පිදුරුතලාගල කුලුනට ගැසූ ඊරෝස් නායක ක්‍රිෂ්ණන් සොයා ගිය ගමන


පොලිස් සැරයන් කේ.එම්.එච්. බෝවල මහතා මහනුවර පිහිටි මධ්‍යම ත්‍රස්තවාදී පළාත් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ සිට නුවරඑළිය ලවස් ලීස් වත්තට මීට වසර 33කට පෙර තවත් පොලිස් කණ්ඩායමක් සමඟ ගියේ එවකට ක්‍රියාත්මක වූ ඊරෝස් සංවිධානයේ මධ්‍යම පළාත් නායකයාව සිටි දොරේසාමි ක්‍රිෂ්ණන් නමැත්තාව අත්අඩංගුවට ගැනීමටය.   


පිදුරුතලාගල කදු මුදුනේ පිහිටි ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණගාරය පුපුරුවා හැරීමට තැත් කිරිමට හා නුවරඑළියේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිට බෝම්බයක් පුපුරුවා ගැනීමට ක්‍රිෂ්ණන්ගේ සම්බන්ධයක් තිබූ බවට පරීක්ෂණවලින් හෙළිවී තිබිණි.   
බෝවල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම ලවස් ලීස් වත්තට යන විට ක්‍රිෂ්ණන් තමන් පදිංචිව සිටි ගෙවත්තේ එළවළු පාත්තියක වැඩ කරමින් සිට ඇත.   


පොලිස් කණ්ඩායම වත්තට ගොස් තිබුණේ වෙස්වළාගෙනය.

  
ක්‍රිෂ්ණන් දුටු සැණින් පොලිස් සැරයන් බෝවල මහතා ක්‍රිෂ්ණන් වෙත කඩා පැන පිස්තෝලය ඔහුගේ හිසට එල්ල කර කලබල නොකර යටත් වන ලෙස නියෝග කළේය.   


​ෙබා්වල මහතාගේ නියෝගයට අවනතවෙමින් ක්‍රිෂ්ණන් යටත් වූයේ කිසිම කලබලයකින් තොරවය.   


දෑතට විලංගු දැමීමෙන් පසු ඊරෝස් සංවිධානයේ මධ්‍යම පළාත් නායකයා කුදලාගෙන ආවේ මහනුවර පිහිටි ත්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙතය.   
එදා පොලිස් සැරයන් නිලයේ සිට බෝවල මහතා පසුගිය සිකුරාදා ක්‍රිෂ්ණන් සොයා නුවරඑළිය ලවස් ලීස් වත්තට ගියේ වසර 33කට පසුවය.   
ඒ වනවිට බෝවල මහතා සහකාර පොලිස් අධිකාරී තලයේ වසර ගණනාවක් රාජකාරී කර විශ්‍රාම ගොස් සිටියේය.   
එදා යොවුන් වියේ පසුවූ ක්‍රිෂ්ණන්ගේ දැන් වයස අවුරුදු 62කි.  

 
එදින ක්‍රිෂ්ණන් සොයා ගිය ගමනට ඉරිදා ලංකාදීපය වෙනුවෙන් අපද ගියේ ක්‍රිෂ්ණන් මුණගැසී ආගිය තොරතුරු කතා බහ කිරීමටය.   
අපත් සමඟ මේ ගමනට විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. දිසානායක මහතාද එක්ව සිටියේය.   
විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාද අපත් සමඟ මේ ගමනට එක් වූයේ ඔහුද බෝවල මහතා සමඟ එක්වී මධ්‍යම පළාතේ ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට සම්බන්ධව සිටි නිලධාරියකු නිසාය.   


නුවරඑළියේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස වසර ගණනාවක් රාජකාරී කර ඇති දිසානායක මහතාද ක්‍රිෂ්ණන් හොඳින් දැන හඳුනාගත්තේය.   
බෝවල සර් මාව අත්අඩංගුවට ගත්ත හැටි තාමත් මට මතකයි. මට පාරක්වත් ගැහැව්වේ නැහැ. මමත් දන්නා විස්තර සේරම එදා කිව්වා. හිරේ ගිහින් නිදහස් වෙලා ආවා. මට එදා වෙච්ච සිද්ධිය පත්තරේට කියන්න කිසිම අකමැත්තක් නැහැ. යැයි කියමින් ඊරෝස් සංවිධානයේ මධ්‍යම පළාතේ නායකයාව සිටි ක්‍රිෂ්ණන් අප හා කතා බහට මුල පිරීය.  

 
“නොදන්නා කමත් හැඟීම්වලට වහල් වීම නිසාත් අපි අමාරුවේ වැටුණා. අපි තරුණ කාලේ ගෙවී ගියේ හිර ගෙවල් ඇතුළේ. ඒ ගැන හිතන​ෙකා​ටත් ලොකු කනගාටුවක් ඇති වෙන බවත් ඔහු කීවේ සිත් වේදනාවකිනි.   


“මම සාමාන්‍ය පෙළ පන්තිය දක්වා ඉස්කෝලේ ගිහින් තියනවා. අගහිඟකම් නිසා එතනින් එහාට ඉස්කෝ​ෙල් යන්න බැරිව ගියා. ඊට පස්සේ ජීවත් වෙන්න මගක් හොයාගන්න ඕනැ තියා මම රාගල පැත්තේ තේ වත්තක (වත්තේ නම කියයි) වැඩට ගියා. ඒ වත්තේ වැඩ කළාට අපිට ලැබුණේ ඉතාම අඩු පඩියක්. මහන්සියේ තරමට පඩි ලැබුණේ නැහැ. වත්තේ ටී මේකර්ලා විදිහට සිංහල මහත්වරු තුන් දෙනෙක් වැඩ කළා. ඒ මහත්තුරු තුන් දෙනාගේ නම් මට තාම හොඳට මතකයි. (ඒ නම් තුනද ඔහු කියයි) ඒ මහත්වරු තුන්දෙනා නිතරම දෙමළ මිනිස්සුන්ට බනිනවා. පහත් විදියට තබා බනින්​ෙන​. මේනිසා අපි හරිම හිත් වේදනාවෙන් හිටියේ. වෙන කරන්න දෙයක් නැති නිසා ඉවසාගෙන ඉන්න වුණා.   


රාගල ඔය කියන තේ වත්තේ සේවය කර කර ඉන්න කාලේ 83 ජූලි කලබල ඇති වුණා. රටපුරාම ඉන්න අපේ ජාතියේ අයට හරියට කරදර වුණා. හුඟ දෙනෙක් මැරුණා. මේක අහලා දැකලා හරියට හිත කලකිරුණා. අපිත් යමක් කරන්න ඕනෑ කියන හැඟීම මට තදින්ම දැනුණා. ඒක එ් කොයිවගේ එකක්ද කියන්න ඒ වෙනකොට තේරුම් ගියේ නැහැ.   


ඔන්න ඉතිං දවසක් නුවරඑලිය ටවුන් එකේ බස්නැවතුම් පොළ ළඟ සී.ඩබ්ලිව්.සී. එකේ රැස්වීමක් පැවැත්වුණා. මමත් ඔය රැස්වීම බලන්න ගියා. යාපනයෙන් ඇවිත් හිටියා බාලකුමාර් කියා කෙනෙක් කතාවක් පැවැත්තුවා. අපේ ජාතියට වේගෙන යන විපත්තිය ගැනත් මේ කතාවේදී ඔහු කිව්වා. කතාව අහගෙන ඉන්න ආසයි. 83 මැයි දිනය වෙනුවෙන් තමා මේ රැස්වීම පැවැත්වුණේ. බාලකුමාර් හොඳ උගත් ​ෙකනෙක් කියා ඔහු කළ කතාවෙන් තේරුම් ගියා. රැස්වීම අවසන් වුණාට පස්සේ ඔහු මුණගැසී කතාබහ කළා. ඊට පස්සේ අපි දෙන්නා හොඳම මිතු​ෙරා වුණා. හොඳට යමක් කමක් තේරුණ කොල්ලෝ කට්ටියක් ඉන්දියාවට එක්කගෙන යන්න සොයා දෙන්න කියා අපෙන් ඉල්ලීමක් කළා. මම හිතුවේ ඉන්දියාවට එක්කගෙන යන්න හඳන්නේ රස්සාවක් සොයා දෙන්න කියායි. මමත් හරි හමන් රස්සාවක් නැතිව හිටි නිසා ඔහු කළ ඉල්ලීමට කැමැත්ත දුන්නා.  

 
බාල කුමාර්ගේ දැනුම් දීමකින් පස්සේ නුවරඑළියේ ඉඳලා වැල්ලවත්තට ගියා. වැල්ලවත්තේ ගෙදරකට තමා අපි ගියේ. මම පළමු වතාවට කොළඹ ගියේ එදා තමයි. අවුරුදු 20-23 කොල්ලෝ කට්ටියක් ඒ ගෙදර හිටියා මට මතකයි. ඊට පස්සේ කොළඹ - කොටුව ස්ටේෂන් එකෙන් යාපනය යන නයිට්මේල් එකේ නැඟලා යාපනයට ගියා. මාත් එක්ක බොරලන්දේ මූර්තිත් මේ ගමන යන්න ආවා.   
යාපනයට ගියාට පස්සේ අපි කට්ටිය රේල් පාරත් ක්‍රොස් කරලා නිවසකට ගියා. අපි ඒ ගෙදරට ගියා. අපිව එ් ගෙදරට එක්කගෙන ගියේ බාලකුමාර්. ටික දවසක් ගියාට පස්සේ අපි දැනගත්තා ඒ ගෙදර අයිතිකාරයා වර්ධරාජා පෙරුමාල් කියා. අපිට පොත් පත් කියවන්න දුන්නා. ඒ පොත් පත් සියල්ලම වාර්ගික අදහස් තියන එ්වා. අපි ඒ පොත් පත් කියෙව්වා. අපිට දේශන තිබෙනවා. වාර්ගික අදහස් තියන පොත් පත් කියවලා දේශනවලට සහභාගිවෙලා අපි ලෝකය ගැන හොඳ අවබෝධයක් ලබාගත්තා. වතුකරයෙන් ගිය කොල්ලෝ 15ක් විතර අපිත් එක්ක හිටියා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කට්ටියක්ද අපිත් එක්ක හිටියා. ඔවුන් තමා අපට දේශන පැවැත්තුවේ ඒ අය ඊලාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානයේ (ඊරොස්) සංවිධායකයින් බව අපි පස්සේ දැන ගත්තා.   


මේ විදිහට ටික කාලයක් යාපනයේ ඉඳලා අපි කට්ටය අයෙත් අපේ ගම්බිම් බලා ආවා. මාස කිහිපයකින් පස්සේ අපට අායෙත් යාපනයට එන්න කියා බාලකුමාර් පණිවිඩයක් එව්වා. වතුකරයෙන් මීට කලින් යාපනයට ගිය අපි 15 දෙනාට එකපාරටම එන්න එපා කියා බාලකුමාර් උපදෙස් දුන්නා. එහෙම උපදෙසක් ඔහු දුන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවේ. කට්ටියම එකට ගියොත් පොලිසියට සැකයක් ඇති වෙලා අත්අඩංගුවට ගනීවි කියා බය වෙලා. අපි 15 දෙනාට අමතරව තව දෙන්නෙක් බස් එකේ යාපනය බලා යද්දී වවුනියාවේදී පොලිසියට කොටුවෙලා තිබුණා. ඒ නිසා අපි 15 දෙනා දෙතුන් දෙනා බැගින් කෝච්චියෙන් යාපනයට යන්න තීරණය කළා. ඒ ආරක්ෂක උපක්‍රමයක් වශයෙන්.   


මමයි මූර්තියි දෙන්නා නුවරඑලියේ ඉඳලා බස් එකෙන් පොල්ගහවෙලට ඇවිත් පොල්ගහවෙල ස්ටේෂන් එකෙන් කොච්චියට නැගලා යාපනයට ආවා. අපි දෙන්නා යාපනයේ ගෙදරකට බාලකුමාර් ඇවිත් එක්ක ගියා. අපි ඒ ගෙදරට යද්දී වතුකරයේ ඉදලා අපිත් එක්ක කලින් ඇවිත් ගිය කට්ටියක් ඇවිත් හිටියා. අපි සේරම 15 දෙනෙක් ඒ ගෙදර හිටියා.   


සටන් හා අවි ආයුද පරීක්ෂණය ගැන පුහුණුවීම් ලබා ගැනීමට යාපනයේ සිට හොර රහසේ ඉන්දියාවට ගිය ආකාරයත් ඉන්දියාවේ පුහුණුවීම් ලබාගත් ආකාරය ගැනත් ක්‍රිෂ්ණන් තොරතුරු හෙළි කළේය.   
දවසක් දෙකක් අපි 15 දෙනාගේ ඇස් රෙදි කෑලිවලින් බැන්දා. ඊට පස්සේ වරකට දෙතුන් දෙනා බැගින් ​ෙකා​ෙහ්දෝ එක්කගෙන ගියා. ඇස් වල බැඳපු රෙදි කැලි ගලවා බලද්දී මුහුදු වෙරලක් අයිනකට අරගෙන ගිහින් තිබුණේ. වතුකරයෙන් යාපනයට ආව අපි 15 දෙනාම කරුවලේම බෝට්ටුවකට නංවා ගත්තා. පැය කිහිපයක මුහුදු ගමනකින් පස්සේ තවත් මුහුදු වෙරළකට සේන්දු වුණා. එතකොට තමා දැනගත්තේ අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවට කියා.   


ඉන්දියාවේ මුහුදු වෙරළේ ඉඳලා සෑහෙන දුරක් පයින් ඇවිදගෙන ගියා. ඊට පස්සේ කඩ මංඩියක් තියන ප්‍රදේශයකට ආවා මට මතකයි. එතැනින් බස් එකකට අපිව ගොඩකර ගත්තා. දිනක ගමනකින් පස්සේ අපි කඳුවලින් වටවෙච්ච පැත්තක්. සීතල දේශගුණයක් තිබුණේ. හරියට නුවරඑළියේ සීතල වගේ. ඒ නිසා අපිට ඒ දේශගුණය හොඳ බව තේරුණා. අපේ රටින් ඇවිත් හිටිය තවත් 300ක් විතර කඳවුරු කිහිපයක හිටියා. ඒ ගොල්ලෝ අපි වගේම සටන් පුහුණුව ලබාගන්න ආපු අය බව පස්සේ දැන ගැනීමට ලැබුණා.   
ඉන්දියාවේ ඌටි ප්‍රදේශයේ ඒ කාලයේ පිහිටා තිබූ පුහුණු කඳවුර බාරව සිට ඇත්තේ යාපනයේ පදිංචිකරුවකු වන සුන්දරම් නමත්තෙකි.   
ක්‍රිෂ්ණන් පැවසූ ආකාරයට ඔහු ඊරෝස් සංවිධානය වෙනුවෙන​් පලස්තීන විමුක්ති සංවිධානය යට​ෙත් පුහුණුව ලබාගෙන සිටි අයෙකි.   
සුන්දරම් පුහුණු කඳවුරේ ප්‍රධාන සටන් පුහුණු උපදේශකවරයා ද විය.   
මේ කඳවුරු සංකීර්ණයේ ලොකු හෝල් හයක් තිබුණා. එවායේ තමා පුහුණුවීම් ලබාගන්න ආ කට්ටියට නවාතැන් සපයා තිබුණේ. සෑම දිනකම උදේ පාන්දර 5.00ට විතර ඉඳලා සවස් වෙනකම් පුහුණුවීම් ලබනවා. ඒ.කේ. 47 හා එස්.එම්.පී. වර්ගයේ අවි පුහුණුව ලබාගත්තා. අත් බෝම්බ ගැසීම ගැනත් පුහුණුවීම් ලැබුණා. මාස හයක් නෙකඩවා මේ විදිහට පුහුණුවීම් ලබා ගත්තා. ඉතා වෙහෙසකර පුහුණුවක්. ගරිල්ලා සටන්ක්‍රම පිළිබඳව ද පුහුණුවීමක් මේ කාලය තුළ අපිට ලබා දුන්නා. ඉන්දීය මධ්‍යම රජයේ අනුදැනුම ඇතිවද එසේත් නැතිනම් අනුදැනුමක් නොමැතිව රහසිගතව පුහුණුවීම් ලබාදුන්නාද අපි කියන්න දන්නේ නැහැ.   


ගෙදර අය මේ ගැන දැන සිටියාද? කියා මා අතුරු ප්‍රශ්නයක් නැඟූ අතර ඒ ප්‍රශ්නයට ක්‍රිෂ්ණන් දුන්නේ මෙවැනි පිළිතුරකි.   
නැහැ මහත්තයෝ. අම්මා තාත්තා මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ දෙන්නා හිතාගෙන හිටියේ මම කොළඹ රස්සාවක් කරනවා කියා. ලංකාවේ ඉඳලා ඉන්දියාවට එන්න කලින් ගෙදරට ලියුමක් දැම්මා කොළඹ රස්සාවක් කරගෙන ඉන්නවා ටික කාලයකට ගෙදර එන්න ලැබෙන්නේ නැහැ කියා. මම එවපු ලියුම ලැබුණාට පස්සේ අම්මායි තාත්තායි මා ගැන සොයා බලන්න ගිහින් නැහැ. මගේ කීම ඒ ගොල්ලෝ විශ්වාස කළා. පුහුණුවීම් අවසානයේ ඊරෝස් නායකයා මාව මධ්‍යම පළාතේ නායකයා විදියට පත් කළා. ඊට පස්සේ අපි රාමේෂ්වරම්වලට ඇවිත් එහේ ඉඳලා බෝට්ටුවල නැගලා යාපනයට ආවා. රාමේෂ්වරම් ඉඳලා යාපනයට බෝට්ටුවලින් ආවේ රෑ බෝවෙලා. ඒ හින්දා අපිට නාවික හමුදාවට අහුවු​ෙණ් නැහැ. ඒ කාලයේ ​ෙලාකුවට අපේ මුහුදු සීමාවේ ආරක්ෂක රැකවල් තර කර තිබුණේ නැහැ.   


ඉන්දියාවෙන් පුහුණුව ලබාගෙන වතුකරයට ඇවිත් සාමාන්‍ය දිවියක් ගත කරමින් සිටියා. ඔහොම ඉන්නකොට බාලකුමාර් ගෙන් මට පණිවිඩයක් ආවා. කොළඹ මෝදර ප්‍රදේශයට යනන් කියා. මෝදර ප්‍රදේහයේ බැංකු මැනේජර් මහත්තයකුගේ ගෙදරට යන්න. මැනේජර් මහත්තයා​ෙග් පුතා ඒ ගෙදරදී හම්බ වෙන්න කියා. ඒ අනුව අපි කිහිප දෙනෙක් බැංකු මැනේජර් මහත්තයාගේ ගෙදරට ගිහින් එයාගේ පුතා මුණ ගැසුණා. ඒ ගෙදර අපි ආයුධ බෝම්බ වගයක් සඟවා තිබුණා. ඒවා යාපනයේ ඉඳලා එවා තිබුණේ. ඊරෝස් එකේ නායක මට්ටමේ හිටිය ශංකර් කියන කෙනා බව අපට දැන ගැනීමට ලැබුණා. බැංකු මැ​ෙන්ජර් මහත්තායගේ ගෙදර ඊරෝස්වරුන්ද සිටියා.   
බැංකු මැනේජර් මහත්තයාගේ ගෙදර තිබුණ අවි ආයුධ බෝම්බ සේරම වෑන් එකක දමා ඒවා නොපෙනෙන්න බීම බෝතල් හිස් පෙට්ටියක අඩුක් කළා. බීම බෝතල් හිස් පෙට්ටි ආපසු අරගෙන යන විදියට තමා අවි ආයුධ බෝම්බ හංගාගෙන නුවරඑළියට අරගෙන ගියේ. මේවා ගෙනාවේ පිදුරුතලාගල කන්ද මුදුනේ තියන ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාරයට ප්‍රහාර එල්ලකර එය පුපුරුවා හරින්නයි. ඊරෝස් වර්ධන් කියා නායකයෙක් ද මේ වැඩේට මුල ඉඳලම නායකත්ය දුන්නා. ඊරෝස් වර්ධන්ට පී.ටී.අයි. වර්ධන් කියාත් කියනවා.   
පිදුරුතලාගල කඳු මුදුණේ පිහිටා තිබූ ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා අනුකණ්ඩයේ සෙබළුන්ට ප්‍රහාරයක් එල්ල කර එම සම්ප්‍රේක්ෂණාගාරයේ කණු හතරේ බෝම්බ අටවා පුපුරුවා හැරීමට උත්සාහ කළේ ද නුවරඑලිය ජනාධිපති මන්දිරය ඉදිරිපිට කාල බෝම්බයක් පුපුරුවා හැරීමෙන්ද 1984 වසරේ නොවැම්බර් මාසයේ 10 වැනිදාය.   
ඊරෝස් සංවිධානයේ වතුකරයේ නායකයාව සිටි ක්‍රිෂ්නන් ඒ ගැනද අප සමඟ විස්තර කළේය.   


මට බාර වෙලා තිබුණේ නුවරඑලිය ජනාධිපති මන්දිරය ඉදිරිපිට බෝම්බයක් තබන්නයි. පිදුරුතලාගල සම්ප්‍රේක්ෂණාගාරයට ප්‍රහාරය එල්ලවන වෙලාවෙම තමා නුවරඑලිය ජනාධිපති මන්දිරය ලඟ බෝ්ම්බය පුපුරුවා හරින්න සැලසුම් කරලා තිබුණේ. මට ඊරෝස් සංවිධානයේ නායක මට්ටමේ හිටිය ශංකර් තමා ජනාධිපති මන්දිරය ලඟ බෝම්බයක් තියා ඒක පුපුරුවා හරින්න මට උපදෙස් දුන්නේ.   
නෝනාවත්තේ ගාන්ධිගේ ගෙදර ඉඳලා එදා රෑ බෝම්බය පෙට්ටියක දාගෙන නුවරඑළිය ටවුන් එකට මම ආවේ බස් එකකින්. බෝම්බය ජනාධිපති මන්දිරය ලඟ තියලා මම හීං සීරු​ෙව එතැනින් මාරු වෙලා ගියා. ටික වේලාවකින් මම තියලා ආපු බෝම්බය පුපුරා ගියා. ඒක කාල බෝම්බයක්. බෝම්බයෙන් ජනාධිපති මන්දිරයට හෝ කිසිම කෙනෙකුට හානියක් වුණේ නැහැ. අපේ බලාපො​ෙරාත්තුව වෙලා තිබුණේ පිදුරුතලාගලට ගහද්දී ඒකෙ අවධානය ජනාධිපති මන්දිරය දෙසට යොමු කරන්නයි. පිඳුරුතලාගල ප්‍රහාරයෙන් ඒකේ ආරක්ෂාවට දාලා හිටිය හමුදාවේ මහත්තයෙක් මැරුණා. තවත් කට්ටියකට තුවාල වුණා.   


සම්ප්‍රේක්ෂණාගාරයේ කුළුණුවලට අටවා තිබූ බෝම්බ මොකක් හරි හේතුවක් හින්දා පුපුරා ගිහින් තිබුනේ නැහැ. ඒ නිසා අපේ කට්ටියගේ වැඩේ අසාර්ථක වුණා. කරන්න බාර දුන්න පළමු වැඩේම හරියට කළේ නැහැ කියලා ඊරෝස් නායකයෝ අපිට හොඳටම බැන්නා. ලොකු ගාණක් වියදම් කරලා උඹලා වගේ එවුන් කට්ටියක් ඉන්දියාවට අරගෙන ගිහින් පුහුණු කළේ අපරාදේ කිසිම තේරුමක් නැහැ කියාත් හොඳටම බැණ වැදුණා.   


මේ සිද්ධිය වෙලා ටික කාලයකට පස්සේ බෝවල මහත්තයා ඇතුළු පොලිසියේ කට්ටියක් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ඒ විතරක් නොවේ ප්‍රහාරයට හවුල් වෙච්ච සේරම දෙනා අල්ලා ගත්තා. අපේ ආයුධ තොගයකුත් එළවළු කොටුවක සඟවා තිබියදී සොයාගත්තා. ඒ ඊරෝස් එකේ වතුකරයේ අපේ අනික් සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරලා තමා ඒවා සොයාගත්තේ. ඊරෝස් වර්ධන් විතරයි අල්ලා ගන්න බැරි වුණේ. ඔහුට වෙච්ච දෙයක් ගැන දැන ගන්න ලැබුණේ නැහැ. පොලිසියට අහුවුණෙත් නැහැ. සමහර විට ඊරෝස් වර්ධන් ඉන්දියාවට පැන ගන්න ඇති.   


නඩුවෙන් අපි කට්ටිය හිරේ ගියා අවුරුදු පහක්. ඒ කාලයේ ඇති වෙච්ච ගිවිසුමක් අනුව අපි සේරම දෙනා හිරෙන් නිදහස් වුණා. අවුරුදු පහක් විතර හිරේ හිටියා. ම​ෙග් මතකයේ හැටියට ඒ ගිවිසුම අනුව අපි නිදහස් වුණේ 1989 වසරේදී පමණ.  

 
ඊරෝස් සංවිධානය 1975 වසරේ පටන් ගත්ත එකක්. මේ සංවිධානය ආරම්භ කළේ රත්න සභාපති. ඔහු ලන්ඩන් නුවර ජීවත් වුණා. එංගලන්තයේ ජීවත් වුණත් රත්න සභාපතිගේ නායකත්වයෙන් යුතු ඊරෝස් සංවිධානයේ සියලු කටයුතු කළේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටයි. ප්ලොට් සංවිධානයේ නායකයාව සිටි උමා මහේෂ්වරන් ලෙබනනයේදී ගරිල්ලා පුහුණුවීම ලැබුවේ ඊරෝස් නායකයාව සිටි රත්න සභාපතිගේ මාර්ගයෙන් බව ඒ කාලයේම දැන ගැනීමට ලැබුණා. රත්න සභාපති ඊරෝස් සංවිධානයෙන් පසු කාලයක ඉවත් වෙලා තිබ්බා. ඊට පස්සේ තමා බාලකුමාර් නායකත්වයට පත් වෙලා තිබෙන්නේ. රත්න සභාපති හා ප්‍රභාකරන් අතර ඒ කාලයේ හමුවීම් ඇති වෙලා තිබෙනවා යැයිද ඊරෝ්ස් සංවිධානයේ වතුකරයේ හිටපු නාකයයා වූ ක්‍රිෂ්ණරාජා මහතා පවසයි.

  
ඊරෝස් සංවිධානය වගේ ත්‍රස්ත කල්ලියකට සම්බන්ධවීම ගැන අද මොකද හිතෙන්නේ කියා ක්‍රිෂ්ණන්ගෙන් මා විමසුවේ හෝරා කිහිපයක් පැවැති සුහද කතා බහ නිමා කිරීමට මත්තෙනි.   


“ඇත්තෙන්ම ඒ ගැන අැත්තේ ලොකු කනගාටුවක්. දුකක්. ජීවිතේ හොඳම කාලේ හිර ගෙවල්වල ලගින්න සිදුවුණ එක ගැන අදත් මට ඇත්තේ හරිම වේදනාවක්. කනගාටුවක්. අපි රැවටුණා. ඒ විතරක් නොවේ අපිට රැවැට්ටුවා. බෝම්බ තියලා ප්‍රහාර එල්ල කරලා කවමදාවත් රජයක් පෙරලන්න බැහැ. පසුගිය අතීතය පුරාවට කොතෙක් ත්‍රස්ත කල්ලි ආණ්ඩු බලය අල්ලන්න හදුවා. ඒක බැරිව ගියා. ඒ නිසා තරුණ පරපුරට මට කියන්න තියෙන්නේ එක එකා කියන කතා බස්වලට රැවටිලා තමන්ගේ වටිනා තරුණ ජීවිත නැති කරගන්න උත්සාහ කරන්න එපා කියන එකයි. මැර බලයෙන් ආණ්ඩු පෙරළන්න බැහැ. කවදාවත් බැහැ යැයි ජීවිතයේ සැඳෑ සමය ගෙවා දමමින් සිටි ක්‍රිෂ්ණන් කියා සිටියේ මීදුමෙන් වැසීගොස් තිබූ කඳු වළල්ල දෙස හිස් බැල්මක් හෙළමිනි.   


ඊරෝස් සංවිධානයේ වතුකරයේ නායකයා ලෙස කාලයක් කටයුතු කළ කිෂ්ණන් අද ජීවත් වන්නේ කීයක් හරි හොයා ගනිමින් කුලී වැඩ කරමින්ය.   
 ඊරෝස් සංවිධානයේ වතුකරයේ නායකයාව සිටි ක්‍රිෂ්ණන් කළ ප්‍රකට ත්‍රස්තවාදී ක්‍රියා වූයේ පිදුරුතලාගල ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාර ප්‍රහාරයට ආධාර අනුබල දීම සහ නුවරඑළියේ ජනාධිපති මැදුර ඉදිරිපිට කාල බෝම්බයක් ඇටවීම පමණකි..  

 
විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී (එවකට පොලිස් සැරයන්) බෝවල මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු පොලිස් පරීක්ෂණවලට එවකට පොලිස් සැරයන් තනතුරේ සිට පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ගිය එල්.එම්. විජේරත්න සහ මහනුවර පොලිසියේ තවමත් රාජකාරියේ නිරතව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.එම්. රෆායිඩ්ටු යන මහත්වරුන්ද සහභාගී වී ඇත.