මන්නාරම් මුහුදෙන් මතුවූ පුරාණ යාත්‍රාව


 

 

  • ඔත්තුව ලැබුණේ මුහුද යට තිබූ ‘කරත්ත රෝදයෙන්’
  • සොයා ගත්තේ වාෂ්ප බලයෙන් යාත්‍රාකළ යාත්‍රාවක්

 

මන්නාරම මුතු පර තිබූ මුහුද දැන් පාළුවට ගොසිනි. අතීතයේ මෙන් එහි මුතු බෙල්ලන් නැත.   


ප්‍රදේශවාසීන් පවසන්නේ කුවේණිගේ නැගණිය වූ අල්ලිරාණිගේ කරත්තය මන්නාරම අරිප්පුවේ මුතුපර අතර ගිලී තිබෙන බවයි. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේ නාගදීපයට වැඩම කළේ මේ කරත්තයේ නැගී බව ද ඔවුන් අතර විශ්වාසයක් පවතී. මේ කතාන්තර සියල්ල ජනප්‍රවාදයයි. 
 


ශ්‍රී ලංකාව අවට මුහුද සිය වාසස්ථානය බවට පත්කරගෙන සිටින තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් වූ මුහුදු ඌරන් ආරක්ෂා කිරීමේ කාර්යයට අතගසා සිටින අසංක අබේකෝන් මහතා සහ ප්‍රසන්න වීරක්කොඩි මහතා මන්නාරම මුහුද යට කිමිදෙමින් සිටිති. ඔවුන් ද මේ කරත්තයේ කතාව අසා තිබිණි.   
ඒ මේ අත පිහිනා යන අලංකාර මත්ස්‍යයෝ මේ ආගන්තුකයන් දෙදෙනා පිළිබඳ වැඩි තැකීමක් නැත. හදිසියේම මේ පාළු මුහුදු පත්ලේ ඔවුන් යමක් දකියි. ඒ කරත්ත රෝදයකි. මුහුදු පත්ලේ කරත්ත රෝදයක් තිබිය නොහැක. මේ අල්ලිරාණිගේ කරත්තය විය නොහැකි ද? ඔවුන්ට ඇති වූයේ දැඩි කුකුසකි. එබැවින් ඒ අසලට ගිය ඔවුන් අවට ප්‍රදේශය පිළිබඳ වඩාත් සුපරික්ෂාකාරී වූහ.   


පුදුමයකි. තැන තැන විසිරුණු දැවමය කොටස් රැසක් දක්නට ලැබේ. තවත් හඳුනාගත නොහැකි දෑ බොහොමයකි. මේ නම් ඉතිහාසයේ අලුත් පිටුවක සොයාගැනීමක් යැයි තීරණය කළ අසංක සහ ප්‍රසන්න දෙදෙනා ඒ සම්බන්ධ සියලු තොරතුරු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයට දැනුම් දුන්හ.   
මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් අසංක අබේකෝන් සහ ප්‍රසන්න වීරක්කොඩි දෙදෙනා සමග මේ ස්ථානයේ පළමු ගවේෂණ කාර්යයට එක්විය.   
මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පු මුහුදු වෙරළට ආසන්නයේ මීටර 8.5ක් පමණ ගැඹුරින් මුහුදු පත්ලට ආගන්තුක මේ ද්‍රව්‍ය හමුවෙයි. ඔවුහු දින ගණනක් වරින් වර එහි කිමිදෙමින් ස්ථානීය පරීක්ෂාවක නිරත වූහ. ඒ අතරතුර ඡායාරූප හා වීඩියෝ දර්ශන මාර්ගයෙන් පුරාවිද්‍යාත්මක වාර්තාකරණය කළ අතර ද්‍රව්‍ය විසිරී ඇති ආකාරය පිළිබඳ සටහන් ද ගන්නා ලදී.   

 

 


පර් යේෂණ කටයුතු සිදුකළ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඒ පිළිබඳ මෙසේ පැවසීය.   


“මෙය නෞකාවක් බව පැහැදිලිව හඳුනාගත හැකි වුණා. මුතු පර ආසන්නයේ ගිලී ගොස් තිබූ මෙය කවර කාලයක ගිලී ගිය නැවක් ද යන්න පිළිබඳ සොයාගැනීමට කිසිදු සාධකයක් තිබුණේ නැහැ. මූලික පරීක්ෂණවලින් තහවුරු වුණා මෙය දැවයෙන් නිම කළ යාත්‍රාවක් බව. මෙහි සුන්බුන් මීටර 30ක් පමණ දිගට මීටර 18ක් පමණ පළලට විසිරී තිබුණා. කුඩා ප්‍රමාණයේ නෞකාවක් බව ඉන් පැහැදිලියි. කරත්ත රෝද වැනි ලෝහමය රවුම් අවශේෂ දෙකක් දක්නට ලැබුණා. දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හමුවුණා. බොලොක්කයක් හැඩැති කොටසකුත් තිබුණා. එතැන් සිට ගල් පිහිටා ඇති දිශාව දක්වා ලී කොටස් විහිදී තිබුණා.”   


පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් වැනි කොටස් ගණනාවක් හඳුනාගත හැකි වූ බවයි. තන්තුමය ස්වරූපයෙන් නිමවී තිබූ ඒවා නැවේ භාවිත කළ ලෝහමය කේබල් විය හැකි යැයි ද ඔහු පවසයි.   


නෞකාවේ දැවමය කොටස් අතර තඹ මිශ්‍රිත ලෝහ තහඩු කොටස් දැකිය හැකි වූ බව ද මුතුකුමාරණ මහතා පවසයි. ඒවායේ ඇණ ගැසූ බවට සිතිය හැකි සිදුරු තිබෙන අතර තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමුවී ඇත. නැවේ දැව කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තඹ තහඩු භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මේ තඹ කොටස් විඛාධනය වී කොපර් කාබනේට් බැඳී ඇති බැවින් ඒවා කොළ පැහැයෙන් දිස්වේ.   


මෙහි දක්නට ඇති කරත්ත රෝද වැනි කොටස් දෙක නිසා ප්‍රදේශවාසීන් පවසන්නේ එතැන කරත්තයක් තිබෙන බවයි. කරත්තයේ වියගහ ලෙස හඳුන්වන කොටසක් ද ඇක්සලය යනුවෙන් හඳුන්වන කොටසක් ද එහි තිබේ. නමුත් පුරාවිද්‍යාඥයන් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඔවුන් වියගහ ලෙස හඳුන්වන කොටස ද ලෝහමය නිර්මාණයක් බවයි.   


“අපේ මූලික පරීක්ෂණවලින් තහවුරු වුණා මෙය ගිලීගිය දැවමය යාත්‍රාවක් බවට. නැව සමබර කිරීම සඳහා යොදාගත් ගල්වලට යටින් දැවමය කොටස් ඉතිරිව තිබුණා. ඒ නිසා අපිට පැහැදිලියි නැවේ දැනට ඉතිරිව තිබෙන්නේ යාත්‍රාවේ යට තට්ටුව පමණයි කියා. ඉහළ කොටස් කාලයාගේ ඇවෑමෙන් විශාල ලෙස විනාශ වෙලා. නමුත් ගැටලු කිහිපයක් තිබුණා. මේ ස්ථානයෙන් ගල් අඟුරු කොටස් හමුවුණා. ගල් අඟුරු භාවිතා කළේ යාත්‍රාව ධාවනය කිරීම සඳහා ද නැතිනම් ඉවුම් පිහුම් කටයුතු සඳහා ද කියා අපිට සැකයක් තිබුණා. නෞකාව පුරාම යකඩ කොටස් විසිරී තිබුණත් එන්ජිමක කොටස් යැයි තහවුරු කරගන්න පුළුවන් කිසිවක් මුල් ගවේෂණයේ දී හමුවුණේ නැහැ. ගල් අඟුරු භාවිතකර ධාවනය වන වාෂ්ප එන්ජින් යාත්‍රා සඳහා යොදා ගන්නා මුල් කාලයේ දැවමය යාත්‍රා තිබුණත් මෙතෙක් ලංකාව අවට මුහුදින් හමුවී තිබෙන්නේ වාෂ්ප එන්ජින් සහිත යකඩ නැව් විතරයි. ඒ නිසා මුල සිටම තිබුණු විසඳාගත නොහැකි වූ ප්‍රශ්නය වුණේ මෙය රුවල් නැවක් ද වාෂ්ප බලයෙන් ගිය දැව නැවක් ද කියන එක.” පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා තමන් ඇතුළු පිරිස මුහුණ දුන් ගැටලුව එසේ විස්තර කළේය.   


පරීක්ෂණ කටයුතු මූලික පරීක්ෂණයෙන් නතර වූයේ නැත. වරින් වර මෙහි සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ කරත්ත රෝද ලෙස හඳුන්වන අවශේෂ දැති රෝද දෙකක් බවයි. ඒ අනුව මෙය ගල් අඟුරු භාවිත කරමින් වාෂ්ප බලයෙන් යාත්‍රා කළ දැවමය යාත්‍රාවක් බවට අනුමාන කළ හැකි විය.   


එසේ වුව ද මේ යාත්‍රාව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැත. එය කවර කාලයක කිනම් රටක නිෂ්පාදනය කරන ලද්දක් දැයි මෙතෙක් හමුවූ අවශේෂවලින් සොයාගත නොහැකි වී ඇත. එමෙන්ම ලෝකයේ මුහුදුබත් වූ යාත්‍රා සම්බන්ධයෙන් ඇති ලේඛනවල ද මෙවැනි නෞකාවක් මන්නාරම ආසන්න අරිප්පු මුහුදේ ගිලීගිය බවට කිසිදු සටහනක් සොයාගැනීමට ලැබී නැත.   


නැවෙහි අවශේෂ අතරින් කාලතුවක්කු යැයි සිතිය හැකි කොටස් කිහිපයක් හමුවුව ද එය කාලතුවක්කු කොටස් නොවන බව පසුව තහවුරු වී තිබිණි. මෙය යුදමය කටයුතු සඳහා භාවිතා කරන ලද නෞකාවක් නොවන බව ද තහවුරු වී ඇත.   


අවශේෂ අතර තිබී වීදුරු භාණ්ඩවල කැබලි රැසක් හමුවී තිබේ. ඇතැම් ඒවා චීනයේ නිෂ්පාදිත වීදුරු බඳුන් බව තහවුරු කරගෙන ඇත.   
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් පවසන්නේ වාෂ්ප බලයෙන් යාත්‍රා කළ දැවමය යාත්‍රාවක් ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවයි.   


මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතාගේ මගපෙන්වීමෙන් සමුද්‍ර පුරාවිද්‍යා පර් යේෂකයන් වන රසික මුතුකුමාරණ, සමීර ප්‍රසංග කරුණාරත්න, චමල් කේ. ගමගේ, රුක්ෂාන් ප්‍රියනන්දන, ඉන්දික උපුල් හේවගේ හා කමල් කුමාර ද සොයිසා මහත්වරුන් මෙම නෞකාව පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇත.   


අරිප්පු මුහුදේ ඇතැයි කියූ අල්ලරාණිගේ කරත්තය දැවමය නෞකාවක් බව දැන් තහවුරු වී ඇත.   

 


සජීව විජේවීර