පැසිෆික් අධිවේගී මාර්ගයේ ගිය ගමනක්...


ඕස්ට්‍රේලියා මහාද්වීපයේ දෙවැනි විශාලතම ප්‍රාන්තය වන ‘කුවීන්ස්ලන්ඩ්’ හි අගනුවර ‘බ්‍රිස්බේන්’ වේ. මහාද්වීපයේ නැගෙනහිර දිසාවේ උතුරට වන්නට ‘කුවීන්ස්ලන්ඩ්’ ප්‍රාන්තය පිහිටා ඇත. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර් 172,72,00 ක් වේ. ප්‍රධාන නගරය බ්‍රිස්බේන් ප්‍රාන්තයේ දකුණු කෙලවරේ පිහිටා ඇත. බ්‍රිස්බේන් නගරය වටා ගලා යන බ්‍රිස්බේන් නදිය නිසා එම නගරය ගංගා නගරය ලෙසද ප්‍රසිද්ධය.

  
බ්‍රිස්බේන්ට අමතරව ‘ගෝල්ඩ් කෝස්ට්’ ’ටවුන්ස්විල්’, ‘කෙන්ස්’, ‘රොක්හැම්ප්ටන්’, ‘මැකේ’, සහ ‘මවුන්ට් ඊසා’ නමින් තවත් නගර රැසක් මෙම ප්‍රාන්තය තුළ පිහිටා ඇත. ඉතාමත් සුන්දර ස්ථාන රැසකින් සමන්විත බ්‍රිස්බේන් නුවරට වසර පුරාවටම දවසේ වැඩි වේලාවක් හිරුඑළිය ලැබෙන බැවින් ඊට හිරු බබළන නුවර නමින්ද හැඳින් වේ. 

‘සිඩ්නි’ නගරය පිහිටා ඇත්තේ ‘කුවීන්ස්ලන්ඩ්’ ප්‍රාන්තයට යාබද ප්‍රාන්තය වන ‘නිව් සවුත් වේල්ස්’ ප්‍රාන්තයෙහිය. සිඩ්නි නගරය එම ප්‍රාන්තයේ අගනුවර ද වෙයි. ලොව ප්‍රධාන නගර කීපයෙන් එකක් වන සිඩ්නි නගරය සංචාරක පාරාදීසයක් වශයෙන් හඳුන්වනු ලබයි. නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 80,16,00 වන අතර එය එංගලන්තයට වඩා හත්වාරයක් විශාලත්වයකට හිමිකම් කියයි. බ්‍රිස්බේන් අගනුවර සිට සිඩ්නි අගනුවර දක්වා ඇති දුර කිලෝ මීටර් 1000 කි. ගුවන් යානයකින් එම දුර ගෙවා දැමීමට ගත වන්නේ පැය දෙකක් වැනි කාලයකි. එම නගර දෙක යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගය පැසිෆික් හයිවේ (Pacific Highway) නමින් හඳුන්වනු ලබයි. 


එක්තරා අලුයම් කාලයක අප මෝටර් රථයෙන් සිඩ්නි දක්වා ගමන් ආරම්භ කරන මොහොතේ බ්‍රිස්බේන් නුවරට වටින් ගොඩින් එළිය වැටෙමින් පැවතුණි. ජීවිතයේ පළමු වතාවට මෙතරම් දුර ගමනක් මෝටර් රථයකින් යෑම පිළිබඳව හිතට යම් චකිතයක් දැනුණත්, රිය පැදවීමේ කාර්ය තමා වෙත පවරාගත් වෛද්‍ය උදයංග පෙරේරාට ඒ බවක් දැනුණ බව පෙනුණේ නැත. 


ගෝල්ඩ්කෝස්ට් නගරයට අප ළඟාවන විට පැයක පමණ කාලයක් ඉක්ම ගොස් තිබූ අතර එම අවස්ථාවේ හොඳින් හිරු පායා තිබුණි. 


​ෙලා්කයේ ජනප්‍රියතම සංචාරක පුරවරයක් වන ගෝල්ඩ් කෝස්ට් හි සර්ෆර්ස් පැරඩයිස් මුහුදු වෙරළ තීරය මෙන්ම එහි ඇති අහස උසට ඉදිවුණ දැවැන්ත ගොඩනැගිලි සහ විනෝද උයන් ඉතාමත් සිත්ගන්නා සුලුය. ලෝකයේ නන් දෙසින් ගෝල්ඩ් කෝස්ට් වෙත පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සෑම තරාතිරමකම සංචාරකයින් වෙනුවෙන් නොයෙක් අයුරින් පහසුකම් මුළු ගෝල්ඩ් කෝස්ට් නගරය පුරාම පිහිටුවා ඇත. 


කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තය සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය දේශ සීමා වෙන්කරන ස්ථානය පිහිටා ඇත්තේ ගෝල්ඩ් කෝස්ට් පසුකර කිලෝ මීටර් 110 කදී හමුවන ටිචිඩ් හෙඩ්ස් නම් ප්‍රදේශයේදීය. අප ගමන් ගත් අධිවේගී මාර්ගයේ සමහර ප්‍රදේශ මිනිස් ජනාවාසවලින් තොරව කිලෝ මීටර් ගණනාවක් ගෙවී ගියත් මාර්ගයේ හෝ දෙපස පරිසරයේ අලංකාරය කිසිම ලෙසකින් අඩු වී නැති බව කිව යුතුය. 


බයිරන්​ බේ ලොනොක්ස් හෙඩ් ප්‍ර​ෙද්ශවල මුහුදු තීරයේ අලංකාරය කියා නිම කළ නොහැකි තරම්ය. බලිෆා, බ්‍රෙවන් වෝටර් යන ප්‍රදේශවල මාර්ගය දෙපස කෙලවරක් නොපෙනෙන තරමට තෘණ භූමි පිහිටා තිබූ අතර එම තෘණ භූමිවල ගවයින් සහ බැටළුවන් දහස් ගණනක් සිටිනු දක්නට ලැබුණි. විශාල ලී දඬු යොදා කොටුකර එම සතුන් වෙනුවෙන් ගව සහ බැටළු පට්ටි සකස් කර තිබුණු ආකාරය දුටුවෙමි. ගව රැලක දහස් ගණනක් ගවයින් පාලනය කිරීමට අශ්වයින් මත නැග සිටි ගොපල්ලන් දුටු විට මා හට මතකයට ආවේ කලකට පෙර දුටු ගොපලු (Cow Boy) කතා රැගත් චිත්‍රපටවල දර්ශනයි. 


පැසිෆික් අධිවේගී මාර්ගයේ තැනින් තැන වාහන නවත්වා ආහාර සහ විවේක ගැනීමට අවශ්‍ය ස්ථාන ඉදිකර තිබූ අතර එම ස්ථානවල විවේක කුටි, ආහාර පිසීමේ උදුන්, වැසිකිළි පහසුකම් මැනවින් සකසා තිබෙනු දක්නා ලදී. මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන අතර විශාල ප්‍රමාණයේ ට්‍රක් රථ ගැන නොලියාම බැරිය. බොහෝ ට්‍රක් රථ රෝද 34 ක් සහිත ඉතා දිගු ඒවා වේ. 


අප රටේ මෙන් මෙම ට්‍රක් රථවල රිය සහයකයකු දකින්නට නොවීය. දක්නට ලැබුණේ රියැදුරු පමණි. බ්‍රිස්බේන් සිට සිඩ්නි වරායටත්, සිඩ්නි සිට බ්‍රිස්බේන් දක්වාත් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙනුයේ මෙම දැවැන්ත ට්‍රක් රථ මගිනි. සෙසු වාහන සමග උරෙන් උර ගැටී පැයට කිලෝ මීටර් 110 ක වේගයකින් එම ට්‍රක් රථද ධාවනයේ යෙදේ. අධීවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණයෙන් 70% ක් වේගය පැයට කිලෝ මීටර් 110 ක්ද, 20% ක් පැයට කිලෝ මීටර් 100 ක්ද, ඉතිරි දුර ප්‍රමාණය නගර, ගම් හරහා යද්දී පැයට කිලෝ මීටර් 60-80 අතර වේ. 


කිලෝ මීටර් 1000 අප ගිය ගමනේ 400 වැනි කිලෝ මීටරය පසුකරන්නේ පැරණි නගරයක් වන කොෆ්ස් හාබර් නමැති ප්‍රදේශයේදීය. පැසිෆික් අධිවේගී මාර්ගයේ තැනින් තැන ආසන්න නගරවලට පිවිසීම සහ පිටවීම සඳහා මාර්ග ඉදිකර තිබුණි. අධිවේගී මාර්ගය ප්‍රසිද්ධ නගරවලට කිලෝ මීටර් කීපයක් ඈතින් ඉදිකර තිබූ අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉන් පිටවීමටත්, අවශ්‍ය ස්ථානයකින් නැවත ඇතුළුවීමටත් රියැදුරන්ට අවකාශ ඇත. කොෆ්ස් හාබර් හි මුහුදු වෙරළට ආසන්න ස්ථානයක පිහිටි අලංකාර උද්‍යානයකදී අපි දිවා ආහාරය ගත්තෙමු. 


දිවා ආහාරයෙන් පසු නම්බුකා (Nambucca) පසුකර සවුත්වෙස්ට් රොක් ප්‍රදේශයේදී විශාල මිදි වගාවක් සහිත වයින් නිෂ්පාදනාගාරයක් හමු විය. පැරණි ක්‍රමවලට අනුව ඉස්තරම් වර්ගයේ වයින් නිෂ්පාදනය කෙරුණු එම ස්ථානයේදී නොමිලයේම අපට වයින් වීදුරු කීපයක රස බැලීමට අවස්ථාව ලැබුණි. 


අපි කෙම්පසි නගරයට පැමිණෙන විට දහවල් 2.40 වී තිබුණි. කෙම්පසි නගරයේදී අප අධිවේගී මාර්ගයෙන් ඉවත් වී ක්‍රෙසන්ට් හෙඩ් දක්වා සාමාන්‍ය මහා මාර්ගයේ ගමන් ගත්තෙමු. කෙම්පසි නගරය පසුකර කිලෝ මීටර් 10 ක් පමණ ගමන් කිරීමේදී අපට දක්නට ලැබුණේ අතිවිශාල සුසාන භූමියකි. එම සුසාන භූමිය අප රටේ උද්භිද උද්‍යානයක් හා සමානය. ලස්සනට මල් වවා පිළිවෙළකට තනා තිබූ සොහොන් කොත් අතර ආගමික වතාවත් ආදිය වෙනුවෙන් කුඩා දේවස්ථානයක් වටා නොයෙකුත් විසිතුරු ඇඳුමින් සැරසුණු පිරිසක් සිටිනු දක්නා ලදී. 


මා ඇතුළු පිරිස රියෙන් බැස සුසාන භූමිය හරහා දේවස්ථානය වෙත පියමං කළේ එහි සිදුවන්නේ කුමක්ද යන්න දැනගන්න රිසියෙනි. අප දුටු දෙයින් විශ්මයට පත්වීමු. එහි සිදු කෙරුණේ විවාහ මංගල්ලයකි. එම යුවළ තම ජීවිතයේ සොඳුරුතම අවස්ථාව සඳහා තෝරාගෙන තිබුණේ එම අලංකාර සුසාන භූමියයි. විවාහ මංගල උත්සවයෙන් පසු නව යුවළට මංගල ගමන සඳහා සූදානම් කර තිබූ අති නවීන පන්නයේ අවමංගල රථයක් මලින් සරසා දේවස්ථානය පසෙක නවතා තිබෙනු දකින්නට ලැබුණි. 


කීලෝ මීටර් 580 ක් පසුකර අප කිව් (Kew) නගරයට පැමිණියෙමු. අධික වේගයකින් ගමන් කළ යුතු පැසිෆික් අධිවේගී මාර්ගයේ බොහෝ තැන්වල දෙපස ආරක්ෂිත වැට ඉදිකර තිබූ අතර එසේ ඉදිකර නොතිබූ ස්ථානවල කැන්ගරුවන්ගෙන් සහ වෙනත් වන සතුන්ගෙන් පරෙස්සම් වන ලෙස දැවැන්ත සංඥා ඉදිකර තිබුණි. 


අධිවේගී මාර්ගයේ සහ ඉන් පිටත මාර්ගවල අප ගිය ගමන පුරාවට (කි.මී. 2580) කිසිම සිව්පාවෙක් මාර්ගය අසල හෝ දක්නට නොලැබුණු අතර රථවාහන හැසිරීමේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පවා නොදුටුවෙමි. 
කිලෝ මීටර් 688 ක් පසුකර බුලා ඩෙලා (Bullah Dela) ප්‍රදේශයට පැමිණෙන විට වේලාව සවස 3.30 වී තිබුණි. කුවීන්ස්ලන්ඩ් ප්‍රාන්තය සහ සිඩ්නි නගර අතර වේලාවේ පැයක වෙනසක් ඇත. බුලා ඩෙලා හිදී මාගේ අත් ඔරලෝසුවේ වේලාවට වඩා එහි පැයක් වැඩිය. එම වෙනස වරක් ශ්‍රී ලංකාවේ සිදුකළ අන්දමේ වෙනසක් බව පසුව දැනගතිමි. 


බුලාඩෙලා සිට නිව් කාසල් නගර දෙක අතර හැරින්ටන් (Harrington) සීල් රොක්ස් (Seal Rocks) දක්වා පැමිණි මග දෙපස විශාල ගොවිබිම් දැකගත හැකි විය. ඒවා අක්කර දස දහස් ගණන් විශාල බව දුටු සැණින් දැනිණ. මහ මුහුද මෙන් කෙළවරක් නොපෙනෙන එම ගොවිබිම්වල තිරිඟු සහ වෙනත් ධාන්‍ය වර්ග වගා කර තිබෙනු දක්නට ලැබුණි. ගොවි කටයුතු සඳහා යොදා ගන්නා විශාල යන්ත්‍ර සූත්‍රද, විශාල ගබඩා සංකීර්ණද, වගාවන්ට ජලය ලබා ගන්නා ඇළ මාර්ගද, වගාවන්ට බෙහෙත් ඉසීමට ​යොදාගන්නා හෙලිකොප්ටර් යානාද එම ගොවිබිම් අසල දක්නට ලැබුණ දේවල් අතර වේ. 


බ්‍රිස්බේන් අගනුවර සිට අප ගමන් ගත් මාර්ගයේදී ලංකාවේදී දක්නට ලැබෙන ගස් වර්ග රැසක් දැකගත් අතර පොල් ගස්වල, ගෙඩි සෑදී නොතිබීමද විශේෂත්වයකි. මෙම රටේ 90% ක ප්‍රමාණයක ඇත්තේ ‘යූකැලිප්ටස්’ වර්ගයේ ගසයි. රටේ සංකේත සත්වයෙක් වන කෝලා වලසා ආහාරයට ගන්නේ මෙම ග​ෙස් දලුයි. 


නිව් කාසල් (New Castle) විශාල නගරයක් වන අතර එහි සිට සිඩ්නි දක්වා ඇත්​ෙත් තවත් කිලෝ මීටර් 221 ක් පමණි. මෙම නගර දෙක අතර මුහුද පිහිටා ඇති දිසාවට වන්නට සෑන්ඩ් ඩියුන්ස් නමැති විශාල වැලි නිම්න පිහිටා ඇත. පාන් පිටි තරමට සියුම් සුදු පැහැති වැල්ල එරෙන සුලුය. මෙම වැලි නිම්නයක් තුළට ගිය පසු කාන්තාරයකට ගිය බවක් හැඟෙයි. මෙම වැලි නිම්නවල 4D වාහන වලින් ගමන් කිරීම ත්‍රාසජනක සහ විනෝදාත්මක අත්දැකීමකි. 
බ්‍රිස්බේන් සිට ගමන ආරම්භ කර පැය 15 කට පමණ පසුව රාත්‍රී 7.00 ට පමණ අප සිඩ්නි පුරවරයට ළඟාවීමු. ඒ වන විටත් සිඩ්නි නගරයට හිරු එළිය වැටී තිබුණි. සිඩ්නි නගරයට හිරු උදාවන්නේ පෙරවරු 5 ටයි. රාත්‍රී 7 ට පමණ හිරු බැස ගියත් රාත්‍රී 8.00-8.30 පමණ තෙක් වටපිටාව හොඳින් එළිය වැටී පවතී. 


රාත්‍රී 8.00 වන විටත් බොන්ඩි වෙරළේ දහස් ගණන් ජනයා විනෝදයෙන් කාලය ගතකරනු දැකගත හැකිය. ලෝප්‍රකට ඔපරා හවුස්, හාබර් පාලම, ඩාර්ලින් හාබර්, මෑන්ලි යන ස්ථාන දවස පුරාම සංචාරකයින්ගෙන් පිරී පවතින ස්ථාන වෙයි. මුළු සිඩ්නි නගරය ඇතුළුව කිලෝ මීටර් 80 ක් ඈතට පෙනෙන සිඩ්නි කුලුන මුදුනේ සිට එම දර්ශන නැරඹීම අපූරු අත්දැකීමකි. 


සිඩ්නි වරායේ සිට මෑන්ලි දූපත වෙත කෙරෙන මුහුදු යාත්‍රා ගමන ජීවිතයේ අමතක නොවන සිහිවටනයකි. ඩාර්ලින් හාබර් අසල ඉදිකර ඇති මත්ස්‍යාගාරය, සත්ව උයන, මැඩම් ට්‍රසේඩ් ඉටිරූප කලාගාරය සංචාරකයින් නිතරම ගැවසෙන ස්ථාන අතර වේ. 


අප පුරා සතියක් සිඩ්නි පුරවරයේ සංචාරයේ යෙදී සිටියත්, මුළු පුරවරයේම අසිරිය විඳින්නට සතියක කාලයක් කිසිසේත් ප්‍රමාණවත් නොවේ. සිඩ්නි හිදී යායුතුම ස්ථානයක් වන්නේ ඔලිම්පික් ගම්මානයයි. අප ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දුන් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනාගත් ක්‍රීඩා පථය දැකීමේ අවස්ථාවද අපට උදා විය. 


සිඩ්නි නගරයට කිලෝමීටර් 110 ක් ඈතින් පිහිටි බ්ලූ මවුන්ටන් ප්‍රදේශයේ ලුක් අවුට් (Look Out) නමැති ස්ථානය අප රටේ ශ්‍රීපාද අඩවිය සිහිපත් කරවයි. පැරණි ගල් අඟුරු ආකර කීපයකින් සැදුම්ලත් ආරක්ෂිත වනාන්තරයක් තුළ ‘ලුක් අවුට්’ නමැති සංචාරක පාරාදීසය ඉදිකර ඇත. එකවර 85 දෙනකුට ගමන් කළ හැකි කේබල් රථ දෙකක් වනාන්තරයේ උස් සහ පහත් ස්ථාන දෙකක් වෙත අඩි දහස් ගණනක් ඉහළින් ගමන් කරයි. එම රථ තුළ සිට පහතින් දකින්නට ලැබෙන දේවල් සුරංගනා කතාවක් සිහිපත් කරවයි. 


 ලස්සන දිය ඇලි, ගංගා, වනාන්තර එම යානා තුළ සිට දැකගත හැකිය. පැරණි ගල් අඟුරු පතලක් ඇතුළට අංශක 80 ක ඇළයකින් ගමන් ගන්නා දුම්රිය ගමන ත්‍රාසජනක අත්දැකීමකි. අඩි දහස් ගණනක් පොළොව යටට දුම්රිය වේගයෙන් ඇදී යද්දී සංචාරකයින් බියවී නගන විලාප හඬින් මුළු පළාතම දෝංකාරය දෙයි. 


සිඩ්නි නගර​ෙය් සිට බ්‍රිස්බේන් දක්වා ආපසු එන ගමන දිවා සහ රාත්‍රී කාල දෙකේම සිදුවිය. මග ස්ථාන කීපයක නැවැතී විවේක ගෙන ගිය ගමන සාර්ථක වන්නට ප්‍රධාන හේතුව වන්නේ එම අධිවේගී මාර්ගය නිමකර ඇති අන්දමත්, සෑම රියදුරෙක්ම නීතිය අකුරටම පිළිපැදීමත්, මගදී මගීන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම සලසා තිබීමත්, රියැදුරන්ට තම ගමනේදී බාහිර බාධක නොමැති වීමත් බැව් කිව යුතුය. පැසිෆික් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහන සඳහා කිසිම මුදලක් අයකරනු නොලබයි. 

 

 

 

දයාසිරි පෙරේරා, 
ඕස්ට්‍රිලියාවේ බ්‍රිස්බේන් නුවර සිට ලියයි.