලියස් මැන්දිස් මහතා චිත්‍ර ඇඳීමට අමතරව විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පය හා බිතු කැටයම් ආදිය ද නිර්මාණය කළේය. එකම ශිල්පියෙකු අතින් සිතුවම්, මූර්ති හා ගෘහ නිර්මාණ කළ එකම පූජනීය ස්ථානය වශයෙන් ද කැලණිය ඉතිහාසගත වෙයි.   


සෝලියස් මෙන්දිස් විසින් ආරම්භ කළ කැලණි බිතුසිතුවම් ඔහු අතින්ම නිමාවක් කිරීමට නොහැකි වූ බව කියැවේ. එහි අවසන් අදියර වූයේ රන් ආලේපිත සමාධි පිළිමයේ පිටුපස බිත්තියේ හිමාල කඳුවැටිය සිතුවම් කිරීමයි. පසුව එම කාර්යය පැවරුණේ ඉංග්‍රීසි ජාතික කාර්ල් කැස්මන් නමැත්තාටය. මෙසේ වීමට හේතුව අදටත් අප්‍රකටය. මේ සිදු වීමෙන් පසුව මෙන්දිස් මහතා චිත්‍ර ඇඳීම නතර කළේය. පින්සලය ඔහු යළි අතට නොගත්තේය. 

 
ඔහු කල සේවයට උපහාර වශයෙන් විජයවර්ධන පවුලට අයත් හලාවත මාදම්පේ පිහිටි අක්කර පහක පමන ඉඩමක් පරිත්‍යාග කෙරිණි. එහි කුඩා නිවසක් සාදා හුදකලාව ජීවත් වූ මෙන්දිස් මහතා පසුව එය ආබාධිත දරුවන්ගේ පාසලක් සඳහා පරිත්‍යාග කළේය.   


කැලණි විහාරය නැරඹීමට යටත්විජිත සමයේදී ඉංග්‍රීසි ජාතික අග්‍රවිනිශ්චයකාරයෙක් පැමිණියේය. කැලණි විහාරය පිළිබඳව ඔහුට කරුණු කියා දුන්නේ වල්පොල රාහුල හිමියන්ය. ඔහු විහාරයේ ඇඳි චිත්‍ර දෙස බලා සිතුවම් ඇඳි ශිල්පියා දැකගැනීමට අවශ්‍ය බව කීය. වල්පොල් රාහුල හිමියන් සෝලියස් මෙන්දිස් මහතාට ඔහුව මුණගැස්සවීය. ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බී.ඇම්. බරුවා මහතා ද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දේශනයක් සඳහා පැමිණි මොහොතක කැලණි විහාරය නැරඹීම සඳහා පැමිණියේය.   


ඔහුටද අවශ්‍ය වූයේ සිතුවම් ඇඳි ශිල්පියා දැක ගන්නටය. වල්පොල රාහුල හිමියන් ඔහුට එම අවස්ථාව උදා කර දුන්නේය. මෙසේ කැලණි පුද බිමට පැමිණ සිතුවම් නැරඹූ බොහෝ දෙනාගේ ඊළඟ කැමැත්ත වූයේ සෝලියස් මෙන්දිස් මහතා දැකගන්නටය. එසේ නැතිනම් ඔහු පිළිබඳව විස්තර දැන ගන්නටය. සුරා සූදුවෙන් හා මස් මාංශ අනුභවයෙන් ද වැළකී ආගමික ජීවිතයක් ගත කළ මෙන්දිස් මහතා 1975 සැප්තැම්බර් 02 දින මියයන විට 78 වියෙහි පසුවිය.   
කැලණි රාජ මහා විහාරයේ දුරුතු මහා පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ 1927 දීය. ඒ හෙලේනා විජයවර්ධන මැතිනියගේ මූලිකත්වයෙනි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයත්, කැලණි විහාරයේ නව බුදු මැදුරේ වැඩ ඇරඹීමත් සිහිපත් කරමින් එදා ආරම්භ කළ දුරුතු මහා පෙරහර අදත් දුරුතු මාසයේදී පැවැත්වෙයි.   

 


​හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට හේතු පාදක වූ කතාවක් ද තිබේ. 1888 වැනි පසළොස්වක පොහෝ දිනයක සේදවත්තේ පදිංචි දොන් පිලිප් තුඩුගල විජයවර්ධන නම් තම දානපති සැමියා ද සමග හෙලේනා මැතිනිය කැලණිය පුදබිම වන්දනාව පිණිස පැමිණියාය. එදින අධික වර්ෂා දිනයකි. එකළ කැලණි විහාරයේ බුදු මැදුර මැටි සහිත බිමක් වූ අතර වර්ෂාව හේතුවෙන් බුදු මැදුර සහිත එම ශාලාව තෙමී මඩ ගොහොරුවක් වී තිබිණි. 

 
මේ තත්ත්වය දැක මහත් කම්පාවට පත් වූ හෙලේනා විජයවර්ධන මැතිනිය නොබෝ දිනකින් ඇගේ පුද්ගලික ධනය වැය කර බුදු මැදුරු බිමෙහි ගල් අතුරා ප්‍රතිසංස්කරණය කරවීය. ඉන් අනතුරුව දිරාපත්ව තිබූ මල් ආසනය වෙනුවට කිරිගරුඬ මතුපිටක් සහිත විශාල මල් ආසනයක් කරවා 1902 ජනවාරි 22 දින පූජා කළාය.   


1927 ජනවාරි 23 දින කැලණි රාජ මහා විහාරස්ථානයේ නව ඉදිකිරීම් සඳහා මුල්ගල හෙලේනා විජයවර්ධන ළමා තැනිය විසින් තබා කටයුතු සිදුවෙමින් තිබියදී ළමා තැනිය රෝගාතුර වූවාය. ඒ පක්ෂගාත රෝගය වැලඳීමෙනි. තම දරුවන් සියලු දෙනා ඈ වෙතට කැඳවා තමාගේ මරණයට පෙර කැලණි විහාරයේ වැඩ කටයුතු කෙසේ හෝ අවසන් කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.   


ඇයට දරුවන් නව දෙනෙකු සිටි අතර ඉන් හත් දෙනෙක්ම පිරිමි දරුවෝ වූහ. ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ද එක් පුත්‍රයෙකු විය. ඩී.ආර්.ගේ වැඩි මහල් සොහෝදරයා වූ ඩී.සී. විජයවර්ධන මහතා අනතුරුව කැලණි විහාරස්ථානයේ භාරකරු ලෙස කටයුතු කරන අතර 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රකාශ කෙරුණ රිවොල්ට් ඉන් ද ටෙම්පල් කෘතියේ කතුවරයා ද ඔහුය. 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමති මණ්ඩල සාමාජිකයකු වූ විමලා විජයවර්ධන ඔහුගේ භාර්යාවයි.   


ඩී.සී. විජයවර්ධන මහතා කැලණි විහාරයේ භාරකරු ලෙස පත්ව විජයවර්ධන පරපුරෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් සියල්ල ඉටු කළේය. එපමණක් නොව හෙලේනා විජයවර්ධන මැතිනියගේ ඉල්ලීම මත එතුමිය උපන් සේදවත්ත නිවස ද විහාරස්ථානයක් වෙනුවෙන් පූජා කරන ලදී. එම නිවස හා ඉඩම් විජයවර්ධන පරපුර විසින් විහාරස්ථානයක් වෙත පූජා කර, අද වනතෙක් එම විහාරස්ථානයට අවශ්‍ය පහසුකම් ලබා දීමට දායකත්වය සපයයි.   
වැල්ලම්පිටිය, සේදවත්ත පුරාණ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් ප්‍රකාශ කරන්නේ විජයවර්ධන පරපුර තරම් බුද්ධශාසනයට සේවය කළ පරපුරක් පිළිබඳව වාර්තා නොවන බවය. තම මිත්තනිය වූ හෙලේනා විජයවර්ධන සමග කැලණි විහාරයට නිතර ආ ගිය අයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ද තම අන්තිම කැමති පත්‍රය 1991 මැයි මස 09 වන දින ලියා තබමින් සඳහන් කර තිබුණේ තම අභාවයෙන් පසු දේහය කැලණි රජ මහා විහාර දර්ශන පථයේ ගිනි දල්වන ලෙසය. පසුව ජේ.ආර්.ගේ දේහය 1996 නොවැම්බර් 01 දින කැලණියේදී ආදාහනය කෙරිණි.   
විජයවර්ධන පරපුරේ අයෙකු කැලණියේ දේශපාලනයට සම්බන්ධ වන්නේ ද එම පරපුර කැලණිය සමග ඇති මෙම දිගු කාලීන සබඳතාව අනුවය. ජේ.ආර්. හා රනිල්ගෙන් පසුව එම පරපුරේ රුවන් විජයවර්ධන මහතා කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලෙස පත් වූ පසුව කැලණියේ නව පිබිදීමක් ඇති වී තිබේ. විජයවර්ධන පරපුරෙන් කැලණිය නියෝජනය කළ ප්‍රථමයා වන්නේ ජේ.ආර්. ජයවර්ධනය. ජේ.ආර්.ගේ ප්‍රධාන සංකල්පයක් වූයේ කැලණිය විහාරයට අමතරව අවට බෞද්ධ විහාරස්ථාන රැසක් ඇති කිරීමය. ඒ අනුව තමාට දෑවැද්දට ලැබුණු අක්කර 39 යි. රූඩ් එකයි පර්චස් හයක් විශාලැති කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත ඉඩම ඔහු ශාසනයට පරිත්‍යාග කළේය. ඒ ජේ.ආර්. කැලණිය සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.   
මෙම ඉඩම බුදු සසුනට පරිත්‍යාග කිරීමෙන් පමණක් සතුටු නොවූ ජේ.ආර්. එහි දේශ දේශාන්තර සංඝ පරපුරට බෞද්ධ ධර්මය පිළිබඳව අධ්‍යාපනය ලැබීමට ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර ලෙස ප්‍රචලිත කිරීමට අවශ්‍ය ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක් කිරීමට අවශ්‍ය විය. අද වන විට එම භූමියේ මෙරට විශාලතම ධර්ම අධ්‍යාපන හා ප්‍රචාරක මධ්‍යස්ථානයක් ඉදි වී ජාත්‍යන්තර වශයෙන් බුදු දහම ප්‍රචාරය කරමින් තිබේ.   

 

 කැලණි විහාරයේ චිත්‍ර 


ජේ.ආර්. අපේක්ෂා කළ අයුරින්ම කැලණි විහාරය මෙන්ම මානෙල්වත්ත ජාත්‍යන්තර භික්ෂු අධ්‍යාපන ආයතනය ද මූලික කර ගනිමින් කැලණිය ප්‍රදේශය තුළින් බුදු දහම පෝෂණය වෙමින් තිබෙනු දක්නට ලැබේ. විජයවර්ධන පරපුරේ වත්මන් කැලණි නියෝජිතයා වන හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් මෙම ශාසනික සේවාව ඇතුළු සමාජ මෙහෙවර වඩාත් හොඳින් ඉටුවනු ඇති බවට කැලණිය ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික් ජනතාව මහත් බලාපොරොත්තු තබා තිබෙන බවට සැක නැත.   


ලබන සතියේ   
කැලණියේ දේශපාලනය එදා සහ අද  

 

සටහන ඡායාරූප 
දොම්පේ අජිත් මදුරප්පෙරුම