බෝල්ට්ටත් වඩා වේගයෙන් දුවන ඉන්දියාවේ ශ්‍රීනිවාස් ගවුඩා


ලෝකෙන් ටිකක්  

 

ලොව වේගවත්ම මිනිසා ජමෙයිකා ධාවන ශූර උසේන් බෝල්ට්ය. 34 හැවිරිදි බෝලට්, මීටර් 100, මීටර් 200 පමණත් නොව, මීටර් 400 සහාය දිවීමේ ඉසවුවලින් ද ලෝක වාර්තා සහ ඔලිම්පික් වාර්තා පිහිටුවා තිබේ.පසුගිය දා, 34 වැනි උපන් දිනය සමරද්දී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හමුවේ පරාජය වූ උසේන් බෝල්ට් නිරෝධානයට ලක් කෙරුණි. මේ උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දුවන මිනිසකුගේ කතාවයි. මේ වේගයත්ම මිනිසා ගැන වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියවෙනි. ඔහුගේ නම ශ්‍රීනිවාස් ගවුඩාය. වයස අවුරුදු 28 කි.


හුසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දුවන ගවුඩා ගැන ඉන්දියානුවන්ට, විශේෂයෙන් ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්ත වැසියන්ට ඇත්තේ ආඩම්බරයකි. ‘ඉන්දියාවේ උසේන් බෝල්ට්’ යන නාමයෙන් ගවුඩා හැඳින්වීමට ඉන්දීය මාධ්‍ය කටයුතු කර තිබේ. ශ්‍රීනිවාස් ගවුඩා ධාවකයෙකි. එහෙත් ඔහුමලල ක්‍රීඩකයකු නොවෙයි. ගවුඩා දුවන්නේ ‘කම්බාලා’ තරගාවලියේ ගවයන් සමඟය.


‘කම්බාලා’ යනු දකුණු ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ, කුළු ගවයන්ගේ ධාවන තරගාවලියයි. ‘කම්බාලා’ තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙයි.තරගාවලිය සංවිධානය කරන්නේ, ඊට අනුග‍්‍රහය ලබා දෙන්නේත් ‘තුලූවා’ නමැති දකුණු ඉන්දියාවේ පාරම්පරික ඉඩම් හිමියන්ගේ එකමුතුවය. ‘කම්බාලා’ තරග පැවැත්වෙන්නේ කර්ණාටක ප‍්‍රාන්තයේ, ‘දක්ෂිණ කණ්නාඩ’ සහ ‘උඩුපි’ යන දිස්ත්‍රික්කවලය. කර්ණාටක ප‍්‍රාන්තයේ ලොකු කුඩා ගම්මාන රැසක තරඟාවලි 45 ක් පැවැත්වෙයි. ‘කම්බාලා’ යන වදන නිර්මාණය වී ඇත්තේ ‘කම්ප කාල’ යන වදන්වලිනි. ‘කම්ප’ යන්නෙහි අර්ථය ‘මඩ’ යන්නය. ‘කාල’ යනු කුඹුරය. ලිස්සන, මඩවලින් පිරි කුඹුරුවල ධාවන තරග පැවැත්වෙන බැවින් ‘කම්ප කාල’, ‘කම්බාලා’ බවට පත් විය. ‘කොවිඩ් 19’ වසංගත උවදුර මැද පවා, කම්බාලා තරග පැවැත්වුණු අතර, වාර්තා පිහිටුවමින්, ලොව පුරා කාගේත් අවධානයට ලක් වෙමින්, ජයග‍්‍රාහකයා වූයේ ශ්‍රීනිවාස් ගවුඩාය.


කම්බාලා තරගයකදී සිදුවන්නේ, ධාවකයකු මී ගවයන් දෙදෙනකු මඩ පිරි කුඹුරක, දිනුම් කණුව තෙක් වේගයෙන් දිව යෑමට සැලැස්වීමය. අඩුම කාලයකින්, වැඩිම වේගයකින් දිනුම් කණුව පසු කරන මී ගවයන් ජයගනී. පසුගිය දා තරගාවලියේ දී ගවුඩා නව වාර්තාවක් පිහිටුවූයේය. ඒ, ඔහු ඔහුගේ මී ගවයන් දෙදෙනා සමඟ මීටර් 142 ක දුරක්, තත්පර 13.42 කින් දිවීමෙනි. ගවුඩා විසින් මෙහෙයවනු ලැබූ ගවයන් දෙදෙනා දිවගියේ පැයට කිලෝ මිටර් 56 ක වේගයකිනි. උසේන් බෝල්ට් මීටර් 100 ඉසවුව ජය ගනිමින්, ලොව වේගවත්ම මිනිසා ලෙස ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ තත්පර 9.58 කින් එම ඉසව්ව නිමා කරමිනි. ඒ අනුව, ගවුඩා ලෝක පූජිත බෝල්ට් අභිබවා ගොසිනි.


ඉන්දීය මාධ්‍ය ගවුඩා සම්බන්ධයෙන් පුවත් පළ කරද්දී, ඉන්දීය ක්‍රීඩා බලධාරීන්ගේත් දේශපාලනඥයන්ගේත් අවධානය ගවුඩා වෙත යොමු විය. ක්‍රීඩා ඇමැති කිරන් රිජ්ජු, ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ, තමන් ගවුඩා ඉන්දීය ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී කරවන බවත්, බරපැන සියල්ල තමන් බාර ගන්නා බවත්ය. මලල ක්‍රීඩකයකු ලෙස ඉදිරියට යන්නට ගවුඩාට අවශ්‍ය ජාත්‍යන්‍න්තර මට්ටමේ පුහුණුව ලබා දීමට ද තමන් සූදානම් යැයි ඇමැති කිරන් රිජ්ජු වැඩි දුරටත් පැවැසීය.


ක්‍රීඩා ඇමැතිවරයාගේ ඇරැයුම බොහොම ගෞරවයෙන් ප‍්‍රතික්ෂේප කිරීමට ගවුඩා පියවර ගත්තේය. ‘මා මලල ක්‍රීඩකයකු නොවෙයි. මා දුවන්නේ කළු හරකුන් සමඟ. කුඹුරේ දුවන්නයි මා දන්නේ. මගේ එක් පාදයක ආබාධයක් තිබෙනවා. ආබාධය සමඟයි මා දුවන්නේ. මලල ක්‍රීඩා මට සුදුසු නැහැ.’ යැයි ගවුඩා පිළිතුරු දුන්නේ බීබීසී හින්දි නාළිකාව සමඟ අදහස් ප‍්‍රකාශ කරමිනි. 


මහාචාර්ය ගුණපාල කඩම්බා, කර්ණාටක කම්පාලා ඇකඩමියේ ලේකම්වරයාය. කම්බාලා තරග පිහිටුවීමෙහිලා පුරෝගාමියාය. ඔහු පවසන්නේ කම්බාලා තරගාවලියෙන් ලෝක ශූරයකුට අභියෝග කළ හැකි ධාවකයකු හමුවීම සැබැවින්ම ගෞරවයක් සහ ආඩම්බරයක් බවය. ශ්‍රීනිවාස් ගවුඩා, කම්බාලා තරගාවලියේ දී ගවයන් මෙහෙයවන ධාවකයකු වුවත්, ඔහු කුලී වැඩ කරමින්, කොන්ත‍්‍රාත් වැඩ කරමින් ජීවත් වන තරුණයෙකි. ගවුඩා, මී ගව ධාවකයකු ලෙස වසර 7 ක් තිස්සේ කම්බාලා තරඟාවලියට සහභාගී වෙයි. ‘මා පාසල් යද්දී, කම්බාලා තරඟ නරඹන්න එනවා. කුඩා කළ සිටම කම්බාලා ධාවකයකු වෙන්න මට ආසාවක් තිබුණා. වාර්තා පිහිටුවමින් ජනප්‍රිය ධාවකයෙකු වේවි යැයි හීනෙකින්වත් සිතුවේ නැහැ.’ යැයි බීබීසී පුවත් නාළිකාව සමඟ පවසා තිබේ.

 

 

ලූසිත