ලබන අවුරුද්දේ රටට හා ඔබට ශුභ ඵල මෙන්න


රටේ දේශපාලන අර්බුද සමනය වන්නේ 2019 නොවැම්බරයේදී

 


2019 වර්ෂය ලබන්නේ රටේ ජනතාව අන්ද මන්ද සිටින අවස්ථාවකය. ග්‍රහයින්ගේ හැසිරීම අනුව නව වර්ෂය තුළ අප රට තුළ කුමකින් කුමක් වේදැයි කවුරුත් විමසිලිමත් වනු ඇත.   
නොවැම්බර් මස 16 දින වන විට පාර්ලිමේන්තුවේ සිද්ධීන් මුළු රටම දන්නා නිසා ඒවා විස්තර නොකරමි. 2019 මාර්තු 07 දක්වා තව තවත් දේශපාලන පෙරළි රටවාසීන්ට අසන්නට දකින්නට ලැබෙනු ඇත.   


2019 තුළ කුමන රජයකට වුව අර්බුද සහ ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අප්‍රේල් මස 12 දින සිට ගුරු ග්‍රහයා ධනු රාශියේ සිට වක්‍රව ගමන් ආරම්භ කිරීම රටට, ජනතාවට යහපත් නැත. කුමන මැතිවරණයක් පැවැත්වුවත් ගුරු වක්‍රව ගමන් කරන කාලය තුළ තනි පක්ෂයකට බහුතරය ලබාගැනීම අසීරුය. ගුරු වක්‍රව ගමන් අවසන් කරන්නේ නොවැම්බර් මස 05 දින අලුයම 5.25 ටය. ඉන් පසු රටේ දේශපාලන තත්ත්වය යහපත් අතට හැරේ. බොහෝ විට රටවාසීන් වන පොදු ජනතාව ඉවසීමෙන් හා ආගමානුකූලව ජීවත්වීමට ඉටා ගැනීම යහපත්ය.   


2019 වර්ෂයේ ජනවාරි මස 01 වැනි අඟහරුවාදා කොළඹට හිරු උදාවන අලුයම 6.22 වර්ෂය ආරම්භ වන වේලාව වශයෙන් සලකා ලෝකයට, අප රටට, ලග්නවලට කෙසේ බලපානු ඇත්දැයි කරනු ලබන ජ්‍යොතිෂ විග්‍රහයකි.   


එම වේලාවට උදාවන තක්කාල ලග්නය ධනු වන අතර නවාංශකය සිංහ වේ. පෙ.ව. 8.47 දක්වා සා නැකත පවතී. උඳුවප් මස අව එකොළොස්වක තිථියයි. රාහු මහ දශා ශේෂය වර්ෂ 01 මාස 07 දින 05 කි. 2020.08.06 සිට ගුරු මහ දශාවයි.   


රවි ග්‍රහයා ධනු රාශියේ සිංහ නවාංශකයේ සතුරු සිකුරුට අයත් පුවසල නැකතේ ප්‍රථම පාදයේය. සඳු තුලා රාශියේ මීන නවාංශකයේ තම මිත්‍ර රාහුට අයත් සා නැකතේ 4 වන පාදයේ වේ. දිනය අධිපති කුජ ග්‍රහයා මීන රාශියේ සිංහ නවාංශකයේ තමාට සම ග්‍රහයකු වූ උත්‍රපුටුප නැකතේ 1 පාදයේය. බුධ ග්‍රහයා වෘශ්චික රාශියේ මීන නවාංශකයේ තම මිත්‍ර බුධට අයත් දෙට නැකතේ 4 වන පාදයේ වන අතර ගුරු වෘශ්චික රාශියේ ධනු නවාංශකයේ තම සතුරු බුධට අයත් දෙට නැකතේ ප්‍රථම පාදයේය.   


සිකුරු ග්‍රහයා තුලා රාශියේ මිථුන නවාංශකයේ තමාට සම ග්‍රහයකු වන ගුරුට අයත් විසා නැකතේ තුන්වන පාදයේ වන අතර සෙනසුරු ධනු රාශියේ කන්‍යා නවාංශකයේ තම මිත්‍ර සිකුරුට අයත් පුවසල නැකතේ 2 පාදයේ වන්නේය. රාහු ග්‍රහයා කටක රාශියේ සිංහ නවාංශකයේ තම මිත්‍ර ශනිට අයත් පුෂ නැකතේ මුල් පාදයේය. ඒ පදනම මත කේතු මකර රාශියේය. කුම්භ නවාංශකයේ වන අතර සම ග්‍රහයකු වූ රවිට අයත් උත්‍රසල නැකතේ 3 වන පාදයේ වන්නේය.   


2019 වර්ෂය තුළ සිදුවන ප්‍රධාන ග්‍රහමාරු ගැන බැලීමේ දී වැදගත්ම ග්‍රහ මාරුව ගුරුට අයත්ය. මාර්තු මස 29 දින රාත්‍රී 8.01 ට ධනු රාශියේ ස්වක්ෂේත්‍ර වේ. අප්‍රේල් 17 දින වක්‍රවන ගුරු එම මස 23 දින අලුයම 1.16 ට වෘශ්චික රාශියට ආපසු යන්නේය. ගුරු ග්‍රහයා තමාට අයත් ධනු රාශියේ ගමන් කරන කාලවල අප රටේ කුමන හෝ ප්‍රධාන මැතිවරණයකට පසුබිම සකසන බව අතීතයේ කරුණු සොයා බැලීමේ දී පෙනී යයි.   


ඒ අනුව අප්‍රේල් මස 12 දිනට පෙර කුමන හෝ ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇත. ගුරු වෘශ්චික රාශියට ආපසු ගිය අප්‍රේල් 23 දින සිට නොවැම්බර් 05 අතර කාලය තුළ කුමන හෝ මැතිවරණයක් පැවැත් වුණද එය පවතින රජයට එතරම් යහපත් නොවන බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.   


ගුරු නොවැම්බර් 05 දින අලුයම 5.25 ට ධනු රාශියට ගොස් 2020 ජුනි මස 30 දක්වා එහි ගත කරන කාලය තුළ අප රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට වාතාවරණය සැකසේ.   
2016 ජනවාරි 30 දින සිට සිංහ සහ කටක රාශිවල සතුරුව ගත කරන රාහු මාර්තු මස 07 දින පෙ.ව. 10.13 ට සිය මිත්‍ර රාශියක් වූ මිථුනයට පැමිණේ. පසුගිය දිනවල සිදුවූ දේශපාලන පෙරළිවලට ද රාහු සතුරු ගතව සිටීම හා 2018 ඔක් 11 දින ගුරු ග්‍රහයාද සතුරු රාශි දෙකක වර්ෂ 02 කට වැඩි කාලයක් ගත කර මිත්‍ර වෘශ්චික රාශියට පිවිසීම හේතු විණ. 2014.11.02 සිට අප රටට බලපා තිබූ තදබල අපල කාලය කෙමෙන් යථා තත්ත්වයට පැමිණෙන වර්ෂය 2020 යි.   


2019 වර්ෂ තුළ ඒ ඒ ලග්න හිමියන්ට කෙසේ බලපානු ඇත්ද? යන්න විමසා බලමු. ඒ සඳහා මෙම වර්ෂයේ ප්‍රධාන ග්‍රහයින්ගේ හැසිරීම සලකා බැලිය යුතුය. සෙනසුරු කී පමණක් කවුරුත් භීතියට පත්වන ශනි ග්‍රහයා වර්ෂය ආරම්භයේදී ධනු ලග්නයේය. ඒ අනුව ධනු ලග්න හිමියන් සෙනසුරු ලග්න ඒරාෂ්ටකයේ දෙවන කොටස් ගත කරමින් සිටී. වෘශ්චික ලග්නයෙන් උපන් අය එම ඒරාෂ්ටකයේ අවසන් කොටස පසු කරයි.   


මකර ලග්න අයගේ සෙනසුරු ඒරාෂ්ටකයේ මුල් භාගය වේ. එම ලග්න තුන හිමියන්ගේ ජන්ම කේන්දරයේ සෙනසුරු කටක, සිංහ, වෘශ්චික රාශිවල නම් අපල සිදුවේ. ඉහත ලග්න හිමි අයගේ කේන්දරවල සඳු ග්‍රහයා තම ලග්නයේ හෝ ඊට යාබද රාශියක නම් ජන්ම ඒරාෂ්ටකය ද තිබෙන බැවින් අපල තත්ත්වය වැඩිවේ. වෘෂභ ලග්නයෙන් උපන් අයට සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ටකය වේ.   


ඊළඟට තවත් අපල ගෙනදෙන ග්‍රහයෙකු (ජයග්‍රහයෙක්) වූ රාහු වර්ෂ දෙකකට වැඩි කාලයක් සතුරු රාශි දෙකක ගතකර රටට සහ සමහර ලග්න හිමියන්ට අපල ගෙන දී 2019 මාර්තු මස 07 වෙනි ගුරු දින පෙ.ව. 10.13 ට තම මිත්‍ර රාශියක් වූ මිථුනයට යයි.   


මේ සමගම කාටත් ශුභඵල ගෙන දෙන බ්‍රහස්පති නැතිනම් ගුරු ග්‍රහයා වර්ෂය ආරම්භයේදී තමාගේම මිත්‍ර රාශියක් වූ වෘශ්චිකයේය. නොවැම්බර් 05 දින ගුරු ග්‍රහයා තමාගේ රාශියක් වූ ධනුට පිවිසේ. ගුරු ධනු රාශියට යන විට එහි සෙනසුරු සිටින බව සඳහන් කළ යුතුය. මෙම ග්‍රහ වෙනස්වීම් අනුව පලාපල ලියමි.   


මේෂ ලග්නය   


ඔබේ ජන්ම කේන්දරයේ සිකුරු ග්‍රහයා කටක හෝ සිංහය වී එම මහ දශාව ගත කරන්නේ නම් තදබල අපල ගෙනදිය හැකිය. ගුරු ග්‍රහයා ද වර්ෂයේ වැඩි කාලයක් 8 වැන්නේ පසුවීම ද යහපත් නැත. මෙම වර්ෂයේ ඔබට යහපත් ග්‍රහ මාරුව වන්නේ සෙනසුරු 9 වැන්නට යාමයි.   


අධික ආගම් භක්තියක් ඇති වේ. දර්ශන ව්‍යාය ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙනීමට ආශා ඇති කරවයි. ගුරු ග්‍රහයා 8 වැන්නට අශුභ නමුත් ඔබේ කේන්දරයේ ගුරු 1, 4, 5, 9, 12 වැන්නේ නම් සියලු අපල දුරුකර ශුභඵල ලබාගත හැකිවන්නේ ගුරු මහ දශාව ගත කරන්නේ නම් පමණි.   


වෘෂභ ලග්නය 

 
ඔබ ගුරු හෝ සිකුරු මහ දශා ගත කරන්​නේ නම් අපල සහිතයි. ශුභඵල ලබාගත හැකි වන්නේ සෙනසුරු මහ දශාව ගත කරන්නේ නම් පමණි. කාටත් බලවත් අපල ගෙනදෙන සෙනසුරු ඔබට ශුභපල ගෙනදීම පුදුම වනු ඇත. රාජ යෝගකාරක ග්‍රහයා බැවින් ඔබට සියලු සැප සම්පත් ලබාදේ. ඔබේ ජන්ම කේන්දරයේ ශනි 9 හෝ 10 වැන්නේ නම් ඉතාම ශුභඵල මෙම වර්ෂය තුළ ලබා දේ. රැකීරක්ෂා බලාපොරොත්තු ඉටුවේ. රැකියාවල නිරත අයට උසස්වීම් නිලතල ලැබේ. උසස් අධ්‍යාපනය ලබන අයට විභාග ජය ලැබේ.   


මිථුන ලග්නය   


ඔබට මෙම වර්ෂය තුළ සියලු සැප සම්පත් ලැබෙන්නේ සිකුරු මහ දශාව ගත කරන අයෙකු වන්නේ නම් පමණි. රාහු ලග්නයට පැමිණි නිසා මෙම වර්ෂ තුළ ස්ථාන මාරු, තම පදිංචි නිවසින් වෙනත් පළාතකට යාමට හෝ විදේශ ගතවීමට සිදුවේ. ගුරු මහ දශාව ගත කරන මධ්‍යම වයස පසුකළ අය රෝගාබාධවලට ලක් වේ. විවාහ අපේක්ෂිත අයට මෙම වර්ෂයේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට අපහසු වේ. ගුරු ඔබගේ කේන්දරයේ ගුරු 1, 4, 5, 12 වැනි නැකත නම් රෝගවලින් ප්‍රවේසම්වන්න.   


කටක ලග්නය   


ඔබට බලවත් ශුභඵල ගෙනදෙන ගුරු ග්‍රහයා 5 වැන්නේ ගතකරන වර්ෂය තුළ ඔබට ඉතාමත් ශුභඵල ගෙන දේ. ඉගෙනීම ලබන අයට යහපත්ය. දරුඵල බලාපොරොත්තු ඉටු වේ. ලැබීමට යහපත්ය.   


විවාහකයින්ගේ කලත්‍රයාට ඉතා හිතවත් වේ. දරුවන් දියුණුවට පත්වේ. වයසක කටක ලග්න හිමියන්ට සෙනසුරු මහ දශාව හෝ එම අතුරු දශාව ගත කරන්නේ නම් හා ජන්ම ඒරාෂ්ටකය හෝ ගත කරන්නේ නම් මෙම වර්ෂය තුළ රෝගාබාධ ඇතිවිය හැකිය. එක්තැන් කරන රෝග හැදීමේ වැඩි ඉඩකඩක් ඇත. විදේශ ගමන් යෙදිය හැකිය.   


සිංහ ලග්නය 

 
මෙම වර්ෂය තුළ ඔබට නව නිවාස ඉදිකර ගැනීමට ඉතා යහපත්ය. ඉඩකඩම් දේපල ලැබේ. ඔබ ගුරු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන්නේ නම් ශුභඵල වැඩිය. යාන වාහන හිමිකම් ද ලැබීමේ වාසනාව පවතී. සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන්නේ නම් ආදර සම්බන්ධතා බිඳ වැටේ. දරුවන් බලාපොරොත්තු ඉටු නොවේ. නැතිනම් දරුවන්ට රෝග ඇතිවිය හැකිය. රාහු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන්නේ නම් සියලු සම්පත් ලබා දේ. හතර වරිගයටම නායකයෙකු වේ. විදේශ ගමන් යෙදෙන අතර නිතර ඇවිද්දවයි.

   
කන්‍යා ලග්නය 

 
ඔබ සිකුරු හෝ බුධ මහ දශාව ගත කරන්නේ නම් ශුභඵල උදාකරගත හැකි වර්ෂයකි 2019. ධන සම්පත් ලැබේ. ඉගෙනීම ලබන අයට ශුභයි. ඔබගේ ජන්ම කේන්දරයේ ගුරු යහපත්ව නැතිනම්, මැදි වයස පසු කර සිටින අයට පහසුවෙන් ලෙඩ රෝග බෝවේ. ශරීරය දුර්වල කරයි. ඉගෙනීම ලබන වයස දරුවන්ට ගුරු මහ දශාව ලබා ඇත්නම් විභාග ජය ගත හැකිය. සෙනසුරු නැතිනම් ශනි ග්‍රහයා බලවත්ව සිටින කන්‍යා ලග්න හිමියන්ට ගේ දොර ඉඩකඩම් ලැබිය හැකිය.   


ශනි 3, 11, 12 තැන්පත් අයට ඒවා අහිමි කිරීමට ඉඩ ඇත. රක්ෂා කරන අයට ස්ථාන මාරු හෝ චෝදනා ලැබිය හැකි බැවින් ප්‍රවේසම්වන්න. විදේශ ගමන් හෝ රැකියා සඳහා විදේශ ගතවීමට ලබන මාර්තුවලින් පසුව පුළුවනි.  


තුලා ලග්නය  


ඔබගේ ජන්ම කේන්දරයේ ලග්නයේ හෝ 9, 12 වැනි තැනක ගුරු සිට එම මහ දශාව ගත කරන්නේ නම් මධ්‍යම වයස පසු කර සිටින අයට රෝගාබාධ හට ගැනේ. 3, 6, 10 වැනි තැනක ගුරු පිහිටි අයට ධනලාභ හිමිය. බිරිඳට දරුවන්ට හොඳින් සලකයි. කාටත් අපල ගෙන දෙන සෙනසුරු ඔබට ඉතා ශුභ ගෙන දෙන ග්‍රහයෙකි. ඔබට 2019 වර්ෂ තුළ සතුරු කරදර නිසා ජය ගත හැකිය. එහෙත් සහෝදර නෑදෑයින් ඔබට විරුද්ධව වැඩ කරනු ඇත. රක්ෂා බලාපොරොත්තු ඉටු වේ. අධ්‍යාපනය ලබන අයට යහපත්ය. රාහු ග්‍රහයා ඔබේ 9 වැන්නේ නම් ඉඩකඩම් ලැබේ. එහෙත් පියාට අපලයි. 

 
වෘශ්චික ලග්නය  


සෙනසුරු ලග්න ඒරාෂ්ටකයේ අවසන් කොටස ගෙවන ඔබට ගුරු ග්‍රහයා ලග්නයේ සහ දෙවැන්නේ ගමන් කරන මෙම කාලය තුළ ඉතාමත් ශුභපල ගෙන දෙනු ඇත. ගුරු ලග්නයේ, 2, 5, 9 වැනි තැනක ගුරු තැන්පත් වෘශ්චික ලග්න හිමියන්ට මෙම වර්ෂය ඉතාමත් ශුභඵල ගෙන දේ. ප්‍රමාද වූ විවාහ සිදුවන කාලයකි. රක්ෂා බලාපොරොත්තු ඉටු වේ. ඉගෙනුම ලබන දරුවන්ට තිබූ බාධක ද ඉවත් වේ. යම්කිසි අයෙක් රාහු මහ දශාව ගත කරමින් එම රාහු 8 වැන්නේ නම් ඌෂ්ණ රෝග සාදයි. හිසේ තුවාල සිදුවිය හැකිය. රැකියා මාරුවීම් නිසා ඇවිද්දවයි. වස්තු හානි සිදුවේ.  


ධනු ලග්නය  


ඔබ සෙනසුරු ලග්න ඒරාෂ්ටකයේ දෙවන කොටස ගත කරමින් සිටින අයෙකි. ඔබේ ජන්ම කේන්දරයේ ශනි 8, 9, 11 තැනක සිටියදී එම මහ දශාව හෝ සිකුරු මහ දශාව ගත කරන්නේ නම් හා ඔබ මැදි වයස පසු කරන්නේ නම් තදබල අපල ගෙන දිය හැකිය. සෙනසුරු ග්‍රහයා 2, 3, 7, 10, 11 සිටින අය බියවිය යුතු නැත. එසේම සිකුරු ග්‍රහයාද 2, 3, 4, 6, 11 වැනි තැනක සිටින අයටද එම අපල ගෙන නොදේ.  


ගුරු ග්‍රහයා ඔබේ ජන්ම කේන්දරයේ ලග්නයේ හෝ 4, 5, 8, 9, 12 වැනි තැනක නම් සියලු අපල දෝෂ භංග කර ඔබට ශූභඵල ගෙන දේ. පිනට දහමට යොමු වේ. රැකීරක්ෂා උසස්වීම් ලැබේ. ඉගෙනීම ලබන අයට යහපත්ය. විවාහ අපේක්ෂිත අයට නම් 2019 වර්ෂය යහපත් වන්නේ නැත.  


මකර ලග්නය  


ඔබ ලග්න ඒරාෂ්ටකයේ මුල් භාගය ගෙවමින් 2019 වර්ෂය ලබයි. සෙනසුරු ලග්නාධිපති බැවින් අපල ගෙන නොදේ. එහෙත් ජන්ම කේන්දරයේ ශනි ග්‍රහයා 7, 8, 11 වැනි තැනක ඇති අයට විවාහ ප්‍රමාදවීම් ඇති වේ. අපල ගෙන දේ. විශේෂයෙන් ආදායම් තත්ත්වය පහළ වැටේ යම්, යම් චෝදනාවලට ලක් වී සිපිරි ගෙයි ගත කිරීමට ඉඩ ඇත. ගුරු ග්‍රහයාද 5, 6, 9, 10 වැනි තැනක සිට ගුරු මහ දශාව ගත කරන්නේ නම් ඉතා ප්‍රවේසම් විය යුතුය. තදබල රෝග ඇතිවිය හැකිය. ඔබේ කේන්දරයේ රාහු තැන්පත් ස්ථානය අනුවද ශුභ අශුභ වෙනස් විය හැකිය. රාහු 3, 6, 11 වැනි තැනක සිටින අයට සතුරන් පරාජය කළ හැකිය. නිරෝගී වේ.  


කුම්භ ලග්නය

  
ඔබේ ජන්ම කේන්දරයේ ගුරු ග්‍රහයා 4, 5, 8, 9 වැනි තැනක සිට එම මහ දශාව ගත කරන්නේ නම් ඔබට යහපත් නැත. රැකියා කරන අයට එහි ප්‍රශ්න ඇති වේ. රැකියා බලාපොරොත්තු අයට ශුභ නැත. ගුරු 2, 3, 6, 7, 10, 11 යන තැන්වල සිටින අයට ඉහත අශුභ නැති වී ශුභඵල ලද හැකිය. සිකුරු මහ දශාව ගත කරන අයට සැප සම්පත් ලැබේ. රක්ෂා බලාපොරොත්තු ඉටු වේ. නිලතල උසස්වීම් ලැබේ. ඉගෙනුම ලබන අයටද යහපත්ය. රාහු ග්‍රහයා 5 වැන්නේ සිටින අයට දරුඵල බලාපොරොත්තු ඉටු නොවේ. එම මහ දශාව ගත කරන්නේ නම් ඇවිද්දවයි. ශනි ග්‍රහයා ඔබේ ලග්නාධිපති බැවින් එම ග්‍රහයා ලග්නයේ හෝ 9, 11 නම් ඉතාමත් ශුභඵල ලැබේ. ශනි 6, 7, 10 අයට ශුභඵල නැත.  


මීන ලග්නය  


ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා යහපත්ව ගමන් ගන්නා 2019 වර්ෂය තුළ ඔබේ ජන්ම කේන්දරයේද ගුරු ලග්නයේ හෝ 10 වැන්නේ හෝ 5 වැන්නේ සිටියදී ගුරු මහ දශාවද ගත කරන්නේ නම් ඔබට රාජයෝග සහිතයි. මෙම වර්ෂයේ පැවැත්වෙන ඕනෑම ඡන්දයකින් ඔබට ජය ගත හැකිය. ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන වර්ෂයකි. අධ්‍යාපනය ලබන අයට උසස් ප්‍රතිඵල ලැබේ. රක්ෂා බලාපොරොත්තු ඉටුවේ. නිලතලවල උසස්වීම් සහිතයි. විවාහ අපේක්ෂිත අයට ද සතුටුදායක පුවත් ලැබේ. මේ සියල්ල කනපිට පෙරළෙන්නේ සෙනසුරු ග්‍රහයා 5, 6, 9 වැනි තැනක සිට එම මහ දශාව ගත කරන්නේ නම්ය. ප්‍රවේසම් විය යුතුය. මැද වයස පසු කරන අයට රෝග ඇති වේ. රාහු 4 වැන්නේ සිටින අයට පදිංචි ස්ථානයෙන් හෝ ගමෙන් පිට කරයි.  

 

 


ජ්‍යොතිර්වේදී 
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන  
133 සී, ජයන්ති පාර, දොම්පේ