ලංකාව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණයේ ‘තරගයේ වීරයාගේ’ ගෙදර යමු


 

 

  • අමල් සිල්වාගේ පුතා පරිගණක විද්‍යාඅංශයේ උපාධිධාරියෙක් දියණිය නීතිඥවරියක්.   
  • සුන්දර බිරිඳ හයිසින්ත් කාලයක් සේවය කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේයි.  

 

1984 දී, එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත් වූයේය. එහිදී, දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම ලෝඩ්ස්හි ක්‍රීඩා කළ පළමු තරගයේදීම ලකුණු 100 ක් සහ කඩුලු රැකීමේ දී දවා ගැනීම් 6 ක් පමණ ගෙන වාර්තා තැබූ ඔහු අමල් සිල්වාය.   එහෙව් වූ ඔහු ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ලද අතිශය ප්‍රථම ජයග්‍රහණයේ දී තරගයේ වීරයා වූවේය. අමල් සිල්වා නමැති ඒ ප්‍රවීණයා අද ඉතා දියුණුවට පත් ව්‍යපාරිකයෙකි. ඔහුගේ ලස්සන කැදැල්ලේ සිට අපට හමු වූ මොහොතකි මේ.   


• පසුගිය කාලයේ ජීවිතය ගත කළේ මොන විදියට ද කියලා, මුලින්ම දැන ගන්න කැමතියි ?   


එද‌ා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් පසුව, ඔස්ට්‍රේලියාවට ගියා. වසර පහ හයක් විතර යනකල් හිටියෙ එහේ. ආයෙත් ලංකාවට ආවේ 1994 දියි.   


• එතකොට ‘‘ක්‍රිකට්’’ ක්‍රීඩාවට සමුදුන්නෙ කවදද? 

 
මම අන්තිම ටෙස්ට් මැච් එක ගැහුවෙ 1989, එංගලන්තය එක්කයි. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදි තරගය පැවැත් වුණේ. ඔස්ට්‍රේලියාවට ගියේ ඉන්පසුවයි. මමයි - නෝනයි - ළමයි දෙන්නයි. අපි පවුලම ගිහින් හිටියෙ. මම ගියේ ‘‘ක්‍රිකට්’’ ගහන්න. වසර දෙක තුනක් විතර ක්‍රිකට් ගැහුවා. එහෙම ඉදිද්දී මට හොඳ ලංකාව තමයි කියලා හිතුවා. ඒ නිසා මම නැවත ලංකාවට ආවා. ඇවිත් ව්‍යාපාරයක් පටන් ගත්තා. අදටත් කරන්නෙ ඒ ව්‍යාපාරයයි. එය ඉතා සාර්ථක කර ගන්න පුළුවන් වුණා. පසුගිය කාලයේදී ජීවිතය ගෙවී ගියේ ඒ විදියටයි.   


• එය මොන වගේ ව්‍යාපාරයක් ද?   


මුලින්ම නම් පටන් ගත්තෙ ඇඟලුම් කර්මාන්තශාලාවලට මැෂින් ආදිය ගෙන්වාදීමයි. ඊට සමගාමීව චීනයේ ශාඛාවක් ස්ථාපිත කළා. ඒ නිසා සෑම මාසයකම වගේ චීනයට යමින් - එමින් ව්‍යාපාරයේ කටයුතු කරගෙන ගියා. එහි සිට ඇමරිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ අපේ රට ඇතුළු රටවල් කිහිපයකට භාණ්ඩ අපනයනය කළා. ව්‍යාපාරයේ ස්වභාවය වුණේ ඒ විදියටයි.   

 


• ඔස්ට්‍රේලියාවෙ සහ චීනයේ යන රටවල් දෙකේම හිටපු ඔබට මේ රටවල් දෙක අතරින් වඩා හිත ගියේ මොන රටට ද?   


ව්‍යාපාරික කටයුතු එක්ක බලද්දී නම්, පසුගිය විසි වසරක කාලය වැඩිපුරම ගෙවා දැමුවේ චීනය එක්කයි. ඇත්තම කිව්වොත් ව්‍යාපාර කරන්න නම් ලෝකයේ හොඳම තැන චීනයයි. හැබැයි දැන් මේ යන විදිය නම් එච්චර හොඳමදි. ඒත් අනෙක් රටවල් චීනය මෙන් ආවොත් හොඳයි. කොහොමටත් චීනය කියන්නෙ එහෙම ලෙහෙසියෙන් වට්ටවන්න පුළුවන් රටක් නෙවෙයි.  


• දැන් කොහොමද පවුලේ විස්තර?  


මමයි - බිරිඳයි, ළමයි දෙන්නයි විතරනෙ. මගේ පුතාත් ක්‍රිකට් ක්‍රීඩා කළානෙ. එයා ක්‍රීඩා කළේ එන්.සී.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් වලටයි. එයාගෙ නම අනුක් සිල්වා. එයා මට වඩා බොහෝම උස ක්‍රීඩකයෙක්. එයාගේ දණ හිස්වල ආබාධයක් ඇති වූ නිසා වෛද්‍ය - උපදෙස් අනුව ක්‍රිකට් නතර කළා. පසුව ඕස්ට්‍රේලියාවට ගිහින් ශල්‍ය කර්මයකට මුහුණ දීලා ආවෙ. ඉන්පසුව ඕස්ට්‍රේලියාවට ගිහින් පරිගණක විද්‍යාව අංශයේ උපාධි දෙකක් කරලා, ශාස්ත්‍රපති දක්වා ඉගෙන ගෙන, පසුව එයාගෙම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. දැන් පුතාට අවුරුදු 31 යි.   


දුව ගැන කිව්වොත් එයාගෙ වයස අවුරුදු 28 යි. එයා නීතිඥවරියක්. පුතා විවාහ වෙලා, වෙනම පදිංචි වෙලා ඉන්නෙ. දුවත් විවාහවෙලා යයි. ඉන්පස්සෙ ඉතින් අපි දෙන්නට පාළුවක් දැනෙයි. ලෝක ස්වභාවයේ හැටි එහෙමනෙ.  


පවුලක් හැටියට මමයි, බිරිඳයි, දරුවෝ දෙන්නයි, ලෝකයේ බොහෝ රටවල සංචාරය කළා. එකට හිටියා, ගමන් බිමන් ගියා. දැන් එයාලා විවාහ වෙලා එයාලගේ කූඩු තනන්න හදනවා. අපි මේ ස්වභාවය තේරුම් අරගෙන ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ.   


• ඔබගෙ ප්‍රේම කතාව ගැනත් කියමු. කොහොමද එද‌ා ඒ ප්‍රේමය හමුවුණේ?  


මගේ බිරිඳගෙ නම හයිසින්ත් සිල්වා. ඒ දිනවල එයයි, මායි දෙන්නම සේවය කළේ බ්‍රවුන් සමාගමේ. ඒ දැන හඳුනා ගැනීම තමයි ප්‍රේමයක් දක්වා දුර දිග ගියේ. ඉතින් කාලයක් ගිහින් අපි දෙන්න විවාහ වුණා.  


• ඒ කාලයේ ඔබගෙ අරමුණ වුණේ ‘‘ක්‍රිකට්’’ ක්‍රීඩකයකු වීමද?  


මුලික අරමුණ වුණේ හොඳින් ඉගෙන ගැනීමයි. ඒ නිසා මුල් තැන දුන්නේ අධ්‍යාපනයට. එකවුන්ටන්ට් කෙනෙක් වීමේ අරමුණක් තිබුණෙ. ඒ වෙනුවෙන් ලියාපදිංචි වෙලා හිටියෙ. එහෙම ඉන්නකොට මාස දෙකක් යාමට මත්තෙන්. සිම්බාබ්වෙ සංචාරයකට මාව තේරුණා. එතකොට මගේ වයස අවුරුදු 23 යි.  


ඒ වන විට වාර දෙකකදී එන් සී සී කණ්ඩායම නියෝජනය කරලා හොඳ දක්ෂතා පෙන්වලා හිටියෙ. සංචාරයට තේරුණාම තව දුරටත් ​ඉගෙන ගන්නවපද? ක්‍රිකට් ගහනව ද කියලා හිතලා එක් තීරණයක් ගන්න සිදු වුණා. ‘ක්‍රිකට්’ ගහමුය, කියන තීරණය අර ගත්තා.  


• ඒක හොඳ තීරණයක් වුණාද?  


‘ක්‍රිකට්’ නිසා අපට වැරදුණේ නැහැ. හැබැයි එද‌ා ප්‍රශ්නයක් වුනේ අද තරමට ක්‍රිකට් තරග නොතිබුණ එකයි. අවුරුද්දකට එක ටෙස්ට් තරගයක් දෙකක් වගේ තිබුණෙ.  


• ඒ කොහොම වුණත්, ‘අමල් සිල්වා’ යනු වමත් පිතිකරුවකු ලෙසත්, කඩුළු රකින්නෙකු ලෙසත්, ඒ දිනවල සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩකයෙක්. ඔබ එද‌ා වඩා සාර්ථක වුණේ පාසල් සමයේදී ද? නැතිනම් එන්සීසී එකට ක්‍රීඩා කළ කාලයේදී ද?  


ශාන්ත පීතර විද්‍යාලයේ සිටිය දී මට මතකයි, එ්ත් තරග වාරයක දී, ලකුණු දහස සම්පූර්ණ කළා. හැබැයි එක ශතකයක්වත් නැතුව තමයි ඒ ලකුණු දහස ලබා ගත්තෙ. මාත් එක්ක රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන් සහ රොහාන් බුල්ජන්ස් ක්‍රීඩා කළා. පසුව රොහාන් හැර, අපි තුන්දෙනාම ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඒ කාලයේදී, පාසල් ක්‍රිකට් පිටියේ දී ක්‍රිකට් ගැසු පාසල් පිටියේ ක්‍රීඩකයන් වුණේ, බ්‍රෙන්ඩන් කුරුප්පු, අර්ජුණ, ධම්මික රණතුංග, දේවක මහානාම, හිරුන් කුරේ, විරන්ත ප්‍රනාන්දු වගේ ප්‍රබල ක්‍රීඩකයන්.   


• ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ පළමු ක්‍රිකට් සංචාරයේ මතකය මොන වගේ ද?  


සිම්බාබ්වෙ සංචාරයකට මුලින්ම මාව තේරුණේ අහම්බයකින්. එද‌ා කඩුලු රකින්නන් ලෙස සංචිතයට තෝරාගෙන තිබුණෙ, මහේෂ් ගුණතිලක සහ මම. ඒත් මහේෂ් කැරලිකාර දකුණු අප්‍රිකාවේ සංචාරයට ගිය කණ්ඩායමට ඇතුළත් වූ නිසා, මට තමයි හරි නම් නියමිත ස්ථානය ලැබෙන්න තිබුණේ. මට අමතරව ‘ගයි ද අල්විස්’ ඒ සංචාරයට තෝරා ගෙන තිබුණා. පසුව සංචාරයේ දී එක් තරගයක්වත් මට ක්‍රීඩා කරන්න ලැබුණෙ නැහැ. එම සංචාරය නිම වී ලංකාවට ආවා. ලංකාවෙදී ක්ලබ් ක්‍රිකට් තරගාවලියේදී මම ඉතා සාර්ථක වුණා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ සංචාරයකට තේරුණා.  


• ඒ සංචාරය හොඳට කරන්න ඇති?  


ඇත්තම කිව්වොත් ඕස්ට්‍රේලියා සංචාරයේ දී වැඩිපුරම දක්ෂතා පෙන් වූ ක්‍රීඩකයා වුණා. ඒ තරගාවලියත් හොඳ මතකයක්. මුලින්ම එක් දින තරගයක් දිනුවෙ අපි ඕස්ට්‍රේලියාවේ දී. ඒ ජයග්‍රාහී තරගයේ දී අරවින්ද හැට ගණනක් ගැහුවා. මම ලකුණු තිස් ගණනක් ගත්තා.  


• මේ විදියේ රස මුසු සිදුවීම් තවත් ඇති, ඒ අතීත මතකයන් ගැනත් සඳහන් කරමු?  


පුද්ගලිකව මට අමරණීය මතකය වන්නේ, ලෝඩ්ස්හි පළමු වතාවට ක්‍රීඩා කිරීමට ලැබීමයි. ක්‍රිකට් ක්‍රීඩාවට ආ ක්‍රීඩකයකුගෙ ප්‍රධාන ඉලක්කය පළමුව රටට ක්‍රීඩා කිරීමයි. ඊළඟට ක්‍රිකට් උපන් තැන වන ලෝඩ්ස්හි ක්‍රීඩා කිරීමයි. මට ඒ අවස්ථාව ලැබුණා වගේම ලෝඩ්ස්හි ක්‍රීඩා කළ තරගයේ දී ශතකයකුත් ලබා ගත්තා. එය අමරණීය සිහිවටනයක්.  
ඒ ටුවර් එකේදී ශතක තුනක් ලබා ගන්නත් පුළුවන් වුණා. ශතකයක් ලබාගෙන, කඩුළු රැකීමේදී කඩුලු 6 ක් දවා ගැනීමට ද‌ායක වීම වාර්තාවක් කියලත් පසුව මට දැන ගන්න ලැබුණා. මට මුලින්ම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්න ලැබුණෙ නවසීලන්තයේදීයි. හැබැයි, ඒ සංචාරයෙන් අවුරුද්දකට විතර පස්සෙ තමයි එංගලන්තයට ගිහින් මේ විදියට දක්ෂතා පෙන්වුවේ.  


• එද‌ා ශ්‍රී ලංකා ටීම් එකේ හොඳම මිතුරා වුණේ කවු ද?  


පාසලේදී වගේම ක්ලබ් ක්‍රීකට් වලදීත් රුමේෂ් රත්නායක මගේ හොඳ යාළුවෙක්. ඒ මිත්‍රකම ශ්‍රී ලංකා කණ්ඩායමට ආ පසුත් තිබුණු දෙයක්. හැබැයි එද‌ා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ඔක්කෝමලා හරි එකමුතුයි. මුදල් නොලැබුණත්, අපි රටට ක්‍රීඩා කරලා ලොකු සතුටක් ලැබුවේ. ඒ හිතවත්කම් තවම පවතිනවා. රුමේෂ් ඒ විදියට හමුවුණත්, අනෙක් බොහෝ දෙනා හමු නොවන්නෙ මම නිතර ලංකාවේ නොසිටි නිසයි. ව්‍යාපාරික වැඩවලට සංචාරය කරලා ආවාම ලැබෙන විවේකය මම ගත කළේ ගෙදර විතරමයි. සිදත්, රුමේෂ් වගේම මගේ තවත් හොඳ යාළුවෙක්.  


• ඒ දිනවල සංචාරවලට එහෙම ගියාම විහිළුවට එක -එක්කෙනාට ලණු දුන් අයත් හිටියා නේද? ඔබත් එහෙම කළාද?  


ඔව් - අපි හරියට විහිළු තහළු කර ගත්තා. මම කළේ ‘‘අන්න ඔයාට හම්බවෙන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා’’කියලා යාළුවන්ට කිව්වාම, එයාල හෝටලයේ ලොබි එකට ගිහින් කවුද එයාලාව හමුවන්න ආ කෙනා කියලා බැලුවා. ඒත් කවුරුවත් නැහැනෙ. ඔය විදියට. ඉතින් මම ලණු දුන්නා වගේම, මටත් එයාලා ලණු දීලා තියෙනවා. මොනවා වුණත්, අපි තරහා වුණේ නැහැ.  


• එද‌ා ‘‘ලෝඩ්ස්’’ පිටියේදී සිදුවීමක් වුණා නේද? ඒ ගැන ඔබට මතක ද?  


එද‌ා ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ‘‘ලෝඩ්ස්’’ හි තරගය ආරම්භ කළාම මුලින්ම පන්දුවට පහර දෙන්න පිටියට ගියේ සිදත් සහ මම. අපි දෙන්නා පිටියට එද්දීම, එල්ටීටීඊ හිතවාදී පිරිසක්, අපිව වට කරගෙන විරෝධය පාන්න පටන් ගත්තා. කොච්චර බය වුණා ද කිව්වොත් සිදත්ගෙ මුහුණ රතුවුණා. මම බය නැතුව පිටියෙ ඉස්සරහාට යද්දි, සිදත් කිව්වෙ, මම ආපහු ක්‍රීඩාගාරයට දුවනවා කියලයි. එයා බොහෝම සංවේදී චරිතයක්නෙ. ඉතින් එයා පැත්තකට දිව්වා. තරගය මොහොතකට නතර කරන්න සිදුවුණේ විරෝධතාකරුවන් නිසයි. හැබැයි පසුව තරගාවලිය පටන් ගත්තාම, ලකුණු 190 ක් ලබමින් ‘සිදත්’ ලෝඩ්ස් වීරයා වුණේ ඒ තරගාවලියේදීයි. ඒ සිදුවීම මට කවද‌ාවත් අමතක වෙන්නෙ නැහැ.   


• අමල්, අතීතයේදී වු ඒ මතකයන් වෙතින් එහාට ගොස් අපි වර්තමානයට නැවත එමු. කොහොම ද ඔබ ඔබගේ විවේකය ගත කරන්නෙ?  


පසුගිය කාලයේදී මගේ විවේකය ගත කළ විදිය ගැන කිව්වොත්, නිවාඩුවක් ලැබුණු විගස මම නුවර සහ නුවරඑළියට යාම පුරුද්දක් කරගෙන සිටිනවා. මම මගේ බිරිඳ සහ ළමයි දෙන්නා එක්ක තමයි නිතරම විවේකය ගත කළේ. නුවර සහ නුවරඑළියෙ අපට අපේ වාසස්ථාන දෙකක් තිබෙනවා. අපි නතර වෙන්නෙ ඒ තැන්වල, විවේකයක් ලැබුණාම නුවරදී ගෝල්ෆ් ක්‍රීඩාවේ යෙදෙනවා. පසුගිය මාස කිහිපයේ දී නම් කොරෝනා තත්ත්වය නිසා අපි කොහේවත් ගියේ නැහැ.  


• ඔබට, ඔබගෙ බිරිඳ හමු වූ ප්‍රේම කතාව ගැන හරියට කිව්වෙ නැහැනෙ. ඒ ගැන කියමු නේද ?  


අපි දෙන්නා එකම කම්පැනි එකේ එකම අංශයේ වැඩ කළේ, මුලින්ම ඇය හමුවන විට, මෙච්චර දුර ගමනක් අපි දෙන්නා ඒවි කියලා හිතුවෙ නැහැ. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙන ගත්ත ඇය, ක්‍රීඩා කරලා තිබුණා. බැඩ්මින්ටන්, නෙට්බෝල් එහෙම ක්‍රීඩා කරලා තිබුණා. අපි දෙන්නගෙම ක්‍රීඩා කෞශල්‍යයක් ගැන, අපි කතා කළ අවස්ථා තිබුණා. ඒ වගේම අපි ජීවිතය ගැනත් කතා කළා. ඒ විදියට ඇසුරු කරද්දී දෙන්නගෙම අදහස් සහ හිතන විදිය බොහෝ දුරට සමාන බවක් තිබුණෙ.  


විවාහ වෙන්න කියලා තීරණය කරගෙන, මම එයාගෙ මව්පියන් හමුවන්න ගියා. දෙපාර්ශවයේ වැඩි හිටියන්ගෙ ආශිර්වාදය ඇතිව අපේ විවාහය පැවැත්වුණේ 1985 දීයි. ඇයගෙ නම හයිසින්ත් සිල්වා. එද‌ා අපි දෙන්නා යුගදිවි ගමන් ඇරඹුවේ. අද ලබා සිටින ආර්ථික ශක්තිය ඇතිව නෙවෙයි. ඒත් අපි දෙන්නා ටිකෙන් ටික අපේ ගමන අවංකව, ධෛර්ය සම්පන්නව ආවා. අපට හොඳ පුතෙක් සහ දියණියක් ලැබුණා. ඒ දෙන්නා හොඳට ඉගෙන ගත්තා. ආපහු හැරි බලද්දි ලොකු සතුටක් තියෙන්නෙ.  


• එද‌ා ක්‍රිකට් පිටියට සමුදෙන මොහොතෙ බිරිඳ හයිසින්ත් ඔබට මොනව ද කිව්වෙ? 

 
ඇත්තම කිව්වොත් පසුකාලීනව මට සමුගන්න ඕනෑ වෙලා තිබුණෙ. ඒ වන විට දේශපාලනයත් පොඩ්ඩක් විතර ක්‍රිකට් වෙලා ගෙන තිබුණෙ. හැබැයි අද වගේ නම් නෙවෙයි. අද මම හිතන්නෙ ක්‍රිකට් දේශපාලනීකරණය වෙච්ච ඉහළම රට ශ්‍රී ලංකාව කියලයි. කොහොම වුණත්, එද‌ා මම සමුගත්ත කාලයේදී ලොකුවටම පොලිටික්ස් තිබුණෙ නැතත්, ටික ටික හරි පොලිටික්ස් එහෙමත් ක්‍රිකට්වලට මුසුවෙලා තිබුණු නිසා, මීට වඩා මම වෙනත් දෙයක් කළොත් හොඳයි කියලා හිතුවෙ, එදා ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයකු සිටියදීමයි.   
මගේ ප්‍රධාන අරමුණ වුණේ පවුලම ගිහින් ඔස්ට්‍රේලියාවෙ ජීවත් වීමයි. ටෙස්ට් සහ එක්දින ක්‍රීඩා කළ විශාල පිරිසක් එහි වෙසෙනවා. කොහොම වුණත් ඔස්ට්‍රේලියාවෙ පදිංචිය හිතාගෙන එහි ගිය මම වසර කිහිපයකට පසුව නැවත ලංකාවට ගියොත් හොඳයි කියලා හිතුවා. ඒක මගේ ජීවිතයේ මම ගත්තු හොඳම තීරණයක්. ව්‍යාපාර අංශයෙන් දියුණුවක් ලැබුවෙත් ඒ විදියට තීරණයක් අරගෙන ශ්‍රී ලංකාවට ආ නිසයි.  


• ව්‍යාපාරය දියුණුවෙන් - දියුණුවට පත් කරගන්න පුළුවන් වුණේ. මොන ව​ගේ හේතු නිසාද? 

 
ඔබ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්නෙ. ක්‍රීඩාව වෙතින් ක්‍රීඩකයකු ලබන ඉහළම දේ ජය පරාජය විඳ දරා ගැනීමට හුරුවීමයි. තරගයක් දිනල හිනාවෙවි ගෙදර යන්න පුළුවන් වගේම පැරදුණාමත්, අඬන්නෙ නැතුව හිනාවෙලා ගෙදර යන්න පුළුවන් වෙන්න ඕනෑ.  


පරාජය වුණාම ක්‍රීඩා පිටියෙදී දුකක් ඇතිවෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් ක්‍රීඩාගාරයට ගිහින් ඇඳුම් මාරු කර ගත්තාට පස්සෙ, ආයෙත් ඒ පරාජය ගැන හිතන්න ඕනෑ නැහැ. හෙට දවසේ ලබන දිනුමට ලැහැස්ති වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් කැප වෙන්නත් ඕනෑ.  


මම ලස්සන කතාවක් කියන්නම්, ව්‍යාපාර ක්ෂේත්‍රයට ආ මුල් දිනවල, ව්‍යාපාරයේ කටයුතු වෙනුවෙන් මම කෙනෙක් හමුවන්න ගියාම, එයා ඒ වෙලාවෙ බැහැ කිව්වා. එයාට වෙලාවක් නැහැ, පසුව එන්න කිව්වා. මගේ පාඩුවෙ මම හිටියා මිසක තරහා ගිහින් එයාට බනින්නට ගියේ නැහැ. ටිකක් වෙලා පැත්තකට වෙලා හිටපු මට, වෙලාවක් නැහැ කියලා කිව්ව කෙනා ආයෙත් එන්න කියලා කිව්වා.  


ඔයාට හමුවන්න බැහැ කියලා මම සැර වුණාට, ඔයා මොනවත් කිව්වෙ නැහැනෙ’’ කියලා එයා කිව්වා.  


‘‘මම ආවෙ ඔබතුමාගෙන් උදවුවක් ගන්න මිසක් බැනලා යන්න නෙවෙයිනෙ’’ කියලා මම උත්තර දුන්නා.  


‘‘මම ඔයාගෙ ලෝඩ්ස් ටෙස්ට් මැච් එක බලපු කෙනෙක්’’ කියලත් එයා කිව්වා.  


ඉස්සර වෙලා ආ කෙනෙක් නිසා මම තරහා ගෙන හිටියෙ. ඒත් එයා වගේම ඔයත් මට බැනලා යාවි ද කියලා. මම ඔයාව ටෙස්ට් කළා කියලා එයා තව දුරටත් මට කිව්වා. කොහොම හරි එද‌ා ඒ ෆැක්ටරි එකෙන් මගේ භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් ලැබුණේ. බලන්න එද‌ා තරහා අරගෙන මම හැරිලා ගියා නම් ව්‍යාපාරය එතැනින්ම ඉවරයි නේද?  
ඒ ඉවසීමේ ගුණය ලැබුණේ මට ක්‍රීඩාවෙන්. අපි එද‌ා ක්‍රිකට් ගැහැව්වෙ හරිම සතුටින්. ලංකාව දිනෙව්වෙ ක්‍රීඩාව විඳිමින් ක්‍රීඩා කළ නිසයි. අද මුළු ලෝකෙම ක්‍රිකට් වාණිජකරණය වෙලා. ඒ නිසා එය තව දුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා කියන්න බැහැ. ‘‘ක්‍රිකට්’’ අරුත් ගන්වන්නෙ ‘‘ටෙස්ට්’’ ක්‍රිකට් විතරයි. 

 

 

පිළිසඳර  
සඳුන් ගමගේ